gossip lanka

“මං සුපර් ස්ටාර්ස් ඉන්නවා බලබල හිටිය පුංචි දැරිය මිනෝලි පස්සෙ මනාලිය වුණා” – මලිත් පෙරේරා

“මතක මන්දිර තනා” කියන ගීතයෙන් සියල්ලන් වසඟයට ගත්ත ගායක මලිත් පෙරේරා සමාජ මාධ්‍ය තුළත් බොහෝම ක්‍රියාකාරි චරිතයක්.

විශේෂයෙන්ම ඔහු පළ කරන ඡායාරූප වලට කාන්තා පාර්ශවයෙන් ලාබෙන ප්‍රතිචාර නම් අතිශය ඉහළයි.

විදෙස්ගත වෙලා හිටපු මලිත් ආයේ ලංකාවට එන්නේ ගොඩක් තරුණියන්ට තවත් බලාපොරොත්තු රැසක් ලබා දෙමින්.

ඔහුගේ ගාම්භීර කට හඬට ආදරේ කරන තරුණියන්ගේ හිත් බිඳලා මලිත් පෙරේරා පසුගියදා විවාහ ගිවිස ගත්තා.

ඒ නිසා ඔහුගේ අලුත් ජීවිතේ ගැන කතා කරන්න මේ විදිහට සම්බන්ධ කර ගත්තා.

ඔබට ඇය මුණගැහෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ කියලා ආරංචියි. ඒ කතාව ඇත්තද..?   

ඒ කතාව ඇත්ත. මම ඉන්ස්ටර්ග්‍රෑම් භාවිතා කරනවා. දවසක් ඇයව අහම්බෙන් මම දැක්කා. “මාර ලස්සන කෙල්ලෙක්නේ… කවුද මේ“ කියලා මම එයා ගැන බැලුවා. ඊට පස්සේ කාලයක් මම එයාව ෆලෝ කරා.

ඒත් එක්කම හිතුණා ඇයට මැසෙජ් එකක් දාන්න. ඒ වෙද්දී මම හිතාගෙන හිටියේ ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා කියලා. නමුත් මම මැසෙජ් කරද්දී එයා හිටියේ ලංකාවේ. එයා ස්ටුඩන්ට්වලට ඔස්ට්‍රේලියා ඇවිත් පොඩි නිවාඩුවකට ලංකාවට ගිහින්. ඉතින් මම දැම්ම මැසෙජ් එකට එයා රිප්ලයි කළා. මට සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙක් යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න බැහැ . කෙළින්ම දැම්මේ මගේ යෝජනාව.

ඊට පස්සේ ඒ කතාබහ දුර දිග ගියා. අපි පෙම්වතුන් බවට පත් වුණා. ආශ්‍රයෙන් පසුව හිතුණා විවාහ දිවියට ඇය වගේ කෙනෙක් සුදුසුයි කියලා. පසුව අපි විවාහ ගිවිස ගත්තා. ඒ විදිහට තමයි ඇය මගේ ජීවිතේට එක් වෙන්නේ.

ඔබ ඇයව හඳුනා ගනිද්දී ඇය දැනගෙන හිටියද ඔබ කවුද , මොනවද කරන්නේ කියලා ..?

ඔව්. එයා දැනගෙන හිටියා මම ගැන. මම ගායකයෙක් බවත්. මෙහේ ජීවත් වෙනවා කියන එකත්.

ජනප්‍රිය අයගේ යෝජනා විශ්වාස කරන්න බැහැ කියලා කතාවක් තියෙන නිසා ගායකයෙක් කියලා ඔබේ ආදරණීය යෝජනාව ප්‍රතික්ෂේප කළේ නැද්ද ..?

