යාළුවෝ නිසා ජීවිතේ හදාගන්න අය වගේම ජීවිත වරද්දගන්න අයත් ඕනෑ තරම් ඉන්නවා.
ඒ වගේම ඉවසීමක් නැතිවුණාමත් ජීවිතේ සතුට අපෙන් ඈත් වෙලා යනවා.
මේ හැමදෙයක්ම නිසා මිනීමරුවෙක් වෙලා ලස්සන ජිවිතේ අපායක් කරගත්තු තරුණයෙකුගේ සංවේදී කතාවයි මේ.
''මට ජීවිතේ එපාවෙලා තියෙන්නේ. වෙලාවකට හිතෙනවා මැරෙන්න ඕන කියලා.
ඒත් මං එහෙම නොකරන්නේ ඇයි කියලවත් මටම හිතාගන්න බැහැ. හිතන්නකෝ මෙහෙම... මිනිහෙක්ට ජීවත්වෙන්න නම් බලාපොරොත්තුවක් තියෙන්න ඕන.
ඒත් කෝ මට එහෙම බලාපොරොත්තුවක්. කවදා හරි මෙතැනින් එළියට ගිය දවසට යන්න එන්න තැනක්වත් තියෙනවා නම් මං ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගෙන හිටියට කමක් නැහැ.
ඒත් මම කොහේ කියලා යන්න ද? මට කියලා කවුද ඉන්නේ...? කාලයක් මම මානසික ලෙඩකට බෙහෙත් ගත්තා. ඊට පස්සේ ඒ ලෙඩේ හොඳවුණා.”
අසනීප වුණේ කොයි කාලෙ ද?
“මම ඉස්කෝලේ යන කාලේ. අපේ අම්මයි තාත්තායි දෙන්නම හිටියා. මම පවුලේ වැඩිමලා. නංගියි, මල්ලියි පුංචියි.
එයාලා ඉස්කෝලේ දෙක තුන පන්තිවල හිටියේ. මම ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තා.
ඒ වුණාට මං යාළුවෝ කාණ්ඩෙට වැටිලා හිටියේ. අම්මා කොච්චර එපා කිව්වත් මං ඒක ඇහුවේ නැහැ. අන්තිමට අම්මා මාව නිවාඩු මාසෙට ගෙයි කාමරේක දාලා දොර වහනවා. මං ඒ වෙනකොට ඉස්කෝලේ දහයේ පන්තියේ හිටියේ. මම අම්මා ගැන හරිම තරහෙන් හිටියේ.
අපේ තාත්තා රස්සාව කළේ පිටපළාතක. යාළුවන්ගෙන් වෙන්වුණාට පස්සේ මගේ හිතට හරි දුකක් පාලුවක් දැනුණා.
මම සුරුට්ටු බිව්වා. ඊටත් වඩා මට සුරුට්ටු නැතිව ගියා. මං කාමරෙන් හොරෙන් පනින්න හැදුවත් බැරිවුණා.
මං ඒ කාමරේ තිබුණු බඩු පොළවේ ගැහුවා. කෑ ගැහුවා. මං දන්නෑ මට මොනවා වුණා ද කියලා..
මං හිටියේ ගෙදර හැමෝම එක්ක තරහින්. අන්තිමට මං කා එක්කවත් කතාවට ගියේ නැහැ. මට හිනාවෙන්න අමතකවෙලා ගියා. මං නෑවෙ නැහැ. කෑවෙ නැහැ. ඊට පස්සේ තමයි අම්මයි, තාත්තායි මාව මානසික වෛද්‍යවරයකුට පෙන්නුවේ.
කාලයක් බෙහෙත් බිව්වා. මගේ ඉස්කෝලේ ගමන අතරමඟ නතර වුණා.
අම්මා මං ගැන හිත හිතා ඉඳලම අසනීප වුණා. එත් මට ඒ කා ගැනවත් විශේෂ අවධානයෙන් බලන්න උවමනාවක් තිබුණේ නැහැ.
තාත්තා වුණත් මං ගැන උනන්දුවෙන් බැලුවේ නැහැ. මං ගෙදර අත්හැරියේ ඔය කාලෙදී. ආයෙමත් මං යාළුවෝ සමඟ එකතුවුණා. ගෙදරින් ගියාට පස්සේ තැන් තැන්වල ජීවත් වූණා.''
ගෙදරින් ගිහිල්ලා මොනවද කළේ?
මං මුලින්ම කිව්වනේ... මම ඉස්කෝලේ යනකාලේ ඉඳලා සුරුට්ටුවට පුරුදුවෙලා හිටියේ කියලා.
ආයෙමත් මං සුරුට්ටු ගහන්න පටන් ගත්තා. යාළුවෝ අතර දෙන්නෙක් විතර හිටියා “කුඩු” ගහන අය.
මමත් කුඩු ගහන්න ගත්තා. ඒක මරු. ඒත් අතේ සල්ලි තිබුණේ නැහැ. යාළුවෝ පුංචි පුංචි හොරකම් කළා. මමත් ඒ ගොල්ලෝ එක්ක හොරකම් කරන්න පුරුදු වුණා.”
මොනවද හොරකම් කළේ?
''මං මාල කඩන්න පුරුදු වුණා. මගේ යාළුවකුට මෝටර් සයිකලයක් තිබුණා. අපි හැන්දෑවට බස්හෝල්ට් කිට්ටුව ඉන්නවා.
කන්තෝරු ගිහිල්ලා බස්වලින් බැහැලා එන අය ගැන ඇහැ ගහගෙන ඉන්නේ විශේෂයෙන් ගැහැනු අය ගැන.
ඊට පස්සේ තනියම යන ගෑනු අයගේ පස්සෙන් යනවා. පාළු තැනකදි බලලා මාලේ ඇදගෙන යනවා. ඒත් එක්කම වාගේ යාළුවා බයිසිකලේ එනවා.
ඊට පස්සේ ඉතිං අපිව අල්ලනවා බොරු.”
කඩන මාලවලට මොකද කරන්නේ ?
''අපිට ඕන සල්ලි. රත්තරන් බඩුවලින් අපිට වැඩක් නැහැ. අපි රත්තරන් බඩු කඩවලට විකුණනවා.
මුදලාලිලා ඉන්නවා අපෙන් රත්තරන් ගන්න කැමති. සල්ලි ගත්තට පස්සේ කරන්නේ “කුඩු” ගන්න එක. මං මට විතරක් කියලා “කුඩු” ගන්නේ නැහැ.
යාළුවෝ හැමෝටම ගන්නවා. අපිට කන්න බොන්න නම් මහ වියදමක් ගියේ නැහැ.”
පොලිසියට කොටුවුණේ නැද්ද?
''දැන් මගේ වයස අවුරුදු තිස්පහයි. මං මාල කඩන්න, කුඩු ගහන්න පටන් ගත්තේ අවුරුදු දහඅටෙන් විතර.
මේ අවුරුදු ගාණටම හය හත් වතාවක් මාව පොලිසියට අහුවෙන්න ඇති.
අවුරුද්ද, දෙක, තුන හිරේ ගියා. සමහර වෙලාවට යාළුවෝ ඇවිත් ඇපදීලා බේරගෙන තියෙනවා.
කසාද බැන්දෙ නැද්ද?
''කවුරු හරි කියන්න පුළුවන් උඹලා වගේ කරුමක්කාරයොත් එක්ක ගෑනු ඒවිද කියලා.
අපි “කුඩු” ගැහුවා කියලා පෙරේතයෝ වගේ ඇඳගෙන හිටියේ නැහැ. හොඳට පිළිවෙලට ඇඳුම් ඇන්දා.
