gossip lanka

සුනඛයාට ප්‍රතිකාර කරන්න ත්‍රීරෝද රථයේ ගිය ජපුරේ සනුරි සුනඛයා සමගම ටිපරයට බිලි!

කොළඹ – නුවර මාර්ගයේ කෑගල්ල මංගලගම ප්‍රදේශයේදී පෙරේදා (08දා) සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක ඇගේ සුරතල් බලු පැටවා ද සමග මියගොස් තිබේ.

මියගිය ශිෂ්‍යාව සිය නිවසේ ඇති කළ බලු පැටවාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පේරාදෙණිය ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථය ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මෙම සිසුවිය මීට වසරකට පමණ ඉහතදී කුරුණෑගල ප්‍රදේශයෙන් රුපියල් 20,000 ක් ගෙවා බලු පැටවකු රැගෙන පැමිණ ඇති දැඩි කරමින් සිට ඇති අතර ඉකුත් 04 වැනිදා බල්ලා මිදුලේ දිව යද්දී ගසක පිටුපස කකුලක් ගැටීමෙන් තුයවාල වී ඇත. එදිනම කෑගල්ල නගරයේ පශු වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් තිබුණි. වෛද්‍යවරයා බල්ලා පරීක්ෂා කර පවසා ඇත්තේ පිටුපස කකුල් දෙකේ අස්ථි බිඳී ඇති බවත් වහාම පේරාදෙණියේ පිහිටි සත්ව රෝහල වෙත රැගෙන යන ලෙසත් ය.

පසුව 07 වැනිදා පෙරවරු 8.30 ට පමණ ඔවුනට අයත් ත්‍රිරෝද රථයෙන් බාප්පාගේ 18 හැවිරිදි පුතා ත්‍රිරෝද රථය පදවමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයාව ඇගේ බාල සහෝදරයා බල්ලා රැගෙන පේරාදෙණිය සත්ව රෝහලට ගොස් බල්ලාට ප්‍රතිකාර ලබාගෙන ආපසු නිවෙස කරා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

උතුවන්කන්ද පසු කර කෑගල්ල දෙසට ත්‍රිරෝද රථය ධාවනය කරමින් සිටිය දී මංගලගම ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථය අදාළ මංතීරුවේ ධාවනය නොකර ප්‍රතිවිරුද්ධ මංතිරුවේ ගමන් කරමින් තිබිය දී කෑගල්ලේ සිට මාවනැල්ල බලා ධාවනය වෙමින් තිබුණු ලොරි රථයක මුහුණට මුහුණ ගැටී තිදෙනාම බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර කෑගල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ශිෂ්‍යයාව ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි. අනතුර සිදු අවස්ථාවේ දීම බල්ලාද මිය ගොස් සිටි බව පොලිසිය පැවැසීය.සෙසු තරුණයෝ දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

මියගොස් ඇත්තේ රඹුක්කන, කුඩාගම, පොල්අට්ටාපිටිය පදිංචිව සිටි  26 හැවිරිදි මෙරගල්ගේ සනුරි ඉසුරිකා වීරසේකර නමැති ශිෂ්‍යාවකි. ඇය  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිසුවියකි.

ටිපර් රථයේ රියදුරු පෙරේදා (08දා) කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණය කෑගල්ල මූලස්ථාන පොලිසිය සිදුකරයි.

මියගිය සිසුවිය ලබන සැප්තැම්බර් මාසයේදී උපාධි ප්‍රදානෝත්සවයට සහභාගීවීමට අපේක්ෂාවෙන් සිටියාය.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ ඇගේ බාල සහෝදරයා සහ තවත් ඥාති සහෝදරයකු වන අතර මිය ගොස් ඇති විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවගේ පියා සම්පත් වීරසේකර රුමේනියා රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක  සේවය කරන බව කෑගල්ල පොලිසිය පවසයි.කුරුණෑගල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇති ඇය සරසවි අධ්‍යාපනය අවසන් කර සිටියාය.

මිය ගිය ශිෂ්‍යයාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා 08 වැනිදා කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුරංග කුලතුංග මහතා විසින් සිදු කරනු ලැබ තිබුණු අතර ලබා දුන් සාක්ෂි හා වෛද්‍ය වාර්තාව අනුව මහා මාර්ගයේ සිදු වු රිය අනතුරක් හේතුවෙන් පපුවට, උදරයට හා බහු විධ තුවාල හේතුවෙන් සිදු වූ හදිසි අනතුරු මරණයක් බවට නිගමනය විය.
gossip lanka