මිනීමැරුම්, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධවල නිරතවෙමින් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි පාතාල අපරාධකරුවකු බව කියන ගීත්මාල් බිනෝයි දිල්ෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ (29දා) අලුයම මෙරටට රැගෙන එනු ලැබීය.
මෙම අපරාධකරුට එරෙහිව නිකුත් කර තිබූ ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුවට අනුව ඩුබායි පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබිණ.
පසුව ඩුබායි රාජ්‍ය වෙත ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් මෙම පාතාල ප්‍රබලයා සිය භාරයට ගෙන ඊයේ අලුයම 5.05ට මෙරටට රැගෙන එන ලදී.
මතුගම ශාන් නමැති පාතාල නායකයාගේ සමීපතම ගෝලයකු බව කියන බිනෝයි දිල්ෂාන් නමැත්තා මීට කලකට පෙර ශ්‍රී ලංකාවෙන් පැනගොස් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටියේය. මොහු ඩුබායිහි සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ මෙහෙය වූ බව පොලිසිය පවසයි.
ඉකුත් 2017 වසරේ සිට මොහු මතුගම ශාන් නමැති පාතාල නායකයාගේ කල්ලිය සමග සමීප සබඳතා පවත්වමින් විවිධ අපරාධවල නිරත වී ඇති බවද පොලිසිය පවසයි.
2017 වර්ෂයේ ජනවාරි 17 වැනිදා මතුගමදී පුද්ගලයකුට මන්නා පිහියකින් පහර දී බරපතළ තුවාල සිදු කිරීම, 2019 මැයි 31 වැනිදා පුද්ගලයකුට පහරදී බරපතළ තුවාල කර ත්‍රිරෝද රථයක් පැහැරගෙන යෑම, 2020 වසරේ ජූලි 11 වැනිදා හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට පත්වීම, 2021 දෙසැම්බර් 16 පුද්ගලයකුට පහර දී ත්‍රිරෝද රථයක් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
ඊට අමතරව කප්පම් ගැනීම්, මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන්ද මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව පොලිසිය පවසයි.
සැකකරු මතුගම පොලිසිය වෙත භාරදීමට නියමිතය.
හේමන්ත රන්දුණු, ටී.කේ.ජී. කපිල