කාන්තාවක් මොන තරම් නම් ශක්තිමත්ද..? ඇගේ හැකියාව, ඇයට කළ නොහැක්කක් නොමැති තරම්ම විශිෂ්ටයි..
කාන්තාවන්ට කොහෙන්ද සීමාවක්.. ඕනෑම රැකියාවක් වගේමයි ජීවිතේ එන ඕනම අභියෝගයකටත් මුහුණ දෙන්න තරම් ශක්තිමත් ඇය ගැනයි මේ කතාව.. N.A.K. දිනූෂා කුමාරි මේ කතාවට මුල පුරන දිරිය දියනිය ඇයයි.. ඇගේ පියාගේ රැකියාව වුණේ, මිනියක් එම්බාම් කිරීමයි.. හිත හයිය පිරිමියෙන් මිසක් මේ රැකියාව කරන්නේ නම් නෑ කියන එක අපි දැක්කේ චිත්‍රපටවල වුණාට ඇයත් අන්න ඒ වගේ දියනියක් නිසා පියාගේ රැකියාවම තෝරාගන්න දිනූෂා දෙපාරක් හිතුවේ නැහැ.. මේ ඇය ගැන මුහුණුපොතේ පළවුණ සටහනක්..
පාන්දර ජාමයට තනිපංගලමේ ගෙයින් එළියට යාමට ගැහැනුන් පමණක් නොව ඇතැම් පිරිමින් පවා බියය. එවන් තත්ත්වයක මළසිරුරක්ද දමාගත් අවමංගල්‍ය රථයක් කාන්තාවක් විසින් තනිව පැදයාම නම් විශ්වකර්ම වැඩක්ය. එසේම මළසිරුරක් එම්බාම් කිරීමත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.. හිත් හයිය පිරිමින් පවා මිනියක් එම්බාම් කිරීමට පෙර මධුවිතෙන් සප්පායම් වන බව දන්නා දෙයක්.. තමන්ගේ වෘත්තිය ගැන ඕනෑම අයෙක් විමසූ විට ඇය දෙන්නේ මෙවන් පිළිතුරක් වෙන්න ඇති..
‘‘මොකටද මැරුණු මනුස්සයෙකුට බය වෙන්නේ? හරිනම් බය වෙන්න ඕනෙ ජීවත් වෙන අයටනේ.’’
සංවාදයට මුලපුරමින් මා ඇගෙන් ඇසූ ප්‍රශ්නයට ඇය එසේ පිළිවදන් දුන්නා...
දිනූෂාගේ පියාත් මල්ශාලාවක සේවය කළ අයෙක්.. ඔහු දියණියට යමක් කමක් තේරෙන වියේදීම තමා සේවය කළ රුවන්වැල්ල සමූපකාර මල්ශාලාවට ඇයවද කැටුව ගියා..
‘‘දවසක් තාත්තා මිනියක් එම්බාම් කරන හැටි මම බලාගෙන හිටියා.. එදා නම් මගේ හිතට පොඩි චකිතයක් දැනුණා. ඒත් පස්සේ ඒක ගානක් නැහැ.. ඊටපස්සේ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිල්ලා නිකන් ඉන්න වෙලාවට මමත් තාත්තට අත්උදව් දෙන්න මල්ශාලාවට ගියා..
අවුරුදු පහළොව වෙද්දී මම තනියම මිනී එම්බාම් කරන්නත් පටන්ගත්තා.. ඔහොම අවුරුද්දක් දෙකක් යනකොට සමූපකාරේ අවමංගල්‍ය ටෙන්ඩරේ ගන්න කවුරුත් නැහැ කියලා දැනගන්න ලැබුණා.. ඒ නිසා මේ වැඩේ බාරගන්න මම තීරණය කළා. එතකොට ඕනෙ නම් මට අවුරුදු 20ක් ඇති.’’
මේ අභියෝගකාරී රැකියාව දිනූෂා සිය ජීවිකාව කරගත්තේ එසේය..
‘‘අද මිනියක් ආවොත් හෙට ඒක බාරදෙන්න ඕනේ.. රෑ ද දවල්ද කියලා නැතුව මේ වැඩේ හරිවෙලාවට ඉවර කරන්න ඕනේ. ඉතින් රෑ එකට දෙකටත් මම තනියම මිනී එම්බාම් කරනවා.. ස්වභාවික විදිහට මියගිය කෙනෙක්ව පැය බාගයකින් වගේ එම්බාම් කරන්න පුළුවන්.. හැබැයි හදිසි මරණ පරීක්ෂණයක් කරනවා නම් එම්බාම් එකට පැය හතරක්වත් යනවා..’’
මළසිරුරක් එම්බාම් කිරීම වෛද්‍ය සැත්කමක් කරනවාක් මෙන්ම ඉතා සියුම් කර්තව්‍යයක්.. මියගිය පසු සිය ඥාතියාගේ රුව ජීවමානව සිටි අයුරින්ම දැකබලාගැනීම නෑ හිතවතුන්ගේ පැතුමයි.. මළසිරුරක් එම්බාම් කෙරෙන හැටි නියමාකාරයෙන් කීමට ඇය පටන් ගත්තේ මෙහෙමයි..
