gossip lanka

"දවස් තුනක්ම ඇතුළට වෙලා ඉඳලා... දවල්ට නිදාගෙන...රෑට සේප්පු කඩලා" - වැටුණු ග්‍රයින්ඩර් තලයෙන් රහස හෙළිකරගත්, ජා-ඇළ කෝටි ගණනක කොල්ලයේ සැකකරු කියන කතාව

අපරාධයක් සිදුකරන පුද්ගලයකු එය කොතරම් සූක්‍ෂම ලෙස සිදුකළත් ඔහු නොදැනුවත්වම කිසියම් හෝඩුවාවක් අපරාධය සිදුකළ ස්ථානය තුළ ඉතිරි කර යන්නේය. 

එම හෝඩුවාව හඳුනා ගැනීමට දක්‍ෂ පොලිස් විමර්ශකයකුට එතරම්  අපහසු වන්නේ නැත. ඒ සඳහා එම නිලධාරියා සතුව විමර්ශන හැකියාවක් තිබිය යුතුය. අපරාධය සිදුකළ ස්ථානයේ වැටී ඇති බස් ටිකට්පතක්, සිගරැට් කොටයක්, බිල්පතක්, සෙරෙප්පුවක් හෝ කුමන හෝ කුඩා ද්‍රව්‍යයක් හඳුනාගෙන ඒ ඔස්සේ කරන ලද විමර්ශන තුළින් සැඟවුණ අපරාධ විසඳූ අවස්ථා පොලිස් පොත්වල කොතෙකුත් සටහන් වී ඇත.

පසුගියදා ජා-ඇළ නගරයේ පිහිටි සමුපකාර ග්‍රාමීය බැංකුව ඉතා සූක්ෂම ලෙස කඩා එහි සේප්පුවල තිබූ රුපියල් කෝටි ගණනක රන් අභරණ කිසිවකු විසින් පැහැරගෙන ගොස් තිබුණේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ඇරැඹූ අතර ඉන් එක් කණ්ඩායමක් බැංකුව තුළ වැටී තිබූ ග්‍රයින්ඩර තලයක් සොයා ගත්තේය. එම හෝඩුවාව ඔස්සේ හඹාගිය නිලධාරීන්ට තලය මිලදී ගත් පුද්ගලයා සොයාගෙන කළ ප්‍රශ්න කිරීමේදී ග්‍රාමීය බැංකුව කඩා කොල්ලකෑ රුපියල් කෝටි දෙකකට වැඩි රන් අභරණ තොගයක් ඔහුගේ නිවෙස තුළ සඟවා තිබියදී සොයාගැනීමට හැකි විය. පොලිසිය පවසන අන්දමට සිද්ධිය මුල සිට පෙළගැසෙන්නේ මෙසේය.

මුළු රටම වෙසක් සිරියෙන් ඇළලි ගොසිණි. දන්සල්, තොරන්, විසිතුරු කූඩු සෑම ප්‍රදේශයකම දක්නට ඇත. ජා-ඇළ නගරය කේන්ද්‍රකොට ගෙනද තොරණක් සහ දන්සල් කිහිපයක් ඉදිකර තිබිණි. ඉන් එක් දන්සලක් ස්ථාපිත කර තිබුණේ ජා-ඇළ සමුපකාර ග්‍රාමීය බැංකුව ඉදිරිපිටය.

වෙසක් පුන් පොහොය දින සහ ඊට පසුදින එම දන්සල ඉතා සාර්ථකව පැවැත්විණි. ඒ සඳහා නගරයේ තරුණ පිරිස්වල දායකත්වය ලැබුණු අතර දන්සලේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රවලින් නැඟෙන බැති ගී රාවය ඒ අවට සිසාරා පැතිර ගියේය. තරුණයන් සැමගේ අවධානයද යොමුව තිබුණේ දන්සල වෙතය.

