gossip lanka

'තාත්තී පොඩ්ඩක් එළියට එනවද, කියල මං ඇහුවා, එදා රෑ මහින්ද මට කෝල් කළා!' - 'භාරත ලක්ෂ්මන්' ඝාතනය ගැන, 'හිරුණිකා'ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක්!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 'දුමින්ද සිල්වා 'මහතාට, එවක ජනාධිපතිවරයා වූ 'ගෝඨාභය රාජපක්ෂ' මහතා ලබා දුන් ජනාධිපති 'පොදු සමාව' නීත්‍යානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද දිනයේ ඒකමතිකව තීන්දු කරනු ලැබුවා.

ඒ අදාළ ජනාධිපති සමාවට එරෙහිව මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන 'සුමනා ප්‍රේමචන්ද්‍ර', දියණිය 'හිරුණිකා ප්‍රේමචන්ද්‍ර' සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන 'නීතිඥ ගසාලි හුසේන්' යන අය විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, මෙම 'තීන්දු ප්‍රකාශයෙන්' අනතුරුව නැවත වතාවක් 'දුමින්ද සිල්වා සහ භාරත ලක්ෂ්මන් සිදුවීම' පිළිබඳව සමාජය තුළ 'කතාබහක්' ඇති ව තිබෙනවා.

'භාරත ලක්ෂ්මන්' හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා 'ඝාතනය' කළා යන චෝදනාව මත 'වරදකරු' වූ දුමින්ද සිල්වාට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ 'ජනපති පොදු සමාව' ප්‍රදානය කළේ 2021 වසරේ ජූනි 24 වැනි දින යි.

ඉන් දින කිහිපයකට පසුව දී ඔහු 'ජාතික නිවාස අධිකාරියේ' සභාපති ධුරයට ද පත් කෙරුණා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් 'දුමින්ද සිල්වාට' ජනපති සමාව ප්‍රදානය කිරීමට එරෙහි ව ශේෂ්ඨාධිකරණයට 'පෙත්සමක්' ඉදිරිපත් කෙරුණේ ඉන් අනතුරුව යි.

කෙසේ වෙතත්, අද දිනයේ 'තීන්දු' ප්‍රකාශයෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය 'මාධ්‍ය හමුවක්' කැඳවමින් සිය පියාගේ 'මරණය' ගැනත්, ලද 'තීන්දුව' ගැනත් මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා.

'අපේ අම්මා කිවුවා, මත්ද්‍රව්‍ය ගැන කතා කරන්න එපා කියලා, තාත්තාට. නමුත් තාත්තා ඒ ගැන කතා කළා. මම හිතනවා, ඔහුගේ මරණයට හේතුව වුණෙත් ඒක... දුමින්දගේ ආගමනයත් එක්ක මේ ගැන වැඩිපුරම කතා කළේ....'

'අපේ අම්මා කිවුවා, 'මේ ගැන කතා කරන්න එපා, මේක ජාත්‍යන්තර ජාලයක්, මේ වගේ අයට අනිත් අයව නැති කරන එක සාමාන්‍ය දෙයක්'... කියලා....'

'දුමින්ද සිල්වා මේක පටන් ගන්නකොට, තාත්තා මහින්ද රාජපක්ෂටත් මේ ගැන කිවුවා. මහින්ද රාජපක්ෂ ගණන ගත්තෙත් නෑ. අදටත් මම ඇඟිල්ල දික් කරන්නෙ ඔහුට... උණ්ඩවලින් විසඳන්න ඔිනි ප්‍රශ්නයක් නෙවෙයි මේක.. ඔහුට තිබ්බා මේක විසඳන්න. විසඳුවා නම් ඒ දෙන්නම ජීවතුන් අතර ඉන්න තිබුණා...'

'භාරත ලක්ෂ්මන්' ඝාතනයට ප්‍රධාන හේතුව, ඔහු විසින් සිදු කෙරූ 'කතාවක්' බැව් ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරනවා.

'ඔහු කළේ දෙන්නවම කොටවපු එක... එයා හැමදාම කළේ ඒක.. ඔහොම ටික කාලයක් ගිහින්, ඔහුව ඝාතනය කරන්න කලින් ඔහු වේදිකාවක් උඩ කියනවා කතාවක්... ඒ කතාව තාමත් යුටියුබ් එකේ තියනවා... 'ගෝඨාභය රාජපක්ෂ කියලා කියන ආරක්ෂක ලේකම්ව අරගෙන මේ දුමින්ද සිල්වා කියන සංවිධායක ගෙවල් වලට ගිහිල්ලා රැස්වීම් පවත්වනවා'... කියන කතාව.... මම හිතනවා, ඒ කියපු වචන ටික නිසා තමයි ඔහුව ඝාතනය කළේ...'

'දැන් නඩු වාර්තාව එළියට ඇවිත් තියනවා. එදා සිද්ධිය සම්පූර්ණ සැළසුම් සහගත එකක්. මම කියපු නැති දේවල් සේරම අද කියනවා... මම එදා මගේ යම් කිසි මොකක් හරි ක්ලාස් එකකට යන්න ඉන්නකොට, උඩ බාත්රූම් එකක් තියනවා, පහළ එකක් තියනවා. මම යද්දි තාත්තා බාත්රූම් එකේ හිටියේ. මම කිවුවා, තාත්ති පොඩ්ඩක් එළියට එනවද, මට පරක්කු වෙනවා කියලා. එතකොට ඔහු කිවුවා, විනාඩි දෙකයි පුතේ මම එළියට එනවා කියලා...'

'මට ඒ විනාඩි දෙක ඉවසන්න බැරිවුණා... පස්සෙ මම පහළ බාත්රූම් එකට ගියා... මම සුදානම් වෙලා එද්දි තාත්තා ගෙදරින් ගිහින්.. මට අදටත් තියෙන කණගාටුව එදා මූණවත් බලන්න බැරිවුනු එක.. ඔහු ආයේ ආවේ නෑ. ඔහුගේ දේහය නිවසට ආවේ...'

සිය පියාගේ මරණයෙන් අනතුරුව 'මහින්ද රාජපක්ෂ' හිටපු ජනපතිවරයා තමන් හා දුරකතනයෙන් 'ආවේගයෙන්' කළ සංවාදයