gossip lanka

"හරි අපි බලමු කෝ ගර්ල්ස්ලා... ඔයාලා තෝරාගන්න පැකේජ් එක හැටියට තමයි ප්‍රයිස් එක, අමතරව සර්විස් එකක් ඕන නම් ටිප් එකක් දෙන්න වෙයි'' - ස්පා ගිහින් අපා දුක් විඳින්න එපා… මෙන්න ස්පාවල ඇත්ත කතාව

රටේ තරුණ සම්පත කුඩු, අයිස්, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය මගින් බිලිගනිද්දී තවත් පැත්තකින් මෙරට මුළුමහත් සමාජයම සමාජ රෝගවලින් බිලිගන්නා බවක් විවිධ පුවත් මගින් මේ දිනවල ප්‍රචාරය වෙමින් පවතී.

රටේ අවාසනාවට මෙන් මෙරට ජීවත්වන තරුණ තරුණියන් මත් පෙත්තෙන්, කුඩු, අයිස්, හෙරොයින්වලින් මත්වී ජීවිතයේ පරම සැපත සොයායන්නට ගොස් තම ජීවිතයම විනාශ කර ගන්නා අන්දම ද සමාජය දෙස බැලූ විට දැකබලා ගත හැක.

බොහෝමයක් තරුණ ජීවිත “සැප” යැයි තෝරා ගන්නා මේ කියන විෂ මත්ද්‍රව්‍යවලින් රටේ තාරුණ්‍යයට සිදුවන විනාශය හා මේ මත්ද්‍රව්‍ය තුළින් විවිධ විෂමචාරී ක්‍රියාවලට පෙළඹීම තුළින් රටේ තාරුණ්‍යය වැටී ඇත්තේ ඉතාමත් පහත් අඩියකට ය.

මද්‍යසාරයෙන් හා විෂ මත්ද්‍රව්‍යයෙන් මත්වූ රටේ සමාජය අලුතින් දේ අත්හදා බැලීමට හුරුපුරුදුව සිටින්නේය. බොහෝ අයකු තෝරාගන්නේ කම්සැප විඳීමටය. මේ සඳහා අයථා සම්බන්ධතා ගොඩනඟා ගත් බොහෝ අය හොර රහසේ තමන්ට රිසි ලෙස ලැගුම්හලකට ගොස් කම්සැප විඳිති. මේ අතර තවත් පිරිසක් ආදායමට වඩා වියදම සැර නිසාවෙන් බොහෝ අය තෝරා ගන්නේ කාමර ගාණේ යනවාට වඩා ‘ස්පා’ ගොසින් අඩු මුදලකට වැඩේ කරගැනීමටය.

කලඑළි බැස්ස ‘ස්පා’ කතාව
මේ සම්බන්ධව පසුගියදා දැඩි කතාබහකට ලක්වන්නේ මීගමුව ප්‍රදේශයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක තෙරපිවරියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනකුට එච්අයිවී වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමෙනි. මේ නිසා ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන පනස් පහක් වටලා එහි තෙරපිවරියන් ලෙස සේවය කරමින් ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් එකසිය පනස් දෙනකු සැකපිට පොලිස් අත්අඩංගුවට පත්විය.

එමෙන්ම පසුගියදා යුක්තිය මෙහෙයුම මගින් සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව ඇති අතර මේ කියන මත්ලෝලීන්ට සමාජ රෝග වැළඳී ඇත්දැයි සිදුකළ පරීක්‍ෂණවලදී එක් පුද්ගලයකුට එච්අයිවී වෛරසය ආසාදනය වී ඇති බවද තහවුරු විය.

එකී පුද්ගලයා දරුණු ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවකු වන අතර මීගමුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක ලෙස සේවය කරන කාන්තාවක් සමග අඹුසැමියන් ලෙස හැසිරී ඇති බවටද පොලිසිය වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළිවිය.

මේ කියන ස්පා ආයතනයට ආ ගිය පුද්ගලයින්ගේ ප්‍රමාණය ද මේ වනතුරු අනාවරණය නොවීම ද දැඩි සමාජ ගැටලුවකි. රටේ වාසනාවකට මෙන් මීගමුවේ පොලිස් පරීක්‍ෂක එරික් පෙරේරාගේ ඇස මේ කතාන්දරය දෙස යොමු වුවද මේ වනවිටත් ස්පා ගොස් එච්අයිවී වෛරසය ගෙදර රැගෙන ගිය අය ගැන ද තවමත් නිසි වාර්තාවක් නැත.