23 සහ 24 යන දෙදින තුළ එම දන්සල වෙත බොහෝ පිරිස් ඇදී ආහ. දන්සල සංවිධානය කළ පිරිසට එය ඉතා සතුටුදායක කරුණක් විය. පසුදාට උදාවිය. එය සෙනසුරාදා දිනයකි. දන්සල පිටිපස ඇති සුමපකාර ග්‍රාමීය බැංකුව විවෘත කිරීම සඳහා එහි කළමනාකාරවරිය, තවත් නිලධාරිනියක් සමඟ බැංකුව වෙත පැමිණියාය. බැංකුවේ ඉදිරිපස ඇලුමිනියම් රෝල් ‍ෙදාර විවර කළ කළමනාකාරවරිය ඊට පසුපසින් ඇති වීදුරු ‍ෙදාර විවර කරන්නට වෙර දැරුවද එය අසාර්ථක විය.

නිලධාරිනියට එය කිසියම් සැකයක් ගෙන දුන්නාය. වීදුරුව තුළින් එබී බැංකුව දෙස බලද්දී ‍ෙදාර ඇතුළින් තදින් බැඳ ඇති බව ඇයට වැටහුණාය. ඇය ඉන් මඳක් කලබල වූවාය. නිලධාරිනිය සමඟ බැංකුවේ පිටුපසට දිවගිය ඇයට දකින්නට ලැබුණේ පිටුපස බිත්තියක විශාල කුහරයක් ඇති බවය. ඇය වහා 119 හදිසි ඇමතුම් අංශය අමතා මේ බව කීවාය. ජා-ඇළ පොලිසියේ නිලධාරීන් බැංකුව වෙත පැමිණෙන්නේ ඉන් පසුවය.

නිලධාරීහු විමර්ශන ඇරැඹූහ. බැංකුවේ ඉදිරිපස ‍ෙදාර විවර කරගත් නිලධාරීන් බැංකුව තුළට ඇතුළු වී කළ පරීක්‍ෂාවේදී අනාවරණය වූයේ බැංකුව තුළ තිබූ යකඩ සේප්පු තුනම කඩා දමා ඒවායේ තිබූ රන් අභරණ සහ මුදල් කොල්ලකා ගෙන ගොස් ඇති බවය. එමෙන්ම බැංකුව පිටුපස බිත්තිය හාරා එම කුහරයෙන් බැංකුව තුළට ගොස් ඇති අපරාධකරුවන් එහි සේප්පු තැන්පත් කර තිබූ කොන්ක්‍රීට් බිත්ති සහිත කාමරයද හාරා ඒ තුළට රිංගා ඇති බවත් එහි වූ සේප්පු තුනම ග්‍රයින්ඩින් මැෂිමකින් කපා ඇති බවත් නිලධාරීන්ට වැටහිණි.

නිලධාරීහු වහා සොකෝ නිලධාරීන් කැඳවූහ. ඒ සමඟ ඇඟිලි සටහන් නිලධාරීහුද පැමිණියහ. අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු සොයා ගන්නට එම නිලධාරීහු සේප්පු තුනම සියුම් පරීක්‍ෂාවකට ලක් කළහ. සොකෝ නිලධාරීහු සිද්ධිය වූ ස්ථානයේ ඇති කිසියම්  හෝඩුවාවක් සොයා ගැනීමට වෙහෙසුණහ.

