හිතුවක්කාරකම්, මුරණ්ඩුකම් නිසා හුඟක් දේ අහිමි වෙනවා වගේම ලස්සන ජීවිත අපායවල් වෙනවා.
පුංචි කාලේ ඉඳලම අම්මා තාත්තා කියන දෙයක් අහන්නේ නැතිව, පිළිගන්නේ නැතිව කරන වැඩ නිසාත් තරුණ කාලය නැතිවෙලා යනවා.
ඒ විදිහට ඉවසීමක් නැතිව, වැරදි පාරවල්වල ගිහින් තමන්ගේ බිරිඳව ඝාතනය කරලා ලස්සන ජීවිතය අපායක් කරගත් තරුණයෙකුගේ සංවේදී හෙළිදරව්වකි මේ.
මං ඇත්තම කියන්නම්. එතකොට ඔයාටම හිතාගන්න පුළුවන් මං කොච්චර දහජරා චරිතයක් ද කියලා.
මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඇට්ටරයා. තාත්තා හුඟක් උත්සහ කළා මාව හොඳ මාර්ගයට ගන්න. ඒත් බැරිවුණා. අපේ ගෙදරට හැමදාම අහල පහළ ගෙවල්වල ළමයින්ගේ මවුපියෝ නඩු ගෙනාවා.සමන්ත මගේ පුතාට ගහලා..
මුදලාලි බලන්නකෝ ඔයාගේ පුතා මගේ පුතාගේ දත කැඩෙන්න ගහලා..
එක එක ජාතියේ ප්‍රශ්න කියාගෙන හැන්දෑවට අපේ ගෙදරට අවට මිනිස්සු ආවා... ඒ හැම හැන්දෑවකම මම තාත්තගෙන් නොසෑහෙන්න ගුටිකෑවා...
ඔහොම ගහන්න එපා දෙවියනේ.... කොල්ලා මැරිලා යාවි..
අම්මා සමහර වෙලාවට තාත්තගේ අත්දෙකේ එල්ලෙනවා. ඒ වෙලාවට අම්මටත් පහරක් දෙකක් වදිනවා.
කොහොමහරි තාත්තා ටික කාලෙකට පස්සේ ගෙවල් දොරවල් විකුණලා වෙන පළාතකට පදිංචියට ගියා.
පුතේ උඹ මෙහෙදිවත් හොඳට හැදියන්..
අම්මා මට වැන්දේ නැති ටික විතරයි. ඒ වෙනකොට මං සාමාන්‍ය පෙළ පන්තියේ හිටියේ.
මගේ හිතේ දඟකාර ඇට්ටරකම ඇරුණම මනමාලකමත් තිබුණා.
මං එහා ගෙදර හිටපු ගෑනු ළමයා දිහා බලන්න ගත්තා. ඒ ළමයා නානකොට හොරෙන් ඒ දිහා බලාගෙන හිටියා. මට අමුතු අමුතු ආශාවල් ඇතිවුණා. කොහොමහරි මං ඒ කෙල්ල එක්ක යාළුවුණා.
එයාගෙ නම නිලන්ති. නිලන්ති මට වඩා වැඩිමල්.
අපේ අම්මට තාත්තාට හොරෙන් ඒ ආශ්‍රය කරගෙන ගියත් වැඩිකල් යන්න ලැබුණේ නැහැ.
නිලන්තිගේ ගෙදරට අපි දෙන්නව අහුවුණා. ඒ වෙනකොට මං සාමාන්‍ය පෙළ විභාගය කරලා ගෙදරට වෙලා හිටියේ..
අපේ කෙල්ල ආයේ වෙන මිනිහෙක්ට දෙන්න බැහැ..
එහෙම කියපු ගෑනු ළමයගෙ අම්මයි තාත්තයි පොලිසි ගියා.
අපේ අම්මයි තාත්තයි මගේ දිහා බැලුවේ පූරුවේ වෛරක්කාරයෙක් දිහා බලන විදිහට.