අප කියන්නට යන කතාව ද මේ කියන ස්පා හෙවත් සම්බාහන ආයතන මගින් මෙරට තරුණ ප්‍රජාව මෙන්ම වැඩිහිටි ප්‍රජාවද සමාජ රෝගවලට බිලිවන අයුරුය. එමෙන්ම ‘ස්පා’ හෙවත් සම්බාහනය තම රැකියාව ලෙස තෝරාගන්නා තරුණියන් හා මැදිවියේ පසුවන කාන්තාවන් බොහෝ දෙනකු වෙහෙස මහන්සියෙන් තොරව වැඩි මුදලක් උපයාගැනීමට මේ කියන ස්පා රැකියාව තෝරාගන්නට දක්වන උනන්දුවය.

නියම සම්බාහනය හා හොර ස්පා
මේ කියන ස්පා ආයතන බිහිවන්නේ ආයුර්වේදය මුල්කොටගෙනය. ආයුර්වේදීය ක්‍රමවේදවලට අනුකූලව තෙල් බේත් සාත්තුවෙන් ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශ්වයේ ශරීරයේ මාංශ පේෂීන් තෙරපීම තුළින් ශරීරයේ ප්‍රකෘතිමත්භාවය ලබාගැනීමට සිදුකරනු ලබන සම්බාහනය නියම ‘ස්පා’ ලෙස හැඳින්විය හැක. බොහෝමයක් නීත්‍යානුකූල ස්පා හෙවත් නිවැරදි සම්බාහනය මෙරට ආයුර්වේදය තුළ හා තරුපහේ හෝටල් දේශීය හා විදේශිකයන් සඳහා සිදුකරන්නෙකි.

මෙම සම්බාහනය පවත්වාගෙන යන්නේ ද සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන නිවැරදි ක්‍රමෝපායන් අනුගමනය කිරීමෙනි. බොහෝ විදේශීය ජාතිකයින් මෙරටදී මේ කියන නීත්‍යානුකූල ආයුර්වේද සම්බාහනය සිදුකර ගන්නේ මෙරට ආයුර්වේද සම්බාහනය තුළ දක්‍ෂ වෛද්‍යවරුන් සිටිනා බැවිනි.

තවද නිවැරදි ලෙස පවත්වාගෙන යන මේ ආයුර්වේදීය සම්බාහනය තුළින් රටට විදේශ විනිමය ද උපද්දවන්නේය. එහෙත් මේ ක්‍රියාවලියෙන් බැහැරව සිදුකරගෙන යන අපේ රටේ නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන නිසා සම්බාහනය කියූ විටද ඇතැමෙකු බලන්නේද වපර ඇසකිනි.

කොටින්ම කිවහොත් හොර ස්පා යනු ආයුර්වේදයේ ලියාපදිංචියකින් තොරව සිදුකරනු ලබන සම්බාහන මධ්‍යස්ථානය. මෙවැනි සම්බාහන මධ්‍යස්ථාන ඉහත කී පරිදි නිවැරදි සම්බාහනයෙන් තොරව අදාළ සේවාදායකයාට තමන්ගේ ලිංගික ආශාවන් මුදලට ඉටුකරගැනීමට සූදානමින් පවතින බවක් පෙනෙන්නට ඇත.

රටේ හැම තැනම ස්පා
ස්පා හෙවත් සම්බාහන ආයතන ජනාකීර්ණ ප්‍රදේශ ආශ්‍රිතව බහුලව පවතින බවක් පෙනෙන්නට ඇත. ඇතැම් සම්බාහන මධ්‍යස්ථාන දෙකක් අතර පරතරය මීටර් 50 කටත් නොඅඩු තරමින් මෙරට ස්පා ආයතන බිහිවී ඇත්තේ මෙරට තුළ ස්පා යන්නන් මෙතරම් සිටිනවාද යන ප්‍රශ්නයද සිහියට නගිමිනි.