ජා-ඇළ පොලිසියේ අපරාධ විමර්ශන අංශය මූලික විමර්ශන එසේ සිදු කරද්දී ජේ‍යෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයද සිද්ධිය වූ ස්ථානයට කැඳවිණි. ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයසේකර ඇතුළු කණ්ඩායමක්ද බැංකුව තුළට පිවිස අපරාධයට සම්බන්ධ කිසියම් හෝඩුවාවක් සොයාගන්නට වෙරදැරූහ. නිලධාරීන්ගේ මූලික අවධානය යොමුවූයේ බැංකුව තුළ ස්ථාපිත සී.සී.ටී.වී. කැමරා වෙතය. එය පරීක්‍ෂා කිරීමට ගිය නිලධාරීන්ට දක්නට ලැබුණේ අපරාධකරුවන් කැමරා DVR යන්ත්‍රයද ගලවාගෙන ගොස් ඇති බවය. එම හේතුව නිසා එම උත්සාහය අත්හල නිලධාරීන් බැංකුව අවට වෙනත් ගොඩනැඟිලිවල ඇති කැමරා නිරීක්‍ෂණය කරමින් බැංකුව තුළට ඇතුළු වන හෝ පිටව යන පුද්ගලයන් ගැන නිරීක්‍ෂණයක යෙදුණද, ඒ කිසිදු කැමරාවක එවන් දර්ශන පටිගතව නොතිබිණි. මෙය විමර්ශකයන්ට මහත් අපහසුතාවක් ගෙන දුන්නේය. කෙසේ වෙතත් නිලධාරීන් එක් කරුණක් ඒත්තු ගැනිණි. ඒ යකඩ සේප්පු තුනම කඩා ඇත්තේ ග්‍රයින්ඩරයක් උපයෝගී කරගෙන බවය.

“මේ සේප්පු තුනෙන් එකක තිබුණේ බැංකුවේ ගනුදෙනුවල ලියකියවිලි. අනිත් එකේ සල්ලි. ඊළඟ එකේ තමයි මිනිස්සු උකස් කරපු රත්රන් මාල, කරාබු, මුදු, බේ්‍රස්ලට් තිබුණේ.”

“ලියකියවිලි මුකුත් අරන් ගිහින් නැහැ. ඒත් සල්ලි ලක්‍ෂ 9ක් තිබුණා. ඒ සේරම අරන් ගිහින්. කෝටි දෙකකට වැඩි රත්රන් තිබුණා. ඒවත් අරගෙන ගිහින්.”බැංකු නිලධාරිනිය පොලිසිය හමුවේ එසේ කීවාය.

“සමහර විට දෙන්නෙක් තුන්දෙනෙක් මේක ඇතුළට එන්න ඇති නැත්නම් එක පුද්ගලයෙක් මේක කරන්නත් ඇති…”නිලධාරීන්ගේ සැකය විය. අනතුරුව කපා තිබූ සේප්පු අවට සිය උකුසු ඇස් යොමු කරද්දී ඔවුන්ගේ නෙත ගැටුණේ සේප්පුව අසල වැටී තිබූ කිසියම් යකඩ තලයක් වෙතය. නිලධාරීන් එම තලය පිරික්සීය.

“මුන්ට මේක අමතක වෙලා දාලා යන්න ඇති…”ස්ථානාධිපතිවරයාගේ සැකය විය. නිලධාරීන් එම දවටනයේ සටහන් දෑ පරීක්‍ෂා කළේය. එම ග්‍රයින්ඩර තලයේ නිෂ්පාදිත නම, සඳහන් වී තිබිණි. අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ සහ මෙහෙයුම් භාර සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයසේකර ඇතුළු කණ්ඩායමේ අවධානය එම තලයේ නිෂ්පාදිත නම වෙත යොමුවිය.

“ඉන් පස්සේ අපි ඉන්ටර්නෙට් එකට ගිහින් ඒ නිෂ්පාදිත නම අයත් කම්පැනිය සොයා ගත්තා. කම්පැනියේ දුරකථන අංක ඔස්සේ ඉදිරියට ගිහින් ඒ කොම්පැනියේ හෙඩ් ඔෆිස් එක සොයාගෙන ඒකේ හිමිකරුගේ දුරකථන අංකය ලබාගෙන ඒ පුද්ගලයා සම්බන්ධ කරගෙන ඇහැව්වා මෙන්න මේ නම තියෙන තල ගෙන්නන්නේ ඔයගොල්ලොද කියලා.”

“එතකොට ඒ පුද්ගලයා කිව්වා “ඔව් අපි තමයි ඒ තල ගෙන්නන්නේ. ලංකාවේ වෙන කවුරුවත් ඒ බ්‍රෑන්ඩ් එක තියෙන තල ගෙන්නන්නේ නැහැ. අපි විතරයි ගෙන්නන්නේ’ කියලා.පස්සේ අපි එයාගෙන් ප්‍රශ්න කරද්දී එයා අපිට කිව්වා අපේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ දෙල්ගොඩ. තව බ්‍රාන්ච් දෙකයි මුළු ලංකාවටම තියෙන්නේ. එකක් තියෙන්නේ කදානේ අනික තියෙන්නේ රාගම කියලා.

