gossip lanka

කලකින් පැමිණි වනිඳු අමතක නොවන පන්දු යැවීමක… ලකුණු 19ට කඩුළු 07යි… ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08කින් දිනුම්!

කලකින් පිටියට පැමිණි වනිඳු හසරංග ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ සිම්බාබ්වේ කණ්ඩායම පරදවා  කඩුළු 08ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වූයේය.

කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදීම තේරූ සිම්බාබ්වේ කණ්ඩායම   සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට උත්සාහ කරනු පෙනුණි.   ආරම්භක පිතිකරුවන් වන ජොයිලොර්ඩ් ගුම්බි ලකුණු 26ක්  සහ ටකුඩ්ස්වනාෂේ කයිටනො ලකුණු 17ක් සහිව ලකුණු   43ක සම්බන්ධතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන්  ගොඩනැගූහ.

එහෙත් වනිඳු හසරංග ලකුනු 19කට කඩුළු 07ක් දවා ගනිමින් සිම්බාබ්වේ ඉනිම සුනු විසුණු කළේය.

සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ජොයිලොර්ඩ් ගුම්බිය. ඔහු ලකුණු 29ක් ලැබුවේය.

සිම්බාබ්වේ කණ්ඩායම පන්දු ඕවර 22.5ක් තුළ ලකුණු 96කට දැවී ගියේය.  මහීෂ් තික්ෂණ, ජනිත් ලියනගේ සහ ඩිල්ශාන් මධුශංඛ  කඩුල්ල බැගින් ලැබූහ.

ඊයේ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට  ෂෙවොන් ඩැනියෙල් කැඳවා තිබිණි. ඔහු ජාත්‍යාන්තර වරම් දිනා ගත්තේ ඊයේ තරගයෙනි.  ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට වනිඳු හසරංග කැඳවා තිබුණු අතර  දිගින් දිගටම පිතිකරණයෙන් අසාර්ථක වූ හිටපු නායක දසුන් ශානක කණ්ඩායමෙන් ඉවත් කර තිබිනි.

එහෙත් එක දිගටම අසාර්ථක වූ සිය පිතිකරණ රිද්මය අහිමිකරගත් අවිශ්ක ප්‍රනාන්දුව යළිත් වරක් කණ්ඩායමට තෝරා තිබුණු අතර ඔහු නැවතත් ලකුණු නොලබා දැවී ගියේය. අවිශ්ක ප්‍රනාන්දු තරග තුනේදී එක් හතරේ පහරකින් ලකුණු හතරක් පමණක් ලබා ගත්තේය.

එමෙන්ම සිය මංගල තරගය ක්‍රිඩා කළ ෂෙවොන් ඩැනියල් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තමන්ට ඇති හැකියාව මේ සිය මුල්ම තරගයේ දී සහතික කළේ නැත. අතිශය අපහසුවෙන් පන්දුවට මුහුණ දෙමින් පන්දු 28ක් තුළ ලකුණු 12ක් ලබා අනවශ්‍ය පහරක් එල්ලකරමින් ඔහු දැවී ගියේය.

තරගයේ දී කුසල් මෙන්ඩිස් පන්දු 51ක් තුල ලකුණු 66ක්  ලබා ගත්තේය. ඊටය හතරේ පහර 09ක් සහ හයේ පහරක් ඇතුළත් වූයේය.

එහෙත් අප දුටුවේ කුසල් මෙන්ඩිස් සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙසින් මුසරබානි ඉදිරියේ අවස්ථා ගණනක දැඩි අපහසුතාවයකට පත්වන ආකාරය ය. කුසල් මෙන්ඩිස්ගේ පැත්තේ අද වාසනාව තිබුණේය. ඔහු අවස්ථා හතරක දී මුසරබානි හමුවෙ අන්ත අසරණ වූයේය. දෙවැනි එක්දින තරගයේ දී ඔහු  මුසරබානිගේ පළමු පන්දුවෙන්ම පන්දුව කඩුල්ලේ වැදී දැවී ගියත් එය නිපන්දුවක් වූයෙන් ඔහු බේරුනේය. එහෙත් ඒ බේරීම වැදගත් නොවූයේ අනකේ අන්තයෙන් පන්දු යැවූ රිචාඩ් න්ගරාවාට ගොදුරු වූ බැවිනි.

කෙසේ වෙත්ත තරගය නම්බුකාර ලෙස දිනුම්ය. දෙවැනි තරගයෙන් ජය ගත්තත් ඒ නිග්‍රහශීලී ජයග්‍රහණය අවමානය අද වනිඳු නිසා බේරුණේය.

තරගයේ වීරයා වනිඳුය. තරගාවලියේ වීරයා ජනිත්ය. තරගාවලිය 2-0 ලෙස ශ්‍රී ලංකාව දිනුම්ය.
gossip lanka