gossip lanka

"මම ඔයාට එන්න කිව්වේ අද අපේ ඔෆිස් පාටියක් තියෙනවා යන්න…" - මියගිය අනියම් බිරිය හිටිහැටියේ ආපහු ඇවිත් කරපු දේ!

සමන්තගේ දුරකතනය කිහිප වතාවක්ම නාද වුවද දිගු කල්පනාවක සිටි ඔහු එය ගනන් ගත්තේ නැත. 

එහෙත් නොනවත්වා දුරකතනය නාද වූයෙන් තරමක් කේන්තියෙන් මෙන් ඔහු ඇමතුමට සම්බන්ධ වූයේ මුහුණේ ස්වරූපය වෙනස් කරගනිමිනි.  

‘හෙලෝ…’ සමන්ත කතා කළේ නොසන්සුන් ආකාරයටය. එහා පැත්තෙන් ලැබෙන පණිවුඩය ගැන ඔහු යම් දෙයක් දැන සිටියා වැනි හැඟීමක් ඒ මුහුණේ විය.

‘සමන්ත මං නිමල්…’
‘ඔව් නිමල්…’
‘අන්න අරයා මැරිල…’
‘අරයා කවුද…?’
‘ජීවනී…’

‘නැහ්…?’ දෙදෙනා තවත් බොහෝ තොරතුරු කතා කළද සමන්ත සිටියේ දෙගිඩියාවෙනි. සමන්තගේත්, ජීවනීගේත් අනියම් සබඳතාව දැන සිටියේ නිමල් පමණකි. එනිසා නිමල්ගේ ඇමතුම ගැන සමන්ත එතරම් කලබල නොවුණද ඔහු යම් නොසන්සුන් ස්වභාවයකින් පසුවන බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

ජීවනී හදිසියේම සිදුවූ අධිරුධිර පීඩන තත්ත්වයකින් මියගිය බව හදිසි මරණ පරීක්ෂණයෙන් පැවැසුණු අතර ඇගේ මරණයෙන් දින කිහිපයක් ගතවෙද්දී සියල්ල යළිත් අමතකව ගියේය.

ජීවනීගේ පවුලේ ඇයත්, වැඩිමහල් සහෝදරියත් පමණක් සිටි හෙයින් ඇගේ මරණය පිළිබඳ කිසිදු කලබලයක් හෝ කතිකාවක් ඇති නොවීය. එහෙත් ඇගේ මරණය ගැන අවට ජනතාව විවිධ කතා පැවැසූහ. ඔවුන්ගේ මතයට අනුව ඇගේ මරණය මිනීමැරුමකි.

‘එයා එදා කොහෙද ගිහින්, වැනි වැනී වගේ ගෙදර ආවෙ. ඒ එනකොටම මට නම් සැක හිතුණා. කවුරු හරි මොනව හරි දීලා ඔය කෙල්ලව මැරුවා…’ප්‍රදේශවාසීන් අතර එවැනි කතා නිතර නිතර කියැවිණි. ඔය අතරේ සමන්තගේ මිතුරන්ද දැන හෝ නොදැන ඔහුට අමුතු විහිළු කළේ ජීවනීගෙන් ගැළවෙන්නට ඔහු ඇයට මොනවා හෝ කළා යැයි කියමිනි.

මේ සියල්ල අතර කාලය සුපුරුදු ලෙස ගෙවී ගියේය. ඒ කාලය සිය බිරිය හා දරුවා සමග ඉතා සතුටින් සිටින බව පෙන්වුවද සමන්ත බිරියට රහසේ තවත් කෙනකුට සමීපව සිටියේය. ඇය නමින් රන්දිකාය. වරක් ජීවනී හා රන්දිකා සමන්ත ගැන කතාවකට ගොස් ගැටුමක්ද ඇති කරගත් අතර එය නිරාකරණය වූයේ රන්දිකා ජීවනීට මරණ තර්ජනද කරමිනි.

