gossip lanka

කඩුවෙල අජන්තා මරුවා ළඟට ගෙන ගියාද ? ඇඟ කිළිපොලා යන ඝාතනයේ සුල මුල හෙළිවෙයි

අපරාධකරුවකුට කිසිදා සැඟව සිටිය නොහැකි බවට කියමනක් ඇත. ඒ එම අපරාධකරු කොතැනක කොයි මොහොතකදී හෝ පොලිසියට කොටුවන නිසාය.මෙයද එවන් කතාවක්ය.
එය පෙළගැසෙන්නේ මෙලෙසය. ඒ ඉකුත් මාර්තු මස 27 වැනිදාය. 119 හදිසි ඇමැතුම් අංශය හරහා කඩුවෙල පොලිසියට ඇමැතුමක් ලැබුණේය. ඒ කඩුවෙල, කොතලාවල, පට්ටියවත්ත ප්‍රදේශයේ නිවෙසක කාන්තාවක් ඝාතනය කර ඇති බව පවසමිනි. ඇමැතුම ලැබීමත් සමඟ අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් වහා පට්ටියවත්තට ගියහ.

නිවෙසක සාලයක් මැද කාන්තාවක් ලේ විලක් මැද වැටී සිටින අයුරු නිලධාරීන්ට දැකගත හැකි විය. ඒ වන විට 1990 ගිලන් රථයද සිද්ධිය වූ ස්ථානයට පැමිණ තිබිණි. එහි සිටි නිලධාරීන් සාලයේ වැටී සිටි කාන්තාව මියගොස් සිටින බව තහවුරු කර තිබිණි. සිද්ධිය කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දීමත් සමඟ ඔහුද එතැනට පැමිණ විමර්ශනවලට සහාය විය.

මියගොස් සිටි කාන්තාව අජන්තා කටුගම්පොළ නමැති 52 හැවිරිදි වියේ පසුවන්නියක්ය. ඇය දෙදරු මවක් වූවාය. ඇගේ සැමියාද කිසියම් ව්‍යාපාර කටයුත්තක් සඳහා නිවෙසින් බැහැරව යන අතර දරු දෙදෙනාද පෞද්ගලික ආයතනවල රැකියාවන් සඳහා උදෑසන නිවෙසින් පිටව යති. මියගිය අජන්තාද කඩුවෙල නගරයේ පවත්වා ගෙන යන රෙදිපිළි ආයතනයකට මැහුම් කටයුතු සඳහා නිවෙසින් බැහැරව යන්නීය.

27 වැනිදාද ඔවුන්ගේ සුපුරුදු දින චරියාව එය වුවද එදින අජන්තා පමණක් රැකියාවට නොගොස් නිවෙසේ නතර වූවාය. ඇගේ පුතා උදෑසන අටට පමණ සේවය සඳහා පිටව ගිය අතර සැමියා සහ දියණිය ඊට පසු රැකියාවන් ස¼දහා පිටව ගොස් තිබිණි.

කෙසේ වෙතත් දිවා කාලයේ ඇගේ දියණිය සිය මවට දුරකථන ඇමැතුමක් ලබාගෙන ඇතත් ඊට නිසි ප්‍රතිචාර නොලැබීම නිසා ඇය නිවෙස අසල පදිංචි කාන්තාවකට ඇමැතුමක් දී අම්මා නිවෙසේ සිටින්නේ දැයි සොයා බලන ලෙස දන්වා ඇත.

අසල්වාසී කාන්තාව එම ඇමැතුමට අනුව අජන්තාගේ නිවෙසට ගොස් විපරම් කළ බලද්දී ඇය දැක ඇත්තේ අජන්තා නිවෙසේ සාලයේ ලේ විලක් මැද වැටී සිටින අයුරුය. ඇය මරහඬ දෙමින් නිවෙස ඉදිරියට පැමිණ කෑගසන්නට වූවාය. අහල පහල දෙතුන් දෙනා අජන්තාගේ නිවෙසට දිව එන්නේ ඉන් පසුවය.

පොලිසිය මෙවන් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු සිද්ධිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාටත් සොකෝ සහ  ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන්ටත් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයටත් දැන්වීමට පියවර ගත්තේය. ඊට අමතරව සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සඳහා නිල සුනඛ සහායද ලබාගැනීමට නිලධාරීහු කටයුතු කළහ.

සහකාර පොලිස් අධිකාරි සමරනායක සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණ සිදුකරමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අපරාධ විමර්ශන අංශය භාර නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දුන් අතර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේය.

නිවෙසේ සාලයේ කාන්තාව මැරී වැටී සිටි ස්ථානය පුරා රුධිරය ගලා ගොස් තිබූ අතර ඒ අවට බිත්තිවලද ලේ පැල්ලම් දකින්නට තිබිණි. සමහරක් ලේ පැල්ලම් මකා දැමීමට කිසිවකු උත්සාහ කර ඇති අයුරුද සොකෝ නිලධාරීන්ට දැකගත හැකි විය.