මෙලෙස හිමිකරුගෙන් තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව ඔහුට එම කරුණු කාරණා විමසන්නට හේතුවද පහදා දුන් නිලධාරීහු ඔහු සමඟ දෙල්ගොඩ, කදාන සහ රාගම යන ප්‍රදේශවල ස්ථාපිත එම වෙළෙඳසල් තුනටම ගොස් ඒවායේ සී.සී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කරන්නට වූහ.

“20 වැනිදා ඉඳලා දිගින් දිගටම කැමරා චෙක් කළා. ඒ වගේම අපි බැලුවා ඒ තල විකිණිලා තියෙන්නේ කවදාද කියලා. බ්‍රාන්ච් තුනේම තියෙන බිල් චෙක් කරද්දී අපිට පෙනුණා මැයි මාසේ 20 වැනිදා පුද්ගලයෙක් රාගම තියෙන බ්‍රාන්ච් එකෙන් ග්‍රයින්ඩින් තලයි ග්ලවුස් එකකුයි තවත් ආයුධ කිහිපයකුයි මිලදී ගෙන තියෙන බව. පස්සේ අපි එදා පටිගත වුණු සී.සී.ටී.වී. දර්ශන බැලුවා.ඒ බලන කොට අපිට නිරීක්‍ෂණය වුණා. පුද්ගලයෙක් සුදුපාට ඇක්සියෝකාර් එකකින් ඒ බ්‍රාන්ච් එකට ඇවිත් ඒ භාණ්ඩ මිලදී ගන්නා ආකාරය.

පස්සේ අපි ඒ රූපරාමුවල පිටපත් ලබාගත්තා. ඒ පුද්ගලයා පැහැදිලිවම පෙනුණා. ඒත් එයා ආව කාර් එකේ අංකය එච්චර පැහැදිලි වුණේ නැහැ. නොම්මර දෙක තුනක් විතරයි අපිට පෙනුණේ්…”

නිලධාරීන් එම අංක දෙක තුනද රැගෙන ඊළඟට ගියේ ආර්. එම්. වී. එකටය. අපැහැදිලි අංක එම ආයතනයට ලබාදෙමින් කළ විමර්ශනයේදී ඔවුන්ට ඇක්සියෝ වර්ගයේ මෝටර් රථයක අංකයක් පෙන්නුම් කරන්නට වූ  අතර ඒ අනුව නිලධාරීන්ගේ සැකය තහවුරු වන්නේ සී.සී.ටී.වී. කැමරාවල ඇත්තේද ඇක්සියෝ රථයක් නිසාය.

ABE 5142 දරන එම අංකය ලබාගත් විමර්ශන නිලධාරීන් ඊළඟ පියවර තබන්නේ එහි හිමිකරු කවුදැයි හඳුනාගැනීම සඳහාය. RMV ආයතනයේ ලියාපදිංචිව සිටි හිමිකරුගේ ලිපිනය ලබාගත් නිලධාරීන් ඊළඟට යන්නේ බොරැලස්ගමුව බෙල්ලන්විල සෝමරත්න මාවතටය.

“සර් මම නෙවේ ඒ කාර් එක පාවිච්චි කරන්නේ” ඔහු නිලධාරීන්ට කීවේය.

“දවසක් භාරත මගෙන් ගෙදර ඇඩ්‍රස් එක ඉල්ල ගත්තා. එයා කිව්වා ඒ ඇඩ්‍රස් එක දාලා ග්‍රාම සේවක සහතිකයක් ගන්න ඕන, කාර් එකක් ගන්න කියලා. එයා කුලියට ඉන්නෙ කියලා. පස්සේ මම මේ ඇඩ්‍රස් එක එයාට දුන්නා. ඒ ඇඩ්‍රස් එකට තමයි කාර් එක ගත්තේ.” ඔහු නිලධාරීන් ට කීවේය.