කොළඹ නගරයේ මෙන්ම දිවයිනේ සෑම නගරයකම පාහේ සම්බාහන මධ්‍යස්ථාන දකින්නට ඇත. කොළඹ සිට මාතර දෙසටද, කොළඹ නුවර දෙසටද, කටුනායක, මීගමුව, දෙහිවල මහරගම යන නගර ආශ්‍රිතවද මේ කියන ස්පා ආයතන අඩියෙන් අඩියටම බිහිව ඇති බවක් පෙනෙන්නට ඇත.

බෞද්ධයන්ගේ අතිශය වැදගත් පුණ්‍ය භූමියක් වන අනුරාධපුරයේ පූජාභූමිය ආශ්‍රිතව ද මේ වනවිට සම්බාහන මධ්‍යස්ථාන ආරම්භ වී අවසානය. මේ ආකාරයෙන් සම්බාහන මධ්‍යස්ථාන පොකුරු ලෙස බිහිව ඇති තවත් නගරයක් වන්නේ තලවතුගොඩය.

ස්පා ගැන කතා කළ ඇතැමකු පැවසූයේ ද ‘ස්පා නම් ඉතින් තලවතුගොඩ තමයි’ යන්නය. එයින් හැඟීයන්නේ දැන් තලවතුගොඩ ප්‍රසිද්ධ ස්පාවලටම පමණක් බවයි.

ස්පා කතාවේ ඇතුල් පැත්ත
තලවතුගොඩ ස්පාවලට ප්‍රසිද්ධියක් උසුලා ඇති බව රහසක් නොවන බව හැඟෙන්නේ තලවතුගොඩ නගරය හරහා ගමන් කරන විටය. මේ ස්පා රැකියාවේ යෙදෙන්නියක් සමග කුළුපග වීමේ අපේක්‍ෂාවෙන් අප තලවතුගොඩ ප්‍රදේශයේ ‘ස්පා’ ආයතනයක් වෙත පියමැන්නෙමු.

මුළු නගරයට අඳුර පරදා විදුලි බුබුලින් ආලෝකවත් වෙද්දී නගරයේ වීථි පුරා අධික කාර්යබහුලත්වයක්ද පෙන්නුම් කෙරිණි. අදාළ ස්ථානයට පැමිණි අපට දැකගත හැකිවූයේ නේක පැහැයෙන් වර්ණවත් වූ විදුලි බුබුලින් සමන්විත SPA යනුවෙන් සඳහන් කරන ලද පුවරුවකි.

වහා පුවරුව ළඟ මොහොතකට නතර වූ අපට දැක හැකි වූයේ මෙම පුවරුව මෙන්ම මාර්ගය දෙපසම මේ කියන ජාතියේ SPA ඇති බවය. ස්පා පුවරුවේ යටින් සඳහන් කර ඇති ඊතලය නිසා දෝ අදාළ තැනට කිසිදු මාර්ගෝපදේශකයකු නොමැතිවම ඕනෑම කෙනෙකුට යා හැකිය.

එහි ගිය අපට නවීන පන්නයට ඉදිකර ඇති ගොඩනැඟිල්ලක් දිස් විය. එම ගොඩනැඟිල්ලේ කොරිඩෝවක් දිගේ මඳක් ඉදිරියට ගිය අප අදාළ ස්ථානය වෙත ළඟාවුණෙමු. මෙකී ස්ථානය වෙත ළඟාවන විට කිසියම් පාළු ස්වභාවයක් එහි වූ අතර එහි පැමිණි අපගේ නාස්කුහර කඩාගෙන යන තරමටම හඳුන්කූරු සුවඳින් පිරීගොස් තිබිණි.

අවට මල් පෝච්චි තබා විවිධ ලෙස හැඩකර තිබුණේද එහි ඇතුළු වූ අයෙකුට තමන් ඇතුළු වූයේ අමුතුම ලෝකයකට බව ඒත්තු ගන්වමිනි. එහි ඇතුළුවන තැනම දේව පිළිම රැසක්ද තබා ඒවාට මල් පහන් තබා පුද සත්කාර කර ඇති අන්දම පැමිණි අපට දර්ශනය විය.

“ආ එන්න සර්…” අප ඉදිරියේ සිටි පිළිගැනීමේ නිලධාරිනිය දෑත් එක්කොට ආචාර කොට මුව පුරා නැගුණු සුහද සිනහවකින් යුතුව අප පිළිගත්තාය.

