gossip lanka

රතු පැහැයේ ආකර්ෂණීය චරිතය... ධනුවෙන් උපන් අනුර කුමාරටත් රජවෙන යෝගයක්!

සතිඅන්ත පුවත්පතක් මගින් අනුරකුමාර දිසානායකගේ ධනු ලග්නයේ කේන්දරය විග්‍රහයට ලක්කර තිබේ. මේ පළවන්නේ එම ලිපියයි.

ශ්‍රී ලංකාව තුළ කාලයෙන් කාලයට විවිධ නායකයන් ජනප්‍රියත්වයට පත්වෙයි. මේ වන විටද ජනතා හදවත් වල ගැවසෙන නායකයන් කවුදැයි ජනතාව හොඳින් දනිති. එසේම ජනතා කුතුහලය පවතින්නේද වර්තමානයේ ජනප්‍රිය නායකයන්ට රජකම ලැබේද? ඔවුන්ට ඒ සඳහා ජ්‍යොතිෂයෙන් තල්ලුවක් ලැබේද? ජනතා ආදරය ඉහළින්ම දිනාගත හැකිවේද? යන්නයි. ඒ පිළිබඳව ජ්‍යොතිෂ්‍යානුකූලව අධ්‍යයනයක් කර විග්‍රහයක් කිරීම මේ ලිපියේ අරමුණයි.

යමකු කේන්දරය හෝ ජ්‍යොතිෂ ශාස්ත්‍රය විශ්වාස කළද, නොකළද, ඔහු මෙලොවට උපත හිමි වෙයි. එකී කේන්දරය ලද්දේ නම්, කේන්දරයක් මුල්කරගෙන ඒ තැනැත්තාගේ ජීවන ගමන තීරණය වෙයි. ඔහු සමාජවාදී වුවද ධනවාදී වුවද යථාර්ථය වෙනස් වන්නේ නැත. ඒ කේන්දරයේ පිහිටීම ජීවිතයට පාර කියාදීම සිදුකරයි. මේ වන විට ශ්‍රී ලංකාව තුළ සමාජවාදී බල කඳවුර ශක්තිමත්ව පවතින අතර එහි නායක කාරකාදීන් අන්‍යයන්ට වඩා ප්‍රබලව වෙනදාට වඩා ජනප්‍රියව නැගීසිට ඇත.

එමෙන්ම ජනතා ආදරය ඉහළින්ම දිනාගැනීමට සමත් වී ඇත. ලංකාව මෙන්ම ලෝක ඉතිහාසය දෙස බලන විටද රතු කඳවුරේ ජයග්‍රහණ ලබාගත් නායකයන්ගේ එම ජයග්‍රහණ ගැන කේන්දරයෙන් මනාව තහවුරු කර ඇත. අදටත් රුසියාව තුළ බිහිවූ ශ්‍රේෂ්ඨ නායකයන් වන 1 ලෙනින් මැතිතුමා 1870/04/22 දින මේෂ ලග්නයෙන් උපත ලබා රුචක නම් පංච මහා පුරුෂ යෝගයටත්, සියුම් ඥානකාරක නිපුන යෝගයටත් උරුමකම් ලබා තිබුනි. මේ සියල්ල ලග්නයේ පිහිටීම නිසා ඔහු කිසිදිනෙක වචනය පසුපසට නොගත් අභීත  නායකයකු විය.

ශනි දීප්ත යෝග යෙන් බලවත් නිසා පිරිසක් එසේසත් කර නායකත්වය ආරක්ෂා කරගත්තේය. එසේම කවුරුත් නොදන්නවා වුවද, ඔහු දැඩි ලෙස ලෞකික සැප සම්පත් භුක්ති විඳි අයෙක් බවද කිව යුතුය. එසේ වන්නේ සිකුරු එකොළොස්වැන්නේ පිහිටීම නිසයි. තම බලයෙන් රට තනි වචනයට ගෙන ගිහින් රට දියුණුවට ගෙන ගියේ සෙනසුරු බලවත් කාලයේ වීම විශේෂත්වයකි.