“හරි, මේ පින්තූරවල ඉන්නේ මිනිහද” නිලධාරින් සී.සී.ටී.වී. කැමරාවල සටහන් වූ ඡායාරූප ඔහුට පෙන්වමින් විමසුවේය.

“ඔව් සර්, මේ භාරත තමයි.

“මෙයා මොනවද කරන්නේ.”

“ඒක නම් මම දන්නේ නැහැ සර්. හැබැයි මිනිහා කැසිනෝවලටයි, රේස්බයිරේසුයි සෙල්ලම් කරනවා. අතේ සල්ලි එහෙම තිබුණොත් අනිවාර්යෙන්ම රෑට කැසිනෝ එකට යනවා.”

“මොන කැසිනෝ එකටද යන්නේ” “වැඩියෙන්ම යන්නේ කොල්ලුපිටියේ එකට. අනිත් දෙක තුනකටත් යනවා” එලෙස තොරතුරු සියල්ල ලබාගත් නිලධාරීන් ඉන් අනතුරුව කොළඹ කොල්ලුපිටිය සහ බම්බලපිටිය අවට ඇති සියලුම කැසිනෝ ආයතනවලට එක් නිලධාරියෙකු බැගින් යොමුකොට ඔවුනට උපදෙස් දුන්නේ ABE 5142  දරන සුදු පැහැති ඇක්සියෝ මෝටර් රථය එම ස්ථානයට පැමිණියහොත් වහා දැනුම්දෙන ලෙසය. ඒ අනුව එම ප්‍රදේශවල පිහිටි කැසිනෝ රථගාල් සියල්ලේම සිවිල් ඇඳුමෙන් සැරසුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු සිය උකුසු ඇස් යොමුකරමින් ආවේක්ෂණ රාජකාරියේ නිරත වූහ. ඔවුන් අත සී.සී.ටී.වී. කැමරාවලින් ලබාගත් භාරතගේ ඡායාරූපයක්ද විය.

“අපි දැනගත්තා මිනිහගේ කාර් එකේ ඔරිජිනල් නොම්මරේ තමයි තියෙන්නේ කියලා. ඒක විමර්ශනයට ලොකු පහසුවක් වුණා. ඔහොම නිලධාරීන් යොදවලා ඉන්නකොට කොල්ලුපිටියේ තියෙන…..කැෂිනෝ එකේ ඉන්න නිලධාරියා අපිට කිව්වා සර් අර නොම්මරේ තියෙන කාර් එක අවා. ඒකෙන් බැහැලා එක පුද්ගලයෙක් කැෂිනෝ එකට ගියා සී.සී.ටී.වී පින්තූරවල තියෙන පින්තූරේ ඉන්න මිනිහම තමයි ඒ ගියේ කියලා.

“ඒත් එක්කම අපි කිව්වා ඒ නිලධාරියාට ඔයත් කැෂිනෝ එක ඇතුළට යන්න ගිහින් මිනිහගේ මූමන්ට් බලන්න කියලා. ඒත් එක්කම අපේ ටීම් එකක් කොල්ලුපිටියේ කැෂිනෝ එකට ගියා” ඒ අතර මිනිහා ගෙනිච්ච සල්ලි පැරදිලා දෙතුන් වතාවක්ම කැෂිනෝ එකෙන් එළියට ඇවිත් කාර් එක ළඟට ගිහින් තවත් සල්ලි අරගෙන යනවා අපිට නිරීක්ෂණය වුණා. ඒත් අපි මිනිහව ගත්තේ නැහැ. ඒ තවත් දෙතුන් දෙනෙක් එක්ක මිනිහා ආවගිය නිසා . මහ රෑ වෙනකම් අපි එතන රැකලා හිටියා. පස්සේ මිනිහා ගෙනියපු සල්ලි සේරම පැරදිලා තනියම එළියට ආවා. ඇවිත් කාර් එකට නඟින්න හදනකොටම අපි මිනිහව අල්ලගත්තා”