අප සිතන පරිදි ඇය මෙම ආයතනයේ අයකැමිවරිය විය යුතුය. වයසින් මැදිවියේ පසුවන ඇය පිරුණු දේහයකින් මෙන්ම රුවින්ද අඩුවක් නැත. අප පැමිණි අවශ්‍යතාව කුමක්දැයි ඇසීමට මේ කියන කාන්තාව දිගු වේලාවක් වැය කළේ නැත.

“සර්… එන්න එන්න… මොන වගේ අයද සර්ල බලන්නේ…”

යංග් ගර්ල්ස්ල ඉන්නව… මහත අයද ඕන… කෙට්ටු අයද ඕන..”

අලුත් අයත් ඉන්නවා… බලමු..”

ඇය තමන්ගේ බිස්නස් එක කර ගැනීමට සුමුදු සුමට වදනින් එන කස්ටමර්ස් කෙසේ හෝ අල්ලා ගැනීමට උපන් හපන්නියක් බවද ඇගේ වාග් විලාසයෙන් අපට තේරුම් යන්නට විය.
“හරි අපි බලමු කෝ ගර්ල්ස්ලා.. අපි ඇයට කතා කළෙමු.

“එන්න පෙන්නන්න… කියා අපිව ඇය එතනින් එහාට වූ අඩඅඳුරින් යුත් කාමරයක් පෙන්වීය.

කාමරය වෙත ගිය අපට ඒ වනවිටත් තරුණියන් හතර දෙනකු සිටින බව දැකගත හැකි විය. ඇතැම් තරුණියන්ගේ දෙතොල මත රැඳී දැල්වෙන සිගරැට්ටුවෙන් හමනා දුමින් එකී කාමරය පිරී ගොස් තිබුණි. මහත් ඕනෑකමින් ඒ දෙස බැලූ අපට එහි අයකැමිවරිය පැවසූ පරිදි වයස අවුරුදු දහ අටේ. විසිපහේ තරුණියෝ ද එහි වූහ.

“සර්ලට කොහොමද වෙන්න ඕන…” පෙර කී ආයතනයේ කළමනාකාරිවරිය අපෙන් අසන්නට විය.

අපගේ අරමුණ වූයේ මේ කියන සම්බාහන ආයතනයක සිදුවන දේ සියැසින් දැකබලා ගැනීමටය.

කොහොමද ගණන් අප සමග ගිය අයෙක් ඇයගෙන් විමසීය.

“මෙතන සර්විස් එක දෙදාහේ ඉඳන් හයදාහ වෙනකන් තියෙනවා. ඔයාලා තෝරාගන්න පැකේජ් එක හැටියට තමයි ප්‍රයිස් එක, අමතරව සර්විස් එකක් ඕන නම් ටිප් එකක් දෙන්න වෙයි. ඒවා ඔයාලා මේ අයත් එක්ක කතා කරගන්නකෝ…”

මෙතනට එන කස්ටර්මස් කෙනෙක් හරවා එවන පුරුද්දක් එහි නොවන බව ඇයගේ කතාවෙන් අපට දැනෙන්නට විය. එනපොට හොඳ නැති වග අපට හැඟෙන්නට වූ හෙයින් ‘අපට සැටිස්’ නැහැ පස්සේ එන්නම්” කියා මේ කියන සම්බාහන ආයතනයෙන් පිටවීමට අපට සිදුවිය.

මෙවැනි සිද්ධීන් තුළින් අපට තේරෙන්නේ අදාළ ස්ථානයට පිරිස් යන්නේද තමාගේ කැමැත්තෙනි. එසේ යන ඔවුනට සම්බාහනය කිරිල්ල පැත්තකට දමා තමන්ගේ ලිංගික කර්තව්‍යය ඉටුකරගැනීමට මේ කියන ‘ස්පා’ ආයතනවලින් ලැබෙන්නේද මනා පිටිවහලකි.

තවද බොහෝදෙනකු මේ කියන ස්පා කඩ තුළට ඇතුළු වී සේවය ලබාගත්ත ද තමන්ගේ පොකට්ටුවට ද තෙරපිවරියන් තට්ටු කරන අවස්ථා ද එමටය. මෙහි යන ඇතැම් අය සේවය ලබා එළියට එන විට ඇඳිවත පමණක් ඉතිරි වන අවස්ථා ඇත. තවද සම්බාහනයෙන් පමණක් අවශ්‍යතාව සපුරා නොගන්නා ඇතැම් අයට ලිංගික කර්තව්‍යය කරන්නට ගොස් රටේ නැති ලෙඩ හදාගෙන ගෙදර යන්නට සිදුවනු ඇත.

