හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීම ගැන රටම කතා කළත්, රනිල් ගැන හරියටම දන්න අය ඇත්තේ අතලොස්සකි.
මේ රනිල් කවුද යන්න කෙටියෙනි!
ශ්‍රී ලංකා සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුව සිට පසුව ඩීආර් විජේවර්ධන සමයෙහි ‘ලේක්හවුස්’ මාධ්‍ය ලෝකය පාලනය කළ එස්මන්ඩ් වික්‍රමසිංහ රනිල්ගේ පියා වන අතර මව, නාලිනී, ඩීආර් විජේවර්ධනගේ දියණියයි.
තරුණ වියේ දී ‘සම සමාජ වාදියකුව’ සිටි එස්මන්ඩ් පසු කාලයෙහි ‘ලේක්හවුස්’ පාලනය පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු හදන අදිසි හස්තය වූ බව ප්‍රකට රහසක් විය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ පාලකයන් තීන්දු කිරීමෙහිලා සිය පියා විසින් ගෙනයන ලද “එස්මන්ඩ් මෙහෙයුම්” රනිල් ඇතුළු ඔහුගේ දරුවන්ට රහසක් නොවන්නට ඇත.
රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ කොළඹ සරසවියේ නීති පීඨයට සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරූ රනිල් වික්‍රමසිංහ පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1977 මැතිවරණ සමඟ බියගම ආසනයේ තරුණ මන්ත්‍රීවරයා වශයෙනි.
1977 එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස වයස අවුරුදු 28 දී ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ සහ ප්‍රේමදාස රජය යටතේ ඔහු අමාත්‍ය ධූර කිහිපයක් දැරූ අතර, ඔහු අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ කාලයේ ගෙන ආ “අධ්‍යාපන ධවල පත්‍රිකාව” රට තුළ දැඩි විවාදයකට ලක් විය.
රනිල් වික්‍රමසිංහ 6 වරක් දෙවන පුරවැසියා, එසේත් නොමැති නම්, අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර 6 වරක් විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේ ය.
ඔහු පළමු වරට අගමැති ධූරයට පත්වූයේ, 1993 වසරේදී ය. ඉන්පසු ඔහු 2001දී, 2015දී දෙවතාවක්, 2018 සිදුවූ බල පෙරළියෙන් පසු නැවත වතාවක් සහ, 2022 අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.
එපමණක් නොව, ඔහු 1994 සිට 2001 දක්වාත්, 2004 සිට 2015 දක්වාත් සය වතාවක් විපක්ෂ නායක ධූරයේ ද කටයුතු කර තිබේ.
පසුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්විය.
මූලාශ්‍රය – බීබීසී සිංහල