සැකකරු කොටුකරගත් ආකාරය විමර්ශන නිලධාරියා කීවේ එලෙසිනි. සැකකරු පෑලියගොඩ පිහිටි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගිය නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කළද ඔහු මුලින් පැවසුවේ තමා එවැන්නක් සිදු නොකළ බවය. එහෙත් සී.සී.ටී.වී. කැමරාවල සටහන් වූ ඔහුගේ රූපය සහ ඔහුගේ ඇක්සියෝ මෝටර් රියේ දර්ශන පෙන්වමින් කළ ප්‍රශ්න කිරීමේදී ජාඇළ බැංකුවට ගේම දුන්නේ ද තමා බව ඔහු පිළිගත්තේය.

“කවදද උඹ ඒ බැංකුව කැඩුවේ” ස්ථානාධිපතිවරයා ඔහුගෙන් විමසුවේය. වෙසක් දවසට කලින් රෑ තමයි මම බැංකුවේ බිත්තිය හාරලා ඒක ඇතුළට ගියේ සර්. පස්සේ මට තව බිත්තියක් හම්බවුණා. ඒකත් ගි්‍රල් එකෙන් හිල් කළා. එතකොට තමයි සේප්පු තුන දැක්කේ. එක සේප්පුවක ඩොකියුමන්ට් තිබුණා. අනිත් සේප්පුවේ ලක්ෂ 9ක් තිබුණා.ඒක මම ගත්තා. අනිත් එකේ රත්තරන් බඩු. ඒවත් ගත්තා.”

“දවස් කීයක් හිටියද උඹ බැංකුවේ ඇතුළේ” “22 වැනිදා හවස තමයි ඇතුළුවන්නේ 23යි 24 දවස් දෙකේම ඇතුළේ තමයි හිටියේ. උදේ වරුවේ මම බැංකුව ඇතුළට වෙලා නිදාගත්තා. රෑට තමයි සේප්පු කැඩුවේ.”

“ඇයි ඒ…”

”උදේට කැඩුවොත් පිටතට සද්දෙ ඇහෙනවනේ සර්. හවස් වෙනකොට ඉස්සරහ තියෙන දන්සලේ ලවුඩ්ස්පීකර්වල සින්දු දානවා එතකොට කඩන සද්දේ පිටතට ඇහෙන්නේ නැහැ. ඒ වෙලාවල්වලට තමයි සේප්පු තුනම කැඩුවේ.

“කවදද උඹ එළියට ආවේ”

22 වැනිදා ඇතුළට ගිහින් 25ට පාන්දර වෙන්න සල්ලියි, රත්තරනුයි අරන් ආවා. සල්ලි ලක්‍ෂ නවය අරගෙන කැසිනෝ ගියා. ඒක පැරදුණා. තව දවස් තුනටම හරියන්න චොක්ලට්, බිස්කට්, මාමයිට් එහෙම අරගෙන ගියේ…

පස්සේ මම කුලියට ඉන්න ගෙදරට ගියා. ඒ ගෙදර ඉන්නේ අම්මයි මායි විතරයි. පහුවැනිදා අරන් ආව රත්තරන් බඩු ටිකක් හෙට්ටිවීදියට ගිහින් විකුණලා ලක්‍ෂ 24ක් ගත්තා. ඒකෙන් “රේස් බයි රේස්” ගිහින් ලක්‍ෂ 20ක් බල්ලෙකුට ගහලා පැරදුණා. ඉතිරි ලක්‍ෂ 4 කැසිනෝ ගිහින් පරාද වුණා සර්… දෙවැනි දවසේ කැසිනෝ එකට ගිහින් එනකොට තමයි සර්ලා මාව අල්ල ගත්තේ.

“දැන් උඹේ අතේ කීයක් තියෙනවාද?”

“රුපියල් හාරසීයයි සර්…”ඔහු කලිසම් සාක්කුවේ ඉතිරිව තිබූ රුපියල් සියයේ නෝට්ටු හතර නිලධාරීන්ට පෙන්වමින් කීවේය.

