gossip lanka

"අපි දෙන්න යාළුවෙලා අවුරුදු 8ක් වෙනවා... ඇයි දැන් ඔයාට මාව මදිවෙලාද?" - වසර 8ක අනියම් පෙම අවසන් වුණු හැටි - අනියම් පෙම්වතා පොලිසියේදී සියල්ල වමාරයි

දිවයින පුරා ස්ථාපිත පොලිස් ස්ථානවලට වාර්තා වන මිනිස් ඝාතන බොහෝමයකටම හේතුවන්නේ අනියම් සබඳකම්ය.

මෙවැනි හේතූන් නිසා වැඩි වශයෙන්ම ඝාතනය වන්නේ කාන්තාවන් වන අතර එම ඝාතන නිසා අසරණ වනුයේ ඔවුන්ගේ දුවා දරුවන්ය.

මෙම ජුනි මස පළමු වැනිදා මෙවන් ඝාතනයක් යාපනය මූලස්ථාන පොලිසියට වාර්තා විය. වසර දෙකකට ආසන්න කාලයක් යාපනය පොලිස් වසම තුළින් මිනිස් ඝාතනයක් වාර්තා වූයේ නැත.

ඒ යාපනය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු නිලධාරීන් සිය වසම තුළ ක්‍රියාත්මක කරන දැනුවත් කිරීම් සහ අපරාධ වැළැක්වීමේ ක්‍රියාපිළිවෙත නිසාය. වසමේ සිවිල් ප්‍රජා කමිටු නිලධාරීන් දැනුවත් කරමින් ඔවුන් සමඟ එකතුව අපරාධ වැළැක්වීම සඳහා පොලිසිය නොයෙකුත් පියවර ගෙන ඇත.

ඉකුත්දා යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ සිදුවූ මෙම සිද්ධියද යාපනය පොලිසියට දැනුම්දී තිබුණේ සිවිල් ප්‍රජා ආරක්‍ෂක කමිටු නියෝජිතයකු හදිසි ඇමැතුම් අංකය හරහා යාපනය මූලස්ථාන පොලිසියට දුන් දුරකථන ඇමතුමකට අනුවය.

“සර්… අපේ ගෙවල්ගාව කනත්තේ ගෑනු කෙනෙක් කෑගහනවා. ඒ ගැනි ගිනි ගන්නවා. ඉක්මනට එන්න සර්…”සිවිල් කමිටු නිලධාරියා දුන් එම ඇමතුමත් සමඟ නිලධාරීන් යාපනය කෙන්ට් පැට්රික් පොදු සුසාන භූමිය වෙත ගියේ සිද්ධිය කුමක්දැයි සියැසින් දැක ගැනීම සඳහාය. ලැබුණු තොරතුර නිවැරැදිය.

කාන්තාවක් පිලිස්සුම් තුවාල සහිතව කනත්තේ වැටී සිටියාය. ඇගේ මුහුණ, අතපය, පපුව ආදී ප්‍රදේශ දැඩිලෙස පිලිස්සී තිබිණි. කනත්ත අවට සිටි පිරිසද පොලිසියට දුන්  සහායත් සමඟ දැවෙන ඇගේ සිරුරේ ගිනිදැල් නිවා දැමූ නිලධාරීන් වහා ඇය ගිලන් රථයකින් රැගෙන ගියේ යාපනය රෝහලටය. වෛද්‍යවරු ඇයට ප්‍රතිකාර ලබාදීමට පියවර ගත් අතර දැඩි ලෙස පිලිස්සුම් තුවාල සිදුව තිබුණද ඇයට යම්තම් කතා කිරීමට හැකියාව තිබුණාය. එය පොලිසියට මහත් අස්වැසිල්ලක් ගෙන දුන්නේය.

යාපනය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක චම්ලි පලිහේන මහතාගේ උපදෙස් මත නිලධාරියකු ඇගෙන් ප්‍රශ්න කරන්නට විය.

ඇය තමාට අත්වූ ඉරණම ඉතා අමාරුවෙන් නිලධාරියාට කීවාය. නිලධාරියා ඇගේ කතාව සිය ජංගම දුරකථනයෙන් පටිගත කළේය.

