gossip lanka

මහා වංචාවක් : රේගුවට හොරෙන් වාහන 400ක් ලියාපදිංචි කරලා – වංචාව රු.බිලියන 05ක්!

රජයට සැළකිව යුතු මූල්‍ය අලාභයක් සිදු කරමින් රේගුව මගහැර වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කළ බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නීතිමය පියවර ගැනීම ආරම්භ කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහස්‍ය හා බුද්ධි විමර්ශන ඒකකය පළමුව KE-3845 දරන වාහනය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකර ඇත.

මෙම වාහනය රේගු නිෂ්කාශනයකින් තොරව ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවත්, පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවට ඇතුළු වී රජයට රුපියල් 2,587,500ක අලාභයක් සිදුකරමින් එය ලියාපදිංචි කර ඇති බවත් හෙළිව තිබේ.

98412/01/2023 දරන නඩුව යටතේ ලබාදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත ඉහත වාහනය අල්ලස් කොමිසම භාරයට ගෙන, පවත්වනු ලබන පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා රේගුවට භාර ලබාදී ඇත.

වංචාවට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටී.

මේ ආකාරයට නීතිවිරෝධී ලෙස ආනයනය කර ලියාපදිංචි කළ තවත් වාහන 400ක පමණ තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් පවතින බව වාර්තා වේ.

මෙය ඉතා සංවිධානාත්මකව ඉතා දීර්ඝ කාලයක් අඛණ්ඩව සිදුවී ඇති අතර, එමගින් රජයට රුපියල් බිලියන 05කට අධික අලාභයක් සිදුව ඇති බව වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
gossip lanka