“කෝ දැන් උස්සපු අනිත් බඩු”

“ගෙදර තියෙනවා සර්. මම දෙන්නම්.'' ඔහුගේ එම ප්‍රකාශය මත රාගම ඔහු නතරව සිටින කුලී නිවෙසට ගිය නිලධාරීන්ට නිවෙසේ සඟවා තිබූ රන් භාණ්ඩ සහිත මල්ල සොයා ගැනීමට හැකි විය. රන් වළලු 49ක්, රන් මුදු 81ක්. අත් පලඳනා 24ක්, රන් දම්වැල් 87ක් සහ රන් පෙන්ඩන්ට් 26ක් එහි විය. එහි කිලෝ 2ක රත්රන් තිබිණි.

පසුව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් සිදුකළ තවත් කොල්ලකෑම් රැසක සුලමුල හෙළි කර ගැනීමට නිලධාරීහු සමත් වූහ. ඒ අනුව වැලිසර, ජා-ඇළ, වෙන්නප්පුව, රාගම, කඩවත, මහබාගේ ඇතුළු ප්‍රදේශවල සිදුකළ සේප්පු කැඩීම් සහ කොල්ලකෑම් රැසක් අනාවරණය විය. ඒ සියලුම කොල්ලකෑම් මොහු සිදුකර ඇත්තේ තනිවමය.

වෙන්නප්පුව, අංගම්පිටිය සමුපකාර බැංකුව කොල්ලකා මොහු එහි තිබූ කිලෝ තුනහමාරක් බර රන් පවුම් 447ක් සොරා ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් හයකෝටි අසූලක්‍ෂයක් විය.

ඒ සල්ලිවලින් එක්කෝටි විසිලක්‍ෂයක් දීලා තමයි මම ඔය ඇක්සියෝ කාර් එක ගත්තේ. ඉතිරි සල්ලි කැසිනෝ ගිහින් පරාද වුණා.

ඔහු නිලධාරීන්ට කීවේය.

“උඹ නම් මාර පුතෙක් තමයි”

27 හැවිරිදි භාරත අවිවාහකයෙකි. ඔහු මඩපාත, කහපොළ සිය කුලී නිවෙසේ පදිංචිව සිටින්නේ සිය මව සමඟය. නිලධාරීහු ඔහු සමඟ ඔහු සන්තකයේ තිබූ ඇක්සියෝ රථයද සිය භාරයට ගත්හ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් ඔහු විසින් සිදුකරන ලද සෙසු අපරාධද සොයා ගැනීම නිලධාරීන්ගේ උත්සාහය විය. මෙම සිදුවීමෙන් පෙනී යන්නේ පුද්ගලයකු ඉතා සූක්ෂම ලෙස කුමන අපරාධයක් සිදුකළත් ඔහු නොදැනුවත්වම අපරාධය සිදුකළ ස්ථානය තුළ යමක් ඉතුරු කර යන බවය.

මෙම විමර්ශනයේදීද ඒ බව මැනවින් තහවුරු විය. සේප්පු කැඩීම සඳහා ඔහු විසින් ගෙනෙන ලද ග්‍රයින්ඩින් තල සොයා නොගත්තේ නම් මෙම අපරාධය සමහර විට නොවිසදා ගැනීමට බෙහෙවින් ඉඩ තිබුණේය. එහෙත් නිලධාරීන්ගේ උකුසු ඇස්වලට කොටුවුණු තල කොටස් නිසා ජා-ඇළ සමුපකාර බැංකු කොල්ලය පමණක් නොව ඔහු විසින් සිදු කරන ලද තවත් කොල්ලකෑම් රැසක් අනාවරණය කරගැනීමට නිලධාරීන්ට හැකිවීම සතුටට කරුණක් වුවද මෙතෙක් ඔහු මේ කිසිදු කොල්ලයකට පොලිසියට එක් වරක්වත් කොටු නොවීම කනගාටුවට කරුණක් විය.

කීර්ති මෙන්ඩිස්
gossip lanka