තවත් උදාහරණයක් ලෙස ලොවම ආදරය කළ සමාජවාදයේ නූතන සලකුණ වන කියුබාවේ සදාදරණීය නායක පිදෙල් කැස්ත්‍රෝගේ කේන්දරය දෙස අවධානය යොමු කළ විට පෙනී යන විශේෂ
කාරණය නම්, ඔහුගේ සෘජු බවයි. 1926/08/13 දින උපන් ඔහුට තුලා ලග්නය හිමි වී පංචමහා පුරුෂයෝග දෙකක් සහිතව නිපුන යෝගය, ධර්මකර්මාධිපති යෝගය සහ සෙනසුරුගෙන් ගෙනදෙන සේනක යෝග යෙන් කේන්දරය බලවත් කර ඇත. ලෙනින්ට තිබුණා සේම රුචක යෝගය සහ නිපුන යෝගය නිසා ජනතා නායකයකු බවට පත්විය. තුලා ලග්නය වී සෙනසුරු උච්ච වී, ලග්නගත වීමෙන් මියැදෙන තුරුම රටේ නායකයා බවට පත්විය. සිකුරු 10 නිසා ජනතාවගේ ආදරයද දිනා ගත්තේය. ජනතාවගේ හදවතේ නායකයා වූයේ එලෙසිනි.

අදටත් රට ණය නැති රටක් ලෙස ලොව ඉදිරියේ කොන්ද කෙළින් කර වූ මෙම නායකයා අමෙරිකාවට පවා අභියෝග කළේ සස යෝගයෙහි බල මහිමයෙනි. ලොව තුළ මෙවැනි සමාජවාදී නායකයන්ගේ උදාහරණ ගණනාවක් ගෙන බැලූ කල පෙනී යන්නේ ඔවුන්ගේ කේන්දරය බලවත් වූ විට නායකත්වයට පත් වූ බවත්,

එසේම පාලනය ගෙනයාමට සෙනසුරුගේ පිටිවහල ඉතා බලවත් සාධකයක් ලෙස බලපෑ බවයි.

ශ්‍රී ලංකාවේද සම සමාජ, කොමියුනිස්ට්, මහජන එක්සත් පෙරමුණ නායකයන්ගේ කේන්දර කෙසේ වුවත් ලංකාවේ සමාජවාදයේ සලකුණු කිහිපයක් තැබූ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නොහොත් රෝහණ විජේවීරයන්ගේ කේන්දරය ඉතා බල සම්පන්න මෙන්ම ජනතා ආකර්ෂණය දිනාගත් කේන්දරයකි.

1943/07/14 දින තංගල්ලේදී වෘශ්චික ලග්නයෙන් ජයසිඳු යෝගයෙන් සහ නිපුන යෝගවලින් උපත් ඔහු දැනුම සහ කතාවෙහි අති දක්ෂයකු විය. දැනුම සහ එය මෙහෙයවා මිනිසුන් අද්දවා ගැනීමට, ගුරු කටකයේ බලය ඔහුට ඉවහල් විය.

චන්ද්‍රයාට සෙනසුරු 1ට 7වී සිටීම නිසා බලය ලබා ගැනීමට නොහැකි වූ අතර එයට උත්සාහ දැරූ සෑම වාරයකදීම අසාර්ථකත්වයට පත් විය. එසේ අඩුම තරමේ පාර්ලිමේන්තුවට හෝ යන්නට විජේවීර මහතාට නොහැකි වූයේ රැකියාවට බලය දෙන ස්ථානය දුර්වල කර තිබූ බැවිනි. නමුත් අදටත් විජේවීර මහතාව අදහන පිරිසක් බිහිකර ඇත්තේ පෙර පින් බලය පෙන්වන තැන ගුරුගේ දීප්තිය ගෙනදෙන බැවිනි. එසේම ඔහුගේ මහා ප්‍රඥා බලය කපා දඩබ්බර ගති පැවතුම් මෙම කේන්දරයේ විදහා පායි.

