ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය චට්ටොග්‍රාම්හි සහූර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේදී අද (18දා) පැවැත්වෙනවා.
දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය පෙ.ව. 9.30ට ආරම්භ වීමට නියමිතව ඇත.
මෙලෙස බංග්ලාදේශයේදී එක්දින ජාත්‍යන්තර තරගයක් දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන්නේද වසර 11කට පසුව වීමත් විශේෂත්වයක්.
දෙරට අතර මේ දක්වා පැවැති තරග අනුව කණ්ඩායම් දෙකම තරග 1-1ක් ලෙස ජයගෙන සිටින නිසා, අද තරගය අවසන් මහා තරගයක් හා සමානය.
කෙසේ වෙතත් කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් අද තරගයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බැලුවහොත්, පසුගිය තරග කිහිපයේදීම දියාරු පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට බොහෝ දුරට අද තරගය අහිමි වීමට ඉඩ තිබෙනවා.
එසේ වුවහොත් ඔහු වෙනුවට ආදේශ කිරීමට වමත් පිතිකරුවන් දෙපළක් වන කමිඳු මෙන්ඩිස් හා සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතයේ සිටිනවා.
නමුත් ඔවුන් දෙදෙනාගෙන් නිමා වූ විස්සයි20 තරගාවලියේදීද බංග්ලාදේශ පන්දු යවන්නන් ඉදිරියේ හොඳින් ලකුණු අතරට පැමිණි කමිඳුට ස්ථානය හිමිවීමට වැඩි ඉඩක් තිබෙනවා.
කෙසේ වෙතත් කමිඳු, ආරම්භක පිතිකරුගේ වගකීම ගනු ඇති බවට නිල වාර්තාවක් නොමැත.
එසේ වුවහොත් කුසල් මෙන්ඩිස් හෝ සදීර සමරවික්‍රමට එම වගකීම පැවරෙනු ඇත.
නමුත් සදීර අවස්ථා කිහිපයකදීම කණ්ඩායමේ මැදපෙළ ආරක්ෂා කරන්නෙකු ලෙස තම යුතුකම ඉටුකර ඇති නිසා, ඔහුගේ ස්ථානයේ වෙනසක් සිදු නොවනු ඇතැයිද අනුමාන කළ හැකිය.
මේ අතර වේගපන්දු යවන ඩිල්ෂාන් මධුසංක ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකරන නිසා, ඔහුගේ ස්ථානය චාමික කරුණාත්නට ලබාදීමටත් සූදානමක් තිබෙන බව බංග්ලාදේශයෙන් වාර්තා වෙනවා.