කෙල්ලෝ අපි දිහා හැරිලා බැලුවා. මටත් කෙල්ලෙක් හිටියා. මුලින් එයාගේ ගෙදරින් කැමති වුණේ නැහැ.
අන්තිමට කෙල්ල මගෙත් එක්ක යන්න ආවා. එයාට අවුරුදු විස්සක් විතර ඇති. එයා කසාද බඳිමුයි කිව්වට මං දවසින් දවස ඒක කල් දැම්මා.
මං එයාව අරගෙන ආවෙත් යාළුවෝ ඉන්න තැනට. යාළුවෝ ඒකට කැමතිවුණේ නැහැ. අපි හිටියේ යාළුවකුට අයිති ගෙදරක. එයාගේ ගෙදර එයා විතරයි හිටියේ.
මගේ කෙල්ල අපි හැමෝටම කන්න ඉව්වා. මුලින් මුලින් එයා මේ කිසිම දේකට කැමති වුණේ නැහැ.
ඒත් මං එකපාරක් හිරේ ගිහිල්ලා එනකොට එයා වෙන මිනිහෙක් එක්ක යන්න ගිහිල්ලා. මං එයාව හොයන්න එච්චර උනන්දු වුණෙත් නැහැ.”
ඊට පස්සේ...
ඊට පස්සෙත් එක එක්කෙනා හිටියා. අන්තිමට හිටියේ ලලනි.
එයා “කුඩු” ගහන්න පුරුදුවෙච්ච එක්කෙනෙක්. අපි දෙන්නා තුන්දෙනාට “කුඩු” ගහන්න මම සල්ලි හෙව්වා.
ලලනි හරි හොඳයි. ඒත් එයා මගේ යාළුවා එක්ක ඉන්නවා මං දවසක් දැක්කා. මට කේන්තිය උහුලගන්න බැරිවුණා.
මම ලලනිට පිහියෙන් ඇන්නා. යාළුවා පැනලා දිව්වා.
මං දන්නෑ ලලනි මැරුණද කියලා. මං හැංගිලා හිටියේ. ඒත් ඊට ටික දවසකට පස්සේ ලලනි මැරුණා කියලා මට දැනගන්න ලැබුණා.
මාව පොලිසියට අහුවුණා. මට මගේ ඔලුව අවුල් වුණා වගේ දැනෙන්න ගත්තා. එල්ලුම්ගහට නියමවෙලා ඉන්න මට ආයේ කවදාවත් ගෙදර යන්න ලැබෙන්නේ නැහැ කියලා මං දන්නවා.
හිරගෙදර ආවට පස්සේ...
ආවට පස්සෙත් මම “කුඩු” ගැහුවා.
ඒත් දැන් කුඩු ගහන්නේ නැහැ. එහෙම වුණේ සල්ලි නැති නිසා. යාළුවෝ මාව බලන්න එන්නෙත් නැහැ.
අපේ ගෙදරින් මාව අත්හැරලම දැම්මා. කොහොමත් එහෙම වෙච්ච එක හොඳයි. මං වගේ කරුමක්කාර පුතෙකුගෙන් ඒ අම්මටයි තාත්තාටයි දුකක් මිස සතුටක් ලැබෙන්නේ නැහැනේ...”
මෙහෙදී මොකද කරන්නේ...?
"මොනවා කරන්නද. වේලාවට කන්න බොන්න ලැබෙනවා.
අසනීපයක් වුණොත් බෙහෙත් ලැබෙනවා. එළිවෙනවා, රෑ වෙනවා. අරමුණක් නැහැ. බලාපොරොත්තුවක් නැහැ.
මං දවස ගෙවෙන හැටි බලාගෙන ඉන්නවා. කොහොමටත් මට ආත්මයක් නැහැ. ඒක මම හොඳට දන්නවා. මෙහෙම මැරිල යන්න තියෙනවනම් ඒකත් හොඳයි."