විජේවීර මහතාට වූ කේන්දරයේ නොදුන් එකම සහනය සෙනසුරුගේ ගෝචර ගමනේ සහ ස්ථාන බලයේ දෝෂයයි. ඒ නිසාම නායකයකු වුවත් පාලකයකු වන්නට නොහැකි විය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ වැඩිපුරම කතාබහට ලක්වන්නට යෙදී තිබෙන්නේ රතු පැහැයේ ආකර්ෂණීය චරිතය වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමයි. ඔහුට නායකත්වය මෙන්ම පාලනය හිමි ද යන්න ජ්‍යොතිෂ්‍යානුකූල විග්‍රහයක් පමණක් ඉදිරිපත් කළ හැකිය. 1968/ 11/24 දින තඹුත්තේගමදී උපන් පින්වත් කුමරා (කේන්දරයක පිරිමින් උපදින විට ලියන ආකාරයටම ලියා තැබුවෙමි)

හට ධනු ලග්නය හිමිවනවාත් සමඟම ගුරු ග්‍රහයාගේ බලය 10 වැන්නෙහි වර්ගෝත්තම වී වචනයේ දේශනා කරන දෙයහි බලයෙන් ගත්තේය. ජනතා ආකර්ෂණය දිනා ගැනීමට හැකිවිය. ධර්ම කර්මාධිපති බලය 12 වැන්නේ යෙදීම නිසා ජාත්‍යන්තරය පවා ජයගත හැකිය යන්නට හොඳ පෙරමග සලකුණක් කේන්දරයේ පෙන්වා දෙයි. ලෙනින්ට, කැස්ට්‍රෝට, විජේවීරට තිබුණා සේම සුවිශේෂී බලය 10 වැන්නේ යෙදීම නිසා නායකයකු පමණක් නොව පාලකයකු වන්නටද පාර පෙන්වා දෙන්නේය.

 ඉතා අඩු වයසකින් ශ්‍රී ලංකාවේ, අමාත්‍ය ධුරයක් 2004 වර්ෂයේදී දරන්නට ලැබෙන්නේද රක්ෂා ස්ථානයේ ගෙනදෙන මහා බලයෙනි. ජ්‍යාතිෂයේ කියවෙන්නේ ගුරු 10 සිටී නම් සමාජ මට්ටම කුමක් වුවත් අඩුම තරමේ සාමදාන විනිසුරුකමක් හෝ ලැබෙන බවයි. ඉතින් මොහු සිටින සමාජ ස්ථරය අනුව රටේ බලය ලබාදීම ඉතා සුළු කර්තව්‍යයක් පමණක්ම වන්නේය. තවත් විශේෂත්වයක් මෙම කේන්දරය තුළින් සොයාගත හැකිය. පංචමහා පුරුෂ නොතිබූ බොහෝ කේන්දරවල පාලනය ගෙන දුන්නේ සෙනසුරුගේ බලය විහිදූ කාලයේය.

සමාජවාදියකු නොවුණත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවා බලය දී දීප්තිය ගෙනදුන්නේ සෙනසුරුගේ සමයේය. ඉහත සඳහන් කළ පරිදි වී. අයි. ලෙනින් සහ කැස්ත්‍රෝ වැනි නායකයන්, පාලකයන් යටපත් කළේ සෙනසුරාගේ දශාවේදීය.
2023 අගෝස්තුවලින් පසු මෙම කේන්දර හිමියාටත් සෙනසුරාගේ මහදශාව ලබන්නට පටන් ගත්තේය. එකී දශා අධිපතියාට දිග්ගල ස්ථානය හොඳින් පෙනේ. ඉදින් සෙනසුරු අධිපතිකම් දරන ලංකා කේන්දරයේ මුල් පුටුවම සෙනසුරු බලවත් වූවකුට ඉතා කෙටි මාර්ගය පාලනය උදෙසා පෙන්වනු ඇත. ලෙනින්, කැස්ත්‍රෝ සහ ලංකාවේ මහින්දට සෙනසුරු නායකත්වය දී බැබළ වූයේ නම් අනුර කුමාරට එය නොදී සිටියිද?

අදහස් දැක්වූයේ 

ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී නාමල් ප්‍රේමවර්ධන
සටහන
යශෝධා පියංගනී (මොනර)
gossip lanka