සියල්ල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අජන්තා මරා දමා ඇති ආකාරය නිශ්චය කිරීම සඳහා ඇගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළ අතර ඉන් අනතුරුව ඇගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මුල්ලේරියාව ප්‍රධාන අධිකරණ වෛද්‍යවරිය වෙත ඉදිරිපත් කරන්නට පොලිසිය පියවර ගත්තේය.

අජන්තා කටුගම්පොළ දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් මූලික විමර්ශන ඇරඹුණේ ඉන් පසුවය. නිලධාරීන් මුලින්ම ප්‍රශ්න කළේ අජන්තා මැරී වැටී සිටින අයුරු මුලින්ම දුටු අයගෙන්ය. ඒ අනුව අජන්තාගේ නිවෙස අසල පදිංචි කාන්තාවකගෙන් සහ ඇගේ නිවෙසේ තාප්පයට එහා පැත්තේ නිවෙසේ පදිංචි යකඩ වැඩවල යෙදෙන ඇගේ ඥාති පුත්‍රයකුගෙන් සහ ඔහුගේ යකඩ වැඩවල යෙදෙන ගෝලයකුගෙන්ද නිලධාරීහු ප්‍රශ්න කළහ.

“මම දුවගෙන එනකොට අජන්තා බිම වැටිලා හිටියේ. මේ බාසුන්නැහේත් මෙතැන හිටියා. මම දැක්කා අජන්තාට පණ තියෙනවා වගේ. මම කිව්වා ත්‍රීවීලර් එකකින් ඉක්මනට මෙයාව ඉස්පිරිතාලේට අරන් යමු කියලා. ඒත් මෙයාලා ඒකට කැමැති වුණේ නැහැ. මෙයා කිව්වා 1990 ඇම්බියුලන්ස් එකට කියලයි තියෙන්නේ. ඒක එනකම් ඉඳිමු කියලා.”ඇය පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියාය. ගිලන් රථ නිලධාරීන්ද කීවේ ඒ මොහොතේම ඇය රෝහලට ගෙන ආවේ නම් සමහර විට ඇගේ ජීවිතය බේරා ගැනීමට වුවත් ඉඩ තිබූ බවය.

ඒ නිසා පොලිසියේ සැකය නිවෙස අසල පදිංචි ඥාති පුතා සහ ඔහුගේ ගෝලයා වෙත එල්ල විය. ඒ ඔවුන් බරපතළ තුවාල ලබා වැටී සිටි අජන්තා රෝහලට ගෙන යෑමට ඕනෑකමින්ම ප්‍රමාද කළේද යන්න ඇති වූ සැකය නිසාය.

අජන්තාගේ නිවෙසට යාබදවම පදිංචි එම පුද්ගලයා සිය නිවෙසේම යකඩ වැඩකටයුතු කිරීමේ නිරත වූ අතර ඔහු අජන්තාගේ ඥාති පුතකුද විය. ඒ නිසා ඔහු නිතර නිතර එම නිවෙසට ගිය අයකුද විය. නිවෙසේ කිසියම් අලුත්වැඩියාවක් කිරීම සඳහා ඔහුගේ ගෝලයකුද එදින ඥාති පුතාගේ නිවෙසේ රැඳී සිටියේය.

නිලධාරීන් ඔවුන්ගෙන්ද ප්‍රශ්න කළේය. එහෙත් මුලින් මුලින් ඔවුන්ගෙන් හරි හැටි යමක් දැන ගැනීමට නිලධාරීන්ට හැකි වූයේ නැත. ඥාති පුත්‍රයා බොරු බේගල් ඇදබාන බව කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට වැටහුණේය.

නිලධාරීන්ගේ උකුසු ඇස් ඊළඟට යොමු වූයේ ඒ අසල ස්ථාපිත සීසීටීවී කැමරා වෙතය. කැමරා එකිනෙක නිරීක්ෂණය කළද කිසිදු පුද්ගලයකු මාර්ගය දෙසින් අජන්තාගේ නිවෙසට පැමිණෙන බවක් නිලධාරීන්ට දැක ගැනීමට හැකි නොවීය.

අජන්තාගේ ඝාතකයා ඒ අසලම පදිංචිකරුවකු බව නිලධාරීන් සැක කරන්නට විය. සැකය එල්ල වී තිබුණේ අජන්තාගේ නිවෙස අසල පදිංචි ඇගේම ඥාති පුතා වෙතය. එහෙත් නිලධාරීන් ඔහු එකවර අත්අඩංගුවට ගත්තේ නැත. තවත් සාක්කි සෙව්වේය. එහිදී නිලධාරීන්ට නිවෙස අසල තිබී ඉනිමඟක් සොයාගත හැකි විය. ඒ අනුව නිලධාරීන්ගේ සැකය වූයේ ඝාතකයා අජන්තාගේ නිවෙසට පැන ගැනීමට එම ඉනිමඟ උපයෝගි කරගන්නට ඇති  බවය.

“ඒක නිසා තමයි ඔය මියගිය කාන්තාවගේ ගෙදරට පිටස්තරයකු එන බවට දර්ශන කිසිවක් කැමරාවල නැත්තේ. පිටින් කෙනෙක් ඒ ගෙදරට එනවා නම් කැමරාවේ අනිවාර්යයෙන්ම සටනක් වෙන්න ඕන. සීසීටීවී කැමරාවක තියෙනවා ඔය ගෙදර හිටිය බාස්ගේ ගෝලයා පාර පැත්තේ එහෙට මෙහෙට බල බල සැකයෙක් ඉන්න අයුරු විතරක්.

