gossip lanka

කුඩු මංජුට වෙඩි තබා සැඟව සිටි ශිහාන් STF ප්‍රහාරයෙන් මරු දුටු හැටි!

මහජනතාවගේ ආරක්ෂාව සහ සාමය පවත්වාගෙන යෑමේ වගකීම් ගොන්නක් දරණ ශ්‍රී ලංකා පොලිසියට මේ දිනවල රාජකාරි බහුලය. රටේ අපරාධ රැල්ල මහා සුළි කුණාටුවක් බවට පත්කරගෙන දෙදහස් විසිහතර නව වසර එළැඹීම එයට හේතුවය. පොලිසියේ ඉහළම පුටුවේ රාජකාරි කරන පොලිස්පතිවරයා යුක්තිය නමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ රැළි පිට රැළි නැඟෙන අපරාධ රැල්ල මැඩලන්නටය. යුක්තියේ මෙහෙයුමෙන් අපරාධකරුවන් තරමක් මෙල්ල වුණේ කෙටි කාලයකට පමණය. එය අළු යට සැඟවුණු ගිනි මෙන් පුපුරු ගසන්නට පටන් ගත්තත් පොලිසිය දිගින් දිගටම සිටියේ නොසෙල්වීය. පොලිසියේ සහායට සිටියේ පොලිසියේ දකුණත වන් පොලිස් විශේෂ කාර්ය බළකායයි.

අපරාධකරුවන් නීතියේ දැලට හසුකරගැනීමේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ උපකාරය මෙතෙකැයි කියා කිව නොහැකි වන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් රැසක්ම පසුගිය කාලය පුරා එම බළකාය විසින් අත්අඩංගුවට ගත් නිසාය. ඒ අතරේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමග හාදකම් පැවැත් වූ එකොළොස් දෙනකු ගිය අවුරුද්දේ අඩි හයක් පොළෝ ගැබට ගියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් හේතුවෙනි. 2024 නව වසරේදී ද මේ පිරිසට තවත් තුන් හතර දෙනකුම එකතු විය. ගනේමුල්ල, සුමේධ මාවතෙන් එවැනිම සිද්ධියක් අසන්නට ලැබුණේ පෙරේදා (20 වැනිදා)ය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරට තොරතුරක් ලැබී තිබුණේ මාස හයකට වැඩි කාලයක් තිස්සේ සොයමින් සිටි අපරාධකරුවකු ගනේමුල්ල, සුමේධ මාවතේ නිවෙසක සැඟවී සිටින බවටය. මේ පුද්ගලයාගේ නම අපරාධයක වෙඩික්කරුවකු ලෙස පොලිස් පොතේ ලියැවී තිබිණි. එමතු නොව, ඔහු තවත් අපරාධයකට කුරුමානම් අල්ලමින් සිටින බවට ද විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී තිබිණි. මොහු ගැන ලැබුණු තොරතුරු අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින් සැලසුම් සකස් කළේ ඔහු අත්අඩංගුවට ගැනීමටය. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දරගෙන් මේ සැලසුමට උපදෙස් ලැබිණි. සැලසුම මෙහෙයවීමේ රාජකාරිය පැවරුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ආර්. සේනාධීරටය. ඔහුගේ උපදෙස් අනුව ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු පළපුරුදු නිලධාරි කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගියහ.

සැකකරු ගැන ඔත්තුව ලැබී තිබූ ආකාරයට ඔහු සිටින්නට ඕනෑ ගනේමුල්ල, සුමේධ මාවතේ අදාල නිවෙසේය. සැකකරු සොයාගිය විශේෂ කාර්ය බළකා නිලධාරි කණ්ඩායම පෙරේදා නිවෙස වටකළේය. කණ්ඩායම දෙපිළ බෙදී පිරිසක් නිවෙස තුළට ඇතුළු වූහ. ගිනි අවි මානාගෙන සැකකරු සොයා නිවෙස තුළ ඔබමොබ යද්දි හිටිහැටියේ ඉහළ මාලය දෙසින් වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ නිලධාරින් දෙසටය. විශේෂ කාර්ය බළකා නිලධාරිහු සැකකරුට පැන යෑමට මොහොතක්වත් ඉඩ නොතබා ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. මිනිත්තු කිහිපයක් පිට පිට වෙඩි හුවමාරු විය. සැකකරුගේ ගිනි බටයෙන් එල්ල වූ වෙඩි උණ්ඩ වැදී පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල් සෝමසිරි (92266) තුවාල වුණේය.

