මේ දවස්වල විකාශය වන තරමක් ආන්දෝලනාත්මක ටෙලි නිර්මාණයකි, “වීදුරු තිර”
එහි ප්‍රධාන භූමිකාවන් රඟදක්වන චමීර – චතුරංග දෙන්නා ගැනත් ප්‍රේක්ෂක පිරිස අතර දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ, ඔවුන්ගෙන් මෙතෙක් නොදුටු ආකාරයේ රංගනයක් වීදුරු තිර ඔස්සේ ඉස්මතු වීම තුළින්.
පහතින් දැක්වෙන්නේ සිය චරිතය ගැන, චතුරංග කොඩිතුවක්කු දක්වන ලද අදහස් කිහිපයකි..
”ඇත්තටම ඒ වගේ තේමාවක් ගැන ටෙලි නිර්මාණයකින් කතා කරන එක හොඳයි. ඒක අද්භූත දෙයක්වත් ලෝකයට එකපාරටම කඩා වැටුණු දෙයක්වත් නෙවෙයි. ඉතින් අපේ මිනිසුන් සමලිංගිකත්වය දිහා බලන විධිය, බලන කෝණය එක්ක ඔවුන්ට සමාජයට විවෘත වෙලා ඉන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේ අයට තමන්ට තමන් වෙන්න බැරි වෙලා තිබෙනවා. ඒ වගේ අය සමාජයේ අසරණ වෙන අවස්ථා තිබෙනවා. මේ තේමාව අපි සමාජයේ සඟවන්නේ නැතිව කතා කළ යුතු තේමාවක්. ඉතින් මේ ටෙලි නාට්‍යයට සමහරු හොඳ අදහස් පළ කරනවා වගේම සමහරු විවේචනය කරනවා. නමුත් මම බහුතරයක් හොඳ කමෙන්ට්ස් දැක්කා. ඉතින් අපි ටෙලි නාට්‍යයක් නැවැත්තුවා කියලා මේ වගේ දේවල් ලෝකයෙන්ම තුරන් වෙයි කියලා මම හිතන්නේ නෑ.
සමරිසි චරිතයක් භාර ගැනීම ම, රංගන ශිල්පියෙක් හට අභියෝගයක්,
”මම මුලින් නම් ප්‍රේක්ෂකයන්ගෙන් ගල් මුල් ප්‍රහාර වදියි කියලා හිතුවා. නමුත් මම හිතුව ගල් මුල් ප්‍රහාරවලට වඩා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මට ලැබුණා. මම ගත්ත තීරණය අභියෝගාත්මකයි. නමුත් ඒකෙන් මට රංගනයට හොඳ පන්නරයක් ලැබුණා. මම ඒ වගේ අභියෝගාත්මක චරිතයක් භාර ගැනීම ගැන සතුටු වෙනවා.
ඇත්තටම එතැන චරිත ඇතුළේ ඉන්නේ සමරිසි පුද්ගලයෝ දෙදෙනෙක්. ඒ අය ආදරය කරන්නේ කොහොමද? ඒ අයගේ හැඟීම් කොහොමද කියන දේ නිරූපණයක් තමයි එතැන තිබෙන්නේ. එතැන අස්වාභාවික දෙයක් නෑ. මිනිසුන් දකින්න කැමැති ගැහැනු ළමයකු හා පිරිමි ළමයකු ආදරය කරනවානේ. අපේ මේ මාතෘකාව තුළ තිබෙන්නේ පුරුෂයන් දෙදෙනකුගේ ආදරයක්. ඉතින් මමයි චමීරයි දෙන්නම කළේ අපිට ලැබුණු චරිතවලට උපරිම සාධාරණයක් කරපු එක තමයි…”
මෙවැනි චරිත තුළින් රංගන ශිල්පියකුගේ පෞරුෂයට හානි වන බවට ප්‍රේක්ෂකයෝ දක්වන අදහස් ගැන, චතුරංග කියන්නේ මෙවන් කතාවක්…
”එහෙම මේ වගේ චරිත නිරූපණයන් රංගන ශිල්පියකුගේ පෞරුෂයට හානි වෙනවා කියලා මම හිතන්නේ නෑ. මමවත් චමීරවත් මුලින්ම කරපු චරිත නිරූපණයක් නෙවෙයි. ජෝ අබේවික්‍රම පවා ඒ කාලයේ චිත්‍රපටයක මෙවැනි චරිතයකට පණපොවලා තිබෙනවා. ලෝකයේ සුප්‍රකට නළු නිළියන් පවා මෙවැනි චරිත නිරූපණය කර තිබෙනවා. කිසිම චරිතයකින් රංගන ශිල්පියකුගේ පෞරුෂයට හානියක් වෙනවා කියලා මම හිතන්නේ නෑ. ඒක රංගනයක් විතරයි. කලාවට ආදරය කරන බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිස ඒක තේරුම් ගනියි. මට ඕනෑ වුණේ මම භාරගන්න ඕනෑම චරිතයක් මට කරන්න පුළුවන් කියලා පෙන්වන්න විතරයි. මොකද එතැන ඉන්නේ චතුරංග නෙවෙයි. යම්කිසි චරිතයක් තමයි අපි නිරූපණය කරන්නේ.”
උපුටාගැනීම : හදගැස්ම