අනෙක ඔය මියගිය කාන්තාවගේ ගෙදර සුරතලේට බල්ලෙක් ඇති කරලා තියෙනවා. නාඳුනන කිසිම කෙනෙක්ට ඒ ගෙදරට ඇතුළු වෙන්න බැහැ බල්ලා බුරනවා. ඒත් මේ සිද්ධියේදී බල්ලා බුරපු බවක් අනාවරණය වෙන්නේ නැහැ. ඒ හින්දා බල්ලත් හොඳින් හඳුනන කෙනෙක් තමයි අජන්තාගේ ගෙදරට එන්න ඇත්තේ කියලා අපිට තවත් සැකයක් තිබුණා.” විමර්ශන නිලධාරියකු කීවේය. ඒ මොහොතේ මියගිය කාන්තාවගේ ජංගම දුරකථනයද අතුරුදන්ව තිබුණේය. පොලිසියට එයද සැකයක් ගෙන දුන්නේය.

නිලධාරීන්ගේ ලොකුම සැකය වූයේ ලේ විලක් මැද වැටී සිටි කාන්තාවගේ සිරුර ඒ මේ අත ඇද තිබීමය. නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ඥාති පුතාගෙන් කරුණු විමසුවේය. ඇගේ හිසින් ගලන රුධිරය නතර කිරීමට අයිස් කැට තැබීමට උත්සාහ කිරීමට කටයුතු කර ඇති බව එහිදී අනාවරණය විය. නිලධාරීන් නැවතත් සැකකාර ඥාති පුතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.

අජන්තාගේ අතුරුදන් වූ ජංගම දුරකථනය සොයාගත හැකි වූයේ ඉන් පසුවය. එම දුරකථනය සියුම් පරීක්ෂාවට ලක්කරද්දී අනාවරණය වී ඇත්තේ සිද්ධිය වූ දින එම දුරකථනයට ලැබුණු වීඩියෝ ඇමැතුම් කිහිපයක් මකා දමා ඇති බවය. මේ අතර අජන්තාගේ මරණය ඝාතනයක් බවත් ඇගේ ගෙල කපා මරා දමා ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

කෙසේ වෙතත් සැකකාර ඥාති පුත්‍රයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අජන්තාගේ නිවෙස ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යට තිබී රුධිරය සහිත මන්නයක්ද පොලිසියට සොයා ගැනීමට හැකි වන්නේ ඉන් අනතුරුවය. එය අජන්තා මරා දැමීමට භාවිත කළ මන්නය බව පොලිසියේ සැකය විය.

මෙවන් කරුණු කාරණා මත පොලිසිය අජන්තා කටුගම්පළ නමැති දෙදරු මවගේ ඝාතනයට ඇගේම ඥාති පුතා ද ඝාතනයට ආධාර අනුබල දීමේ වරදට එදින ඥාති පුත්‍රයාගේත් නිවෙසේ සේවයට පැමිණි ගෝල බාස්ද සැකපිට අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු කටයුතු කළහ. ඥාති පුතා තිස් අට වැනි වියේ පසුවිය.

මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතු වූ තවත් සාක්කි රැසක්ද පොලිසිය සතුව ඇතැයි කියති. සැකකාර ඥාති පුත්‍රයා මියගිය කාන්තාව සමඟ හිතවත්කමක් පවත්වා ගෙන ගොස් ඇති අතර පසුව ඔහු ඇය  සමඟ උරණ වී ඇති බවටද පොලිසියට ලැබුණු සැක සහිත කරුණු කාරණාවල සටහන් වී ඇත. ඒ බව අහල පහල කිහිපදෙනකුම පොලිස් නිලධාරීන්ට පවසා ඇතැයිද කියති.

ඒ අමනාප බව අනුව සැකකරු සිද්ධිය වූ දින අජන්තා නිවෙසේ තනිව සිටින බව වටහා ගෙන ඇගේ නිවෙසට ඇතුළු වී ඇති බවත් එහිදී ඇති වූ කිසියම් ආරවුලක් මත ඇය ඝාතනය වන්නට ඇති බවත් පොලිසියේ සැකයයි.

මියගිය කාන්තාව ප්‍රදේශයේ කා සමඟත් ඉතා කුලුපගව සිටි අයෙක් වන අතර කඩුවෙල නගරයේ රෙදිපිළි වෙළෙඳසලක මැහුම් වැඩ කිරීමෙන් කිසියම් මුදලක් උපයා ගත් තැනත්තියක්ද වූවාය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේදී අජන්තා නමැත්තිය ඝාතනය කිරීමට උපයෝගි කරගත් රුධිරය සහිත තියුණු මන්නයද ඇගේ අතුරුදන් වූ ජංගම දුරකථනයද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී තිබිණි.

සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 
කීර්ති මෙන්ඩිස්
gossip lanka