gossip lanka

බිරිඳ කුවේට් හාම්පුතා හා රියැදුරු සමග ආවැයි උරණ වූ සැමියා පහර දී ගෙට ගිනි තැබීම – සැමියාගේ පියා මරුට!

බිබිල පොලිස් වසමට අයත් මඩකලපුව පාර වැලිපොතයාය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ක්වේට් දේශයේ රැකියාවක නිරතව සිට මීට දින කිහිපයකට පමණ ඉහත දී හාම්පුතා සහ හාම්පුතාගේ රියැදුරු සමග පැමිණීම නිසා බිරිඳ සහ සැමියා අතර ඇතිවූ විරසකයක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳට, හාම්පුතාට සහ රියැදුරුට පහර දී ඉකුත් (30දා) නිවසට ගිනිතැබීම නිසා නිවසේ සිටි සැමියාගේ පියා මිය යෑමේ සිද්ධියක් පිළිබඳව බිබිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අවුරුදු 40ක් පමණ වයසැති මෙම කාන්තාව ක්වේට් රාජ්‍යයේ රැකියාවක නිරතව සිට 80 හැවිරිදි අබ්දුල් සේඩ් අලබල්ලයන් නැමති තම හාම්පුතා සහ රියැදුරු වන කේ.කේ නාමල් යන අය සමග නිවසට පැමිණ ඇත.

මීට පෙර ද ඇය අවස්ථා කිහිපයක දී හාම්පුතා සමග නිවසට පැමිණ තිබේ. නිවසට ගිනිතැබීම නිසා නිවසේ අඩක් පමණ ගින්නෙන් විනාශ වී එහි සිටි අවුරුදු 70ක් පමණ වයසැති අංශභාග රෝගයෙන් පෙළුණු සැමියාගේ පියා වන තිස්ස හෙට්ටිආරච්චි යන අය පිළිස්සුම් තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගිය අයගේ මරණය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය බිබිල වැඩබලන මහෙස්ත්‍රාත් සරත් බණ්ඩාර මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් (01දා) මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

සැමියා විසින් නිවසට ගිනිතැබුවේ ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි. ක්වේට් ජාතිකයා ගෙන් ප්‍රශ්න කිරීම සඳහා භාෂා පරිවර්තකයකුගේ සහාය ලබාගැනීමට නියමිතය.

බිබිල පොලිස් අධිකාරී එස්.පී.කේ ගාල්ලගේ මහතාගේ උපදෙස් පිට බිබිල පොලිසිය පරීක්ෂණ පවත්වයි
බඩල්කුඹුර රවිඳු ගුණතිලක
gossip lanka