“මොකක්ද වුණේ, කවුද ඕක කළේ”දෙමළ බස හොඳින් ප්‍රගුණ කර සිටි නිලධාරීන් ඇගෙන් එසේ තොරතුරු විමසන්නට වූයේය.

“මගේ මූණට මොනවද ගහලා මට ගිනි තිබ්බා”

“කවුද?”

“ඇන්ටනී”නිලධාරීන් ඇගෙන් තව තවත් කරුණු කාරණා විමසුවේය. ඒ ඇන්ටනී නමැත්තා කුමන ප්‍රදේශයක පදිංචි අයකුදැයි දැන ගැනීම සඳහාය.

“එයා සිකියුරිටි කෙනෙක්. කැම්පස් එකේ.” ඇගේ ප්‍රකාශය වීඩියෝ ගත කළ නිලධාරීන් ඇයට ප්‍රතිකාර ගැනීමට ඉඩදී මේ බව මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාටද දැනුම් දී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළේය.

වැඩි වේලාවක් ගත නොවීය. ඇය යාපනය මහ රෝහලේ ඇඳක් මතම අවසන් හුස්ම හෙළුවාය. කෙසේ වෙතත් ඇගේ මරණාසන්න මොහොතේ පොලිසිය ඇගෙන් ප්‍රකාශයක් නොගත්තේ නම් ඇයට මෙවන් අපරාධයක් සිදුකළ පුද්ගලයා හඳුනා ගැනීම එතරම් ලෙහෙසි නොවන්නේය.

සිද්ධිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාටද දැනුම් දෙන ලද අතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කිරීමටද මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා පියවර ගත්තේය. සිද්ධිය ඝාතනයක් ලෙස විමර්ශන සිදුකළේ එතැන් පටන්ය.

ඒ අනුව මියගිය කාන්තාව යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි රත්නවඩිවේල් භවනි නමැත්තියක් බව පොලිසිය හඳුනා ගත්තේය. භවනි 45 හැවිරිදි වියේ පසුවූවාය. ඇය තිදරු මවක් වන අතර ඇගේ සැමියා ආබාධිත තත්ත්වයකින් පසුවිය. 

ඇගේ එක් දරුවකු සිටින්නේ විදේශගතවය. අනෙක් දරුවා යාපනය ප්‍රදේශයේ රැකියාවක නිරත වේ. බාල දරුවා අධ්‍යාපනය හදාරමින් සිටින්නේය. සැමියා ආබාධිත තත්ත්වයෙන් පසුවීම නිසා ඇතිව තිබෙන ආර්ථික අපහසුකම් ඉවසා ගත නොහැකිව ඇය සැමියාගේ කැමැත්ත ඇතිව යාපනය නගරයේ විදුලි උපකරණ නිෂ්පාදිත ආයතනයක රැකියාවකට ගියාය. ඇයට ඇන්ටනී මුණ ගැහෙන්නේ එම ගමනේදීය.

දෙදෙනා අනියම් පෙමකට මුල පුරන්නේ ඉන් පසුවය. ඇන්ටනී අවිවාහකයෙකි. භවනි තිදරු මවක් වූවාය. ඇන්ටනී ඒ බව හො¼දාකාරවම දැන සිටියද ඔහු භවනි සමඟ පෙමින් වෙළී ඇය සමඟ අඹු-සැමි ඇසුරක්ද පැවැත්වීය. මෙලෙස ඇරැඹි අනියම් පෙම වසර අටක කාලයක් පුරා ඇදී ගියේය. දෙදෙනා කාටත් හොරා රිසි සේ හැසිරුණහ.

මෙලෙස වසර ගණනාවක් පුරා පැවැති අනියම් පෙම ගිනි ගෙන දැවෙන්නේ ඇන්ටනී විවාහයක් කර ගැනීමට සැරසීමත් සමඟය. ඇන්ටනී ඒ බව වහෙන් හොරා භවනිට කීවේය. එදා පටන් ඇය හැසිරුණේ හිස ගිනිගත්තියක් ලෙසය. ඇය ඇන්ටනීට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළාය.