මොහොතකින් ඉහළ මහලෙන් හාවක් හූවක් නැති විය. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් ඉහළ මහලට යද්දි යමෙකු බිම වැටී සිටියේ වෙඩි වැදී බරපතළ තුවාල සහිතවය. විශේෂ කාර්ය බළකා නිලධාරින් සොයා ආ සැකකරු ඔහු බව නිලධාරිහු හඳුනාගත්හ. එහෙත් ඔහු ඒ වනවිට සිටියේ අඩපණවය. තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා නිලධාරින් සමග සැකකරු ද හැකි ඉක්මනින් ළඟම පිහිටි රාගම රෝහලට රැගෙන ගියහ. වෙඩි වැදුණු සැකකරු රෝහලේදී මිය ගියේය. සැකකරු සන්තකයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සමග පතුරොම් ගැබක්, එයට යොදන ජීව උණ්ඩ කිහිපයක් ද පොලිසිය අත්අඩංගුවට ගත්තේය.

මේ සැකකරු ගැන පොලිස් විශේෂ කාර්ය බළකාය හඳුනාගත්තේ රත්නපුර, බටුගෙදර ආරච්චිලාගේ ශිහාන් අසංක බටුගෙදර හැටියටය. ඔහුගේ වයස 28කි. පදිංචිව සිටියේ ඇහැළියගොඩ, බුළුගහපිටිය, මොරගොල පාරේ නිවෙසකය. අපරාධ කල්ලි සාමාජිකයකු හැටියට පොලිස් පොතේ ශිහාන්ගේ නම ලියැවුණත් ඔහු මින් පෙර ජාතියේ ආරක්ෂකයකු ලෙස සේවය කළ අයෙකි. එනම් ඔහු මින් පෙර ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි දක්ෂ වෙඩික්කරුවෙකි. එහෙත් ඔහු ඒ නීත්‍යානුකූල රස්සාවෙන් ඉවත් වී තිබුණේ මීට මාස හතරකට පමණ ඉහතදීය.

ශිහාන්ගේ නම පොලිසියේ අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ගියේ ඉකුත් මාර්තු 9 වැනිදා ජාඇල, දඩුගමුවේ පාතාල කල්ලි සාමාජිකයකුට කළ වෙඩි තැබීමත් සමගය. යතුරුපැදියකින් ආ වෙඩික්කරුවකු දඩුගමුවේදී පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් තිබිණි. ඒ වෙඩි ප්‍රහාරයෙන් පාතාල කල්ලි සාමාජිකයකු වන කුඩු මංජු නමැත්තා තුවාල ලැබීය. මත්ද්‍රව්‍ය ආරවුලක් මත වෙඩි තැබීම සිදුව තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. වෙඩි තැබීමෙන් කුඩු මංජු නමැත්තා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබිණි. එදා වෙඩික්කරු ලෙස පැමිණ ඇත්තේ විශේෂ කාර්ය බළකා වෙඩි පහරින් මියගිය ශිහාන් නමැති පුද්ගලයා බවට පොලිසිය හඳුනාගත්තේය.

වෙඩික්කරු එදා පැමිණ ඇත්තේ කොන්ත්‍රාත්තුවකටය. ඒ කුලී වෙඩික්කරුවකු ලෙසය.

මාකිලංගමුවේ සංජීව නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ සාමාජිකයකු වන දැනට ඩුබායි සිට මෙරට පාතාලය මෙහෙයවන දිනේෂ් වසන්ත නමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් බවට අනාවරණය වී තිබිණි. දිනේෂ්ගේ කොන්ත්‍රාත්තුවේ මුදල ලක්ෂ පහකි. එහෙත් ඉන් ශිහාන්ට ලැබුණේ රුපියල් හැත්තෑපන්දහසක් පමණි. එයට හේතුව ශිහාන්ගේ වෙඩිල්ලෙන් කුඩු මංජුගේ දිවි තොර නොවීමය. එය ශිහාන්ගේ පළමුවැනි පාතාල කොන්ත්‍රාත්තුවයි.

විශේෂ කාර්ය බළකා නිලධාරින්ගේ වෙඩි පහරින් මිය යනවිට ශිහාන් පාතාල ලෝකයේ දළු දමා නැගී සිටින්නට උත්සාහ කළා පමණි. කෙසේ වුවද ඔහු වෙඩි පහරින් මිය යනවිට තවත් අපරාධයකට සූදානමින් සිටි බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී තිබිණි. දළු දමා පිළිලයක් වෙන්නට ගිය අංකුරයක් මිය ගියේ එසේය. පාතාල සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම්වලට මොනයම් හෝ ආකාරයකින් තිත තැබීම ජනතාවගේ බලාපොරොත්තුවය.
අනීෂා මානගේ
ප්‍රසංග පාවුළුහේවා - කටුනායක
gossip lanka