නැහැ එහෙම මම ආදරේ ප්‍රකාශ කළාට පස්සේ එයාට මාව ප්‍රතික්ෂේප කරන්න හේතුවක් තිබුණේ නැහැ. මම කල් ගත්තෙත් නැහැ. මුල්ම මැසේජ් එකෙන්ම මගේ යෝජනාව කිව්වා. උත්තර දෙන්න එයා කල් ගත්තේ නැහැ. දෙන්නම කැමැති වුණ නිසා අපි නිතරම කතා කළා. වීඩියෝ කෝල්ස් අරන් දෙන්නා අතර විශ්වාසය ගොඩ නඟාගත්තා. පසුව මුණ ගැහුනා. ඇගේ කර්මයකට ද දන්නෙ නැහැ ඇය මට කැමති වුණා.. ඒක විහිළුවට කිව්වේ. එහෙම නෙමෙයි මම ගායකයෙක් විදිහට විතරක් නෙමෙයි ජීවිතේ ගොඩක් දේවල් සාර්ථක කර ගත්ත මනුස්සයෙක් හැටියට එයා මාව දකින්න ඇති. ඒ නිසා මගේ යෝජනාව ආදරෙන් භාර ගන්න ඇති කියලා මම හිතනවා.

කලකට පෙර ඇයගේ මනසෙත් සිහින කුමාරයා බවට මලිත් පෙරේරා පත්වෙලා හිටිය කෙනෙක් නිසා ඔබේ යෝජනාව අරුම පුදුම එකක් වෙන්න ඇති ..?

ඔව්. එයා මට කිව්වා මම එයාගේ ක්‍රෂ් එකක් කියලා. ඒ නිසා එයා සුපර්ස්ටාර් තරගය අතරේ මට එස්එම්එස් ගහලා තියෙනවා. එයා වගේම එයාගේ පවුලේ අයත් මගේ හඬට කැමති වෙලා මගේ ගීත රස විඳපු අය. ඉතින් මුළු පවුලම එහෙම ආදරේ කරන්න මොකක් හරි හේතුවක් ඇති. ඒකත් හරි පුදුම දෙයක් . ඒ විතරක් නෙමෙයි අපි දෙන්නා අතර පොඩි වයස් පරතරයක් තියෙනවා. මම ඒ කාලේ තරග කරද්දී ඇය පොඩියි. නමුත් මම ඇගේ ක්‍රෂ් එකක් වෙලා.

ජනප්‍රිය තරු විවාහ කරගත් බොහෝ බිරින්දෑවරුන්, පෙම්වතියන් නිතිරීතී දාගෙන ආදරේ කරන්නේ. එහෙම නීති ගොඩක් එක්කද ඇය ඔබට සමීප වෙන්නේ..?

කිසිම නිතීයක් දාන්නෙ නැහැ. අපි කතාබහ ආරම්භ කරද්දීම මම එයාට කිව්වා මට නම් නිතිරීතී දාන්න එපා මට මම වගේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා. මොකද නිතිරීතී එක්ක බැඳීමක් ගෙනියන්න අමාරුයි , විස්වාසය එක්ක තමයි බැඳීම් ලස්සන වෙන්නෙ හා ජීවත් වෙන්න පහසු වෙන්නේ. එහෙම කිව්වත් නැතත් ඇයගෙන් මට නීති රීතී ආවේ නැහැ. ඒ නිසා හරි සැහැල්ලුවෙන් ජීවිතේ ගෙනියන්න පුළුවන්.

මලිත් සංගීත ක්ෂේත්‍රයේ හිටියත් නැතත් හැමදාම ජනතාවගේ හදවතේ හිටපු කෙනෙක්. ජනප්‍රියත්වය එක්ක මුදල් එක්ක බොහෝ තරු ප්‍රවේසම් වෙනවා අනාගත සහකරුවන් ජීවිතේට එකතු කර ගන්න. එහෙම අසීරූ අවස්ථා තිබ්බද…?

ඒක මට විතරක් නෙමෙයි හැම ජනප්‍රිය කෙනෙකුටම පොදු දෙයක්. සමාජයේ කැපිපෙනෙන්න ඕන නිසා තරුවලට ආකර්ෂණය වෙන තරුණියන් ඉන්නවා. බයෝලොජිකලි බැලුවත් ඒක එහෙම තමයි. මට කවුරුත් මුහුණට කියලා නැහැ. එහෙම මාව ආශ්‍රය කරපු අය ඇති. නමුත් ආදරේ විවාහය කියන එක ඇතුළේ අපි වගේ අය පරිස්සම් විය යුතුයි. සමහරු අවංකව ආදරේ කරනවා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මම නම් දැන් ගැහැනු ළමයෙක් හැරෙද්දි දන්නවා මොකාටද එන්නෙ කියලා. ඒ නිසා වෙන්න ඇති මගේ පෙම්වතියගේ වෙනස මම දැක්කේ. ඇය හොඳ කෙනෙක් කියන එක.