පසුව ඇය කීවේ එම්බාම් කිරීම පටන් ගැනීමට පෙර මළසිරුර හොඳින් පරීක්ෂා කිරීමත් සිරුරේ රුධිරය තැවරී ඇත්නම් පමණක් එය සෝදා පිරිසිදු කිරීමත් වැදගත් බවයි... අනෙක් වැදගත්ම දෙය ප්‍රධාන බල නහරය තක්කයටම සොයාගැනීමයි..
‘‘වැරදි නහරයකට එහෙම ෆෝමලීන් විද්දොත් මිනිය ඉක්මනට නරක් වෙන්න බලනවා. ඒ නිසා හරියටම බලනහරය තෝරලා බේරලා බෙහෙත විදින්න ඕනේ.’’
බලනහරය සොයාගැනීම උදෙසා කපන්නේ මළසිරුරේ දකුණු කලවා පෙදෙසයි..
‘‘සමහර අයගේ ප්‍රධාන බලනහරය හීන්වෙලා, තව සමහර අයගේ බලනහරේ ඇතුළේ වැලි. එහෙම වෙලාවට ඉතින් පොඩි බලනහර දෙක තුනක් හොයලා බලලා ෆෝමලීන් විදිනවා.’’
මේ ෆෝමලීන් බෙහෙතෙන් සිදුවන්නේ විනාඩි කිහිපයක් ඇතුළත මළසිරුර ඝනත්වයට පත් කිරීමයි..
‘‘කකුලෙන් බෙහෙත ඇඟට දෙන අතුරතුරේම බෙල්ල ගාවින් කපලා පොඩි බටයක් දාලා ඇඟේ තියෙන ලේ ටික අයින් කරන්න ඕනේ. හරියට ලේ අයින් නොකළොත් මිනිය ගඳ ගහන්න බලනවා. ලේ ටික අයින් කළාට පස්සේ බඩ මැදින් කපලා බඩබොකු ටික අයින් කරගන්නවා.’’
බඩවැල් ඉවත් කළ පසු උදරයට පුළුන් හෝ රෙදි කැබලි පුරවා උදරය මසාදමා, පසුව සිරුරටම පොලිතීන් ඔතා මිනී ඇඳුම අන්දවනා අයුරුත් ඈ සංක්ෂිප්තව පැහැදිලි කර තිබුණා..
‘‘ඊටපස්සේ පෙට්ටියෙන් මිනය තියලා මළගෙදරට අවශ්‍ය කරන මල්වඩම්, පාවඩ, ඇත් දත් වගේ සේරමත් එක්ක මළගෙදරට ගිහින් බාරදෙනවා. ගොඩක් වෙලාවට මේ සේරම වැඩ මම තනියම තමයි කරන්නේ.’’
මේ අපූරු කතාබහ අතරතුරේදී ඇය තවත් වෙනස් කතාවක් කියන්නත් අමතක කරලා තිබුණේ නැහැ..
‘‘දවසක් මිනියක් අරගෙන යන අතරතුරේදි හර්ස් එක කැඩුණා. මතක හැටියට නම් එතකොට පාන්දර එකට විතර ඇති. ඒ වෙලාවෙ ට්‍රිප් එකක් ගිය පිරිමි ළමයි කිහිපදෙනෙක් මාව දැකලා මගේ උදව්වට ආවා. හර්ස් එකේ මිනිය තියෙනවා දැකපු හැටියෙ මම හොල්මනක් කියලා හිතලා මේ ළමයි පණ එපෝ කියලා දිව්වා. මිනී එක්කම ඉන්න නිසා සමහරු මම හොල්මනක් කියලා වෙලාවකට රැවටෙනවා.
තවත් දවසක් රෑ දෙකට විතර මම මිනියක් අරන් මළගෙදරකට ගියා. පස්සේ ගෙදර ඥාතීන් ඇවිත් ‘ඔයා ආවේ ඇයි?’ කියලා මගෙන් ඇහුවා. පස්සේ ‘මිනී එම්බාම් කරන්නේ මමයි’ කියලා එයාලට කිව්වම අඬ අඬ හිටිය අයත් ඇඬිල්ල නතර කරලා තක්බීරි වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා. එදා ඒ අය මගේ ගැන හරියටවත් පුදුම වුණා.’’ තවමත් වයස අවුරුදු විසිහයක් වන දිනූෂා ඇගේ රැකියාව එක්ක ලබන අත්දැකීම් ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.. එසේම ඈ විවාහ වී සතුටින් දිවි ගෙවන කාන්තාවක්.. උපදින්නේම මියයාමට බව දන්නා නිසාමදෝ ඇගේ ජීවිතයට ඒ සා විශාල බලාපොරොත්තු නැති බවත් , තවත් බොහෝ කාලයක් මළගිය ඇත්තෝ වෙනුවෙන් තම සේවය ලබාදීම ඇගේ එකම පරමාර්ථය බවත් ඇය කියා තිබුණා..