පොලිසියේදී තීරණය වුණේ මට ඒ කෙල්ලව බඳින්න කියලා.
ඒක එහෙම වුණේ නිලන්ති මාව අත අරින්න අකමැති වුණු නිසයි.
නිලන්ති කියන්නේ කිසිම හැඩයක් ඇති කෙල්ලෙක් නෙමෙයි.
ඒත් එයාට දිග කොණ්ඩයක් තිබුණා. මම එක අතකට මොනවට ඒ වගේ කෙනකුට කැමතිවුණා ද මන්දා....
ඒත් මේ සිද්ධිය වෙලා අවුරුදු දෙකකට විතර පස්සේ මම නිලන්තිව බැන්දා.
නිලන්තිව බඳිනකොට මට වයස අවුරුදු දහ නවයයි. නිලන්තිට විසිතුනයි. ඒ වෙනකොට අපේ පුතාට අවුරුදු එකහමාරයි. දරුවා ලැබුණේ කසාද බඳින්න ඉස්සෙල්ලා..
එකා යකා කියන්නේ ඕක තමයි. දැන්වත් ඉතිං හැදෙන්න බලපං...
මම නිලන්තිව ගෙදර එක්කගෙන ආව දවසේ තාත්තා මට එහෙම කිව්වා.
මගේ ඉගෙනීම එතනින්ම නතරවුණා. තාත්තා මට එයාගේ රෙදි කඩේ කරගෙන යන්න කියලා බාරදුන්නා.
අම්මයි, නිලන්තියි අතර ප්‍රශ්න නොතිබුණාම නෙමෙයි. සමහර දවස්වලට අම්මයි, නිලන්තියි දෙන්නා ගෙදර හිටියේ දෙපැත්ත බලාගෙන.
තාත්තා මේ හැමදේම බලාගෙන ඉඳලා අන්තිමට අම්මවත් අරගෙන එයාගේ ගමට ගියා.
මට අම්මවවත් තාත්තවවත් නතර කරගන්න ඕන වුණේ නැහැ.
ඒ වෙනකොට මට නිලන්ති හිසරදයක් වෙලා තිබුණේ. මං පුළුවන් තරම් දවස ගෙව්වේ ටවුමේ තිබුණ රෙදි කඩයටවෙලා.
ඔහොම ඉන්න අතර තමයි මං රෙදි කඩේ වැඩට හිටපු සඳමාලි එක්ක යාළුවුණේ.
ඒ කෙල්ල මට පුදුම ආදරයක් දැක්වුවේ. මම නිලන්තිව අමතක කෙරුවේ නැහැ.
ඒත් එයා ගෙදරට කොටුවුණා. පුතා මොන්ටිසෝරි යන කාලේ වෙනකොට සඳමාලිටත් දරුවෙක් ලැබෙන්න හිටියා.
ඒත් මං ඒක නැති කෙරුවේ හිතක් පපුවක් නැති මිනිහෙක් ගානට.
නිලන්තිගෙ ගෙදරින් මට හරියට ප්‍රශ්න ආවා. මගේ අම්මයි, තාත්තයි ඇවිල්ලා මට නොයෙක් විදිහට කිව්වා ගෙදර ගිහිල්ලා නිලන්ති එක්ක ආයෙත් ජීවිතේ පටන්ගන්න කියලා.
අම්මලාගේ හිත හදන්න ඕන නිසා මං ගෙදර ආවා. ඒත් මට නිලන්ති එක්ක ජීවත්වෙන්න ඕනවුණේ නැහැ. ගෙදර හැම තිස්සෙම ප්‍රශ්න. ඔය අතරේ තමයි සඳමාලිව එයාගේ ගෙදර අය අපේ ගෙදරට එක්කගෙන ආවේ.
මගේ ඔළුව විකාර වෙලා හිටියේ. සඳමාලිගේ අයියලා මට විරුද්ධව පොලිසි ගියා. ඒ විතරක් නෙමෙයි මට මිනිස්සු දාලා ගැස්සුවා.