සැප ගන්න බෙහෙත් බී මැරෙන හැටි
මේ වන විට පාසල් යන වයසේ තරුණයන් පවා සම්බාහන ආයතනවලට යෑමේ ප්‍රවණතාව වැඩිවී ඇත. එමෙන්ම විශ්වවිiාල සිසුන් පවා මේ සඳහා නැඹුරු වී ඇති බවද ලැබෙන තොරතුරු මගින් අනාවරණය වන්නකි. අද වන විට තරුණ ප්‍රජාව ලිංගික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා විවිධ පෙතිවර්ග, ස්ප්‍රේ වර්ග භාවිත කරන බවක් දක්නට ඇත. මීට ආසන්න උදාහරණය වන්නේ පසුගිය දිනක ස්පා ආයතනයක් තුළ 52 හැවිරිදි පුද්ගලයකු ලිංගික උත්තේජක පෙති භාවිතකොට පසුව හෘදයාබාධයකට ලක්වී මියයෑමේ සිද්ධියයි.

රැකියාව අතහැර සම්බාහන රැකියාවට වැටෙන හැටි
සම්බාහනය හෙවත් ස්පා රැකියාවේ නියැළෙන කාන්තාවන් තමන් කැමැත්තෙන් නොව අකැමැත්තෙන් එම රැකියාවේ නියැළෙන බව එම ස්පාවල සේවය කරන කාන්තාවන් පවසන කතාවකි. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවයේ යෙදුනද ඉතා අඩු වැටුප් නිසා ජීවත් වීම ඉතා දුෂ්කර බැවින් මේ කියන සම්බාහන රැකියාව බොහෝ කාන්තාවෝ තෝරා ගනිති. ඇතැම් දුර බැහැරින් කොළඹ රැකියාව සඳහා පැමිණෙන ඇතැම් කාන්තාවන් බෝඩිං කුලී ගෙවා ගෙන, මඟ වියදම් ද, ආහාර පාන සඳහා වියදම් දරාගෙන කොළඹ රැකියාවක් කළ ද තමන්ගේ මාසයේ අන්තිමට කිසිදු මුදලක් අත ඉතුරු නොවන බැවින් මේ කියන රැකියාව තෝරා ගත් පිරිස ද බොහෝ වෙති.

සැබෑ ආදරය ‘ස්පා’ දක්වා ගිය හැටි
මේ ස්පා රැකියාව තෝරාගත් යුවතියක් කී කතාවකි. කුරුණෑගල ප්‍රදේශයේ නම් සඳහන් කිරීමට අකැමැති ඇය තමන් ස්පා රැකියාවට වැටුණු හැටි ගැන හරි අපූරු විස්තරයක් කළාය. කුරුණෑගල ඇඟලුම් කම්හලක සේවය කළ ඇය කොළඹ ප්‍රදේශයෙන් කුරුණෑගල ප්‍රදේශයේ විනෝද චාරිකාවක පැමිණි තරුණයකු සමග ආදර සම්බන්ධතාවක් ගොඩ නගා ගන්නේ මීට වසර කිහිපයකට පෙරදීය.

කලක් පෙම්සුව විඳින මේ තරුණ යුවළගේ දිවියට කණකොකා හඬන්නේ මින් මාස කිහිපයකට පෙරය. ඇය කී කතාව අනුව මෙම තරුණයා ඇය සමග බොහෝ හිතවත්ව පසුව එම හිතවත්කම ප්‍රේම සම්බන්ධයකට පෙරළා ගන්නේ දෙදෙනාගේම දැඩි කැමැත්ත මතය. තරුණියගේ නිවසේ දෙමාපියන්ට ද හොර රහසේම මේ කියන තරුණයා ඈ කැටුව කොළඹ නගරයට පැමිණෙන්නේ කටුනායක ඇඟලුම් කම්හලක රැකියාවක් සොයා දීමේ බලාපොරොත්තුව ද පෙරදැරි කරගෙනය.