කෙසේ නමුත් ජීවනීගේ මරණයෙන් පසු සමන්ත රන්දිකාට ළං වූයේ බාධා සියල්ල මඟහැරුණු බව සිතමිනි. එහෙත් දිනක් සමන්ත රන්දිකා හමුවීමට සිතා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී හදිසියේම රූමත් තරුණියක වාහනයේ ගැටෙනවා සේ දුටුවේය.

මෝටර් රථය නවතා අවට පරීක්ෂා කළද ඔහුට එවැනි කෙනකු දක්නට නොලැබිණි. තමා දුටු රුව ජීවනීගේ රුවට සමාන බව සමන්තට සිතුණේ යළි රථයට ගොඩවෙද්දීය. රථය පණගන්වාගෙන ඉදිරියට යද්දී පිටුපස පෙනෙන කණ්ණාඩියෙන් ඔහු දුටුවේ පිටුපස අසුනේ සිටින ජීවනීය.

ඇය අමුතු ආකාරයට මහ හයියෙන් සිනාසෙනවා සේ ඔහු දුටුවේය. ඔහු හැකි උපරිම වේගයෙන් රන්දිකාගේ නිවෙස වෙත රථය ධාවනය කළේ තිගැස්මෙනි.

‘මං ඔයාට එන්න කිව්වේ අද අපේ ඔෆිස් පාටියක් තියෙනවා යන්න…’රන්දිකාගේ යෝජනාව කිසිදු ආකාරයකින් ප්‍රතික්ෂේප නොකළ ඔහු, ගමනට එක්වූයේ කතාබහකින් තොරවමය.

එහෙත් ඔහු සිටියේ අමුතු හැසිරීමකිනි. සාදයේදී ඔහු මත්පැන් බෝතලයක් කට තබාගෙන එක හුස්මට බීවේය. රන්දිකාගේ හිතවතුන් විමතියෙන් සහ සමච්චලයෙන් බලාගෙන සිටියේය. වෙරිවූ සමන්ත තමාගේත්, රන්දිකාගේත් අතිශය පෞද්ගලික දේ ප්‍රසිද්ධියේ කීවේය. තමා ජීවනීට යමක් බොන්නටදී රුධිර පීඩනය වැඩිකර ඝාතනය කළ බවද කීවේය.

මේ කතාබහ සමගම රන්දිකා සිය කාර්යාල මිතුරු මිතුරියන් ගැන කියූ රහස්ද ආයතන ප්‍රධානියා ගැන කියූ රහස්ද සමන්තගේ මුවින් කියැවුණේය.

තව ටික දවසකින් රන්දිකාගේ රුධිර පීඩනය වැඩිකර ඇයවද ඝාතනය කරන බව ඔහු අවසානයට කීවේ කාගේත් දෑස් මවිත කරමිනි.

සියල්ල එසේ සිදුවෙද්දී එතැන සිටි අයකුගේ ඔත්තුවකට පොලිසිය පැමිණ සමන්තව සැක පිට අත්අඩංගුවට ගත්තේය. එම ස්ථානයේ සී.සී.ටී.වී. දර්ශනවල ඔහුගේ පාපොච්චාරණ සියල්ල පටිගතව තිබුණු අතර ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙන්නේද යන්න පරීක්ෂා කිරීමටද පොලිසිය කටයුතු කළේය.

එහෙත් එම වාර්තාවට අනුව ඔහුට එවැන්නක් නැති බව හෙළිවීමෙන් පසු ඔහුට විරුද්ධව නඩු පැවරිණි.

මේ සිද්ධිය දන්නා බොහෝ දෙනකු පැවැසුවේ සමන්තට මේ සියල්ල සිදුවූයේ ජීවනීගේ ආත්මය ඔහු පසුපස පැමිණ ඔහුගේ සිරුරට ඇතුළු වීමෙන් බවය. කෙසේ නමුත් ඔහු පොලිස් ප්‍රශ්න කිරීම්වලදීද තමා කළ අපරාධය පිළිගෙන තිබිණි.

සත්‍ය කතාවකි
නම්ගම් සියල්ල මනඃකල්පිතයි
කුමාර රත්නායක
gossip lanka