මගේ කකුල කැඩුවා. අම්මයි, තාත්තයි මගේ දිහාවත් නොබලා කඩේ විකුණලා ගමට ගියා.
මොනවා වුණත් නිලන්ති මගේ ළඟ හිටියා. ඒත් මට ඒ ගෑනි දකිනකොට හරි තරහයි.
මට හිතුණේ මගේ ජීවිතේ නැතිවුණේ නිලන්ති හින්දා කියලා.
මං දවසක් නිලන්තිට ගැහුවා. එයාගේ අත කැඩුවා. ඒත් මං දන්නෑ මොන කරුමෙටද කියලා, මේ ගෑනි මාව දාලා ගියේ නැහැ.
නිලන්තිගේ අක්කට දරුවෝ හිටියේ නැහැ. එයා අපේ පුතාව එයා ළඟට ගත්තා.
තාත්තා කඩේ විකුණලා දැම්ම නිසා මට ජීවත්වෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ.
මං අන්තිමට නිලන්ති අඬාවැටෙද්දී ගේ විකුණුවා.
ඒ සල්ලිවලින් ණය බේරුවා. ඊට පස්සේ අපි පුංචි ගෙයක් කුලියට ගත්තා.
නිලන්ති ගාමන්ට් එකක රස්සාවට ගියා. බීමත්කමට ඇබ්බැහිවෙච්ච මම නිලන්ති දිහා බැලුවේ සැකෙන්.
මං වටේ යාළුවෝ හිටියා. ඒ හැම එකාටම මං මගේ ගෑනිව විකුණුවා.
ඒ ගෑනි හැම උදේකම මගේ කකුල් දෙක ළඟ වැටිලා දුක කිව්වා. එහෙම කරන්න එපා කියලා...
ඒත් මගේ මේ දහජරා හිත ඒවා ඇහුවේ නැහැ. නිලන්ති පරඬැලක් වගේ වුණා.
දවසක් ගෑනි මගේ වචනයට පිටින් ගියා. ඒකි එදා මං කිව්ව මිනිහා එක්ක ගියේ නැහැ. යාළුවෝ මට හිනාවුණා.
උනුත් මං වගේම බේබද්දෝ. නිලන්ති රෑ කළුවරේ ගෙදරින් එළියට බැහැලා දුවන්න ගත්තා.
අහල පහළ මිනිස්සු අපි ගැන දන්න හින්දා ගෙදර මොන සද්ද ආවත් බේරන්න ආවේ නැහැ.
කළුවරේ වැටි වැටී දුවන නිලන්තිව මං අල්ලගත්තා. ඒකිගේ දිග කොණ්ඩයෙන් ඇදලා අරගෙන මං කම්මුලට ගැහුවා.
ගෑනි මගේ කකුල් දෙක ළඟ වැටුණා. පස්සෙ මං ඒකිගේ ඔළුව පොල් ගහේ ගැහුවා.
මං දන්නෑ, මං මොනවා කළාද කියලා. නිලන්තිගේ ලේ මගේ අත්වල තැවරුණා. හැල හොල්මනක් නැතිව නිලන්ති ගහ පාමුල ඇදගෙන වැටුණා.
මං මගේ ගෑනිව මැරුවා..මං පාදඩයෙක්...
මිනීමරුවෙක්.. එකවරම ඔහු කෑ මොර දුන්නේය.
මේ හිරගේ මට දුකක් නෙමෙයි. මේක මං කරපු වැරදිවලට දඬුවම් දෙන තැනක් නෙමෙයි.
අතීතය හාරා ඇවිස්සීමට අකමැති වූ සමන්ත අවසානයේ තම කතාව කියා නිම කළේ එසේය.
ඔහු බිම බලාගෙන කඳුළු සලන්නට විය.
“මට මගේ පුතා බලන්න ආසයි. ඒත් නිලන්තිගේ ගෙදර අය මට පුතා පෙන්නන්නේ නැහැ. මං නිලන්තිට කළේ ලොකු අපරාධයක්..”