කොහොමද ආදරණීය බිරිඳගේ සංගීත රසය. ඔබේ ගීත ඇය රස විඳිනවද..?

මගේ අංක එකේ රසිකාවිය ඇය තමයි. මගේ හැම ගීතයක්ම ඇය රසවිදිනවා. ඒ වගේම මගේ ජීවිතේ අවශ්‍ය හැම මොහොතෙම උදව් ලැබෙනවා. එයාගේ පවුලේ අයත් එහෙමයි. මම හරි වාසනාවන්ත කෙනෙක් ඒ වගේ කෙනෙක් ලැබෙන්න. සංගීත ජීවිතේ ඇතුළේ සහය ඇති කෙනෙක් හිටියොත් තමයි විවාහ ජීවිතේ වුණත් සාර්ථක වෙන්නේ. මම එයාව විවාහ කර ගන්න ඒකත් එක හේතුවක් කියන්න පුළුවන්.

සමහරු කියන්නේ විවාහය කියන එක දඬුවමක් කියලා. ඒක ඇත්තටම දඬුවමක්ද මලිත්, සැහැල්ලුවෙන් ඉඳලා විවාහය කියන වගකීම් කරපින්න ගද්දි මොකද හිතුණේ..?

දඬුවමක් කියලා හිතුවොත් ඇත්තටම දඬුවමක් තමයි. නමුත් කසාදය කියන බැඳීම ඇතුළේ වගකීමක් එනවා. විවාහ වෙන කෙනා ආදරෙන් ආරක්ෂා කරන්න දුකක් නොදී බලා ගන්න. ඉතින් මට ඒ වගකීම දැන් පැවරිලා තියෙනවා. මම කොහොමත් පුංචි කාලේ ඉඳලා වගකීම් එක්ක ජීවත් වුණු චරිතයක්. ඒ නිසා මේ වගකීම ඔළුවට කොහොමත් බරක් වෙන්නෙ නැහැ. මට ලස්සන බලු පැටියෙක් ඉන්නවා. ඇය මගේ බලු පැටියව බලා ගන්න හැටි මම දැක්කා.

ඉතින් මම හිතුවා එයාට පවුලක් රන් කරන්න පුළුවන් කියලා ,

කොහොමත් විවාහය ඇතුළේ ඉස්සර කරපු දේවල් කරන්න බැහැ. යම්කිසි සීමාවන්ට යටත් වෙලා ජීවත් වෙන්න ඕන. ඒක මම තේරුම් ගත් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ඕන කියන අදහස මගේ ඔළුවේ තියෙනවා. ඒ හැම දෙයක් එක්කම මට පුළුවන් පවුල් ජීවිතේ දඬුවමක් නොකර සුන්දර විදිහට ගෙවන්න

ඔබේ විවාහයට කොහොමද රසිකයින්ගේ ප්‍රතිචාර ..?

අනේ හරිම ආදරණීය ප්‍රතිචාර මට ලැබුණා. බොහෝදෙනෙක් ආදරෙන් සුබ පතලා තිබුණා. ඒ අතරේ හාර්ට් බ්‍රෝකන් ගොඩක් ඇවිත් තිබ්බා. ඒත් ඒ හැමෝම මාත් එක්ක හැමදාම ආදරෙන් ඉඳියි කියලා හිතනවා.

තරුවක් වුණාට පස්සේ රටත් අත ඇරලා ගියා, ආදරණීය රසිකයින් වෙනුවෙන් අලුත් ගීත කරන්න අදහසක් නැද්ද ..?

මේ වෙද්දී මගේ ගීත පනහක් විතර මම කරලා තියෙනවා. අලුත් ගීත නොකර ඉන්නේ නැහැ. මගේ සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා රස විදින්න පුළුවන්. ගිය අවුරුද්දේ අලුත් ගීතයක් කළා. මේ දවස්වල තව එකක් නිර්මාණය කරමින් යනවා. ඒ වගේම මතක මන්දිර මගේ කොන්සට් දෙකක් ලංකාවේ කරන්න ප්ලෑන් කරනවා. මම කොහේ හිටියත් මියුසික් අත අරින්නෙ නැහැ.
gossip lanka