“නැහැ… ඔයා වෙන කෙනෙක් බඳින්න ඕන නැහැ. අපි දෙන්න දැන් යාළුවෙලා අවුරුදු 8ක් වෙනවා. ඇයි දැන් ඔයාට ගෑනියෙක් ඕන මාව මදිවෙලාද”මෙවන් නොයෙක් හේතු කියමින් භවනි ඇන්ටනී සමඟ රණ්ඩු සරුවල් කළාය. මහ පාරේ පවා කෑකෝ ගැසුවාය. ඇය සන්සුන් කිරීමට ඇන්ටනී නොගත් උත්සාහයක් නැත.

එහෙත් භවනි ඔහුගේ කීම තඹ සතේකට මායිම් නොකළාය. ඇය එකහෙළාම කීවේ ඔහුට විවාහයක් කර නොගන්නා ලෙසය. කාලය මෙසේ ගෙවෙද්දී ඇන්ටනීට භවනි මහත් කරදරයක් වූයේය.

“උඹට මම කියන දේ තේරෙන්නේ නැද්ද? මම කියන දේ අහපන්”ඒ කිසිවකින් භවනිගේ කෝපය නිවා දමන්නට ඇන්ටනීට හැකිවූයේ නැත.

ඒ ඉකුත් ජුනි මස පළමු වැනිදාය. ඇන්ටනීගේ මව මියගොස් වසර ගණනාවක් ගතව තිබූ අතර එදින සිහි කිරීමේ දිනයක් විය.

“අපි අම්මගේ සොහොන ළඟට ගිහින් පහනක් පත්තු කරලා එමු”ඇන්ටනී සිය අනියම් පෙම්වතිය වූ භවනිට දුරකථන ඇමතුමක් ගෙන පැවැසුවේය. තමා යතුරුපැදියෙන් පැමිණෙන බවත් ඒ නිසා ලකලෑස්ති වී සිටින ලෙසත් ඔහු ඇයට වැඩිදුරටත් කීවේය.

කී ලෙසින්ම ඔහු සිය යතුරුපැදියෙන් භවනි හමුවීමට පැමිණ ඇයද යතුරුපැදියේ නංවාගෙන පොදු සුසාන භූමියේ පිහිටි මවගේ සොහොන් කොත වෙත පැමිණියහ.  මව සිහි කර එවන් සත් ක්‍රියාවක් කිරීම ගැන භවනි සිය පෙම්වතා වූ ඇන්ටනීට නොසෑහෙන ලෙසද ස්තූති කරන්නට අමතක නොකළාය.

“කෝ දෙන්න මම ඔය පහන පත්තු කරන්නම්” එසේ කියමින් ඇය ඇන්ටනී ඉදිරියට ආවාය. ඒ අතර ඇන්ටනී සිය දකුණු අතේ රඳවාගෙන සිටි ස්ප්‍රේ එකකින් ඇගේ මුහුණට දියර වගයක් ඉස්සේය. ඇය කෑගැසුවාය. මුහුණ පිලිස්සී යන බව ඇයට දැනුණාය. ඇය එතැනම ඇද වැටුණාය. ඇය ගිනිගෙන දැවෙන්නේ ඉන් පසුවය.

අසල්වාසීන් මේ බව පොලිසියට දැනුම් දෙන්නේ ඒ අතරය. නිලධාරීන් ඇයව රෝහල් ගත කළද ඇය පැය කිහිපයක් ඇතුළත අවසන් හුස්ම හෙළීම කාගේත් සිතට ගෙනදුන්නේ දැඩි කනගාටුවක්ය. 

යාපනය ප්‍රධාන මහෙස්ත්‍රාත් ආනන්දරාජා මහතා ඇගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්‍ෂණය සිදුකිරීමෙන් පසුව මරණයට හේතුව සෙවීම සඳහා ඇගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණයකට යොමු කරන්නට විය. එහිදී අනාවරණය වූයේ බරපතළ පිලිස්සුම් තුවාල හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවය.

ඒ අනුව ඊළඟට පොලිස් ඇස යොමුවූයේ ඇගේ ඝාතනය සිදුකළ බව කියන ඇන්ටනී නමැත්තා කොටුකර ගැනීමටය.

නිලධාරීන් ඔහු ගැන තොරතුරු සෙවීය. එහිදී අනාවරණය වූයේ ඔහු යාපනය නගරයේ ප්‍රසිද්ධ ආයතනයක ආරක්‍ෂක නිලධාරියකු ලෙස සේවය කරන බවය. නිලධාරීන් එතැනට ගියද ඔහු එහි සිටියේ නැත. ඒත් සිය උත්සාහය අත්නොහළ නිලධාරීන්, බුද්ධි නිලධාරීන්ද යොදා ඇන්ටනී යන එන තැන් විපරම් කළේය. ඒ අතර ඔහුගේ බේකරි පාරේ නිවෙස අවට ඇති සී.සී.ටී.වී. කැමරා නිරීක්‍ෂණය කිරීමටද නිලධාරීහු පියවර ගත්හ.

ඇන්ටනී ගැන තොරතුරක් නිලධාරීන්ට ලැබෙන්නේ ඔය අතරය.

“සර්… මිනිහගේ අත් එහෙම පිච්චිලා තියෙන්නේ… ඒ තුවාලවලට බෙහෙත් ගන්න මිනිහා ගුරුනගර් ෆාමසියට යනවා දැක්කා. එහෙට ගියොත් මිනිහා අල්ල ගන්න පුළුවන් සර්…”
මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාට කිසිවකු විසින් ලබාදුන් එම හෝඩුවාවත් සමඟ ඔහු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් දැනුවත් කරන්නට පියවර ගත්තේය. ඒ සමඟම ගුරුනගර් ප්‍රදේශයට ගිය නිලධාරීන්ට ෆාමසියෙන් බෙහෙත් මිලදීගෙන සිය නිවෙස කරා යද්දී ඇන්ටනී අත්අඩංගුවට ගැනීමට හැකිවිය. පසුව යාපනය පොලිසියට රැගෙන ගිය ඇන්ටනීගෙන් ප්‍රශ්න කිරීම ඇරැඹිණි.

“මොකද උඹේ අත්වල තුවාල” ස්ථානාධිපතිවරයා ඔහුගෙන් විමසන්නට වූ අතර එතැනින් එහා බොරු කීමට ඔහුට නොහැකි විය.

“භවනිට පෙට්රල් දාලා ගිනි තියපු වෙලාවේ මගේ අතුත් පිච්චුණා සර්… ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ගත්තේ නැහැ. එයාලා  පොලිසියට කියයි කියලා. ඒ නිසා ෆාමසියෙන් තමයි බෙහෙත් ගත්තේ”ඔහු නිලධාරීන් ඉදිරියේ කීවේය. ඉන් අනතුරුව භවනි ගිනි තබා මරා දැමූ ආකාරයද නිලධාරීන් ඔහුගෙන් විමසුවේය.

“එදා ඒ ගෑනු කෙනාව කනත්තට එක්කගෙන ගිහින් පහන් පත්තු කරන්න හදන කොටම මෙයා හංගගෙන ගෙනාපු මදුරුවන් මරන්න ගහන “ස්ප්‍රේ” එකක් භවනිගේ මුහුණට අල්ලලා තියෙනවා. ඒත් එක්කම භවනි ඇදගෙන වැටිලා. පස්සේ මිනිහා ගෙනාපු පෙට්රල් ඒ ගෑනු කෙනාගේ ඔළුවට හලලා ගිනි තියලා තියෙනවා”විමර්ශන නිලධාරියකු ඇන්ටනී සිදුකළ ක්‍රියාව එලෙස හෙළි කළේය. එමෙන්ම එම නිලධාරියා වැඩිදුරටත්  කීවේ සැකකරු විවාහයක් කර ගැනීමට උත්සාහ කිරීම නිසා ඊට මියගිය කාන්තාව විරුද්ධ වී ඇති බවය. පසුව දිගින් දිගටම ඇගෙන් සිදුවන තාඩන පීඩන ඉවසාගත නොහැකිව සැකකරු සැලසුම් කර ඇය මෙසේ ඝාතනය කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වූ බවත් ඔහු පැවැසීය.

සැකකරු සිය යතුරුපැදියේ සඟවාගෙන පෙට්රල් දැමූ ප්ලාස්ටික් බෝතලයක් සහ කෘමිනාශක දියර සහිත ‘ස්ප්‍රේ’ එකක් ඇය මරා දැමීමේ අදහසින් රැගෙන පැමිණි බවට නිලධාරීන් කීවේය.

සැකකාර ඇන්ටනී චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කීර්ති මෙන්ඩිස්
gossip lanka