ටික කලක් මේ කියන යුවළ කටුනායක බෝඩිං කාමරයක අඹු සැමියන් සේ කල් ගත කළද අදාළ තරුණයා මත්කුඩු ගැසීමට ඇබ්බැහි වූවකු බව දැනගන්නා විට ඇගේ කණකර පවා ඔහු උකස් කොට හමාරය. තම පෙම්වතා විසින් සොයාදෙනු ලැබූ කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක රැකියාවක් කළ මෙකී තරුණියට ඔහු කළ බලහත්කාරකම් හේතුවෙන් කෙසේ හෝ මුදලක් සොයා කුඩු පැකැට්ටුවක් මිලදී ගැනීමට මුදල් සොයාදීමට ඇයට සිදුවිය.

මේ නිසා ඇය ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් වෙත අතපෑ වාර ගණන ද අනන්තය. බැරිම තැන ඇයට සිදුවී ඇත්තේ තම පෙම්වතා ගෙන ආ යෝජනාවට කැමැත්ත පළකිරීමටය. එනම් ඇයව අසල පිහිටි සම්බාහන ආයතනයකට විකිණීමට මේ කියන පෙම්වතා දෙවරක් නොසිතුවේ තම පෙම්වතියට වඩා කුඩුවලට ඇලුම් කළ නිසාය. ඉන් ලැබෙන මුදලින් කුඩු අදින මේ පෙම්වතා නිසා ඇයට සිදුවූයේ අකැමැත්තෙන් හෝ සෑම දිනකම මේ කියන සම්බාහන ආයතනයේ වැඩකිරීමටය.

මෙය එක් කතාවක් පමණි. මෙවැනි කතා බොහෝමයක් මෙරට සම්බාහන ආයතන තුළ සේවය කරනා කාන්තාවන්ට සමාජයටම ඇසෙන්න හඬ ගා කියන්නට ඇත. තවද මෙවැනි ඉරණම් අත් වූ කාන්තාවෝ මෙරට තවත් අනන්තවත් සිටිය ද තමාගේ කතාව සඟවා සිටීමට වෙරදරන්නේ ලජ්ජාවට වඩා කුසගින්න දරුණු නිසා විය හැකිය. බොහෝ කතුන්ට තමන්ගේ ජීවිතය ස්පා ආයතනයක අනුන් වෙනුවෙන් කැපකිරීමට සිදුවන්නේ අප පෙර කී කතාවේ පරිදි මත්ලෝලීන් හා විවිධ විෂමාචාර ක්‍රියාවන්ට ඇබ්බැහිවූවන් නිසා බවද කිව යුතුය.

රට රැකියා සිහින දැක්ක කතුන් ස්පාවල
බොහෝ විදේශ රැකියා ආයතන මගින් මෙරට කාන්තාවන්ට රට රැකියා යැයි පෙන්වා ඇත්තේ විදේශවල ලිංගික ශ්‍රමය විකුණන රැකියාවන්ය. බොහෝ රැකියා ඒජන්සිකරුවන් විසින් මේ කියන කාන්තාවන් ඉතා අඩු මුදලකට පිටරට ගණිකා වෘත්තීය ඇතුළු රැකියාවලට යැවූ පුවත් පසුගිය කාලය තුළම වාර්තා වන්නට විය. එහි ගිය ඇතැම් කතුන්ට කිසිදු වැටුපක් ද නොමැතිව ඇතැම් ගෙවල්වල ලිංගික ශ්‍රමිකයන් ලෙස සේවය කිරීමට සිදුවන බවද නොරහසකි.

මෙලෙස වංචාකරුවන්ට අසුවී සිටින බොහෝ කතුන් නැවත මෙරට පැමිණ මෙම ස්පා ආයතන තුළ සේවය කරන බවද ලැබෙන ආරංචි මාර්ගවලින් තහවුරුවනු ඇත. රටද ආර්ථික අගාධයේ වැටුණු මෙවැනි කාලයකදී බොහෝ වගකිවයුතු පාර්ශ්වයන් රැසක් මේ කියන කාන්තාව වැටී ඇති තත්ත්වයට ද වගකිවයුතුය. එමෙන්ම මෙම තත්ත්වයට මෙරට කාන්තාවන් ඇද වැටුණේ නිකම්ම නොවන බවද ඉතාමත් පැහැදිලි කතාවකි.
රමින්ද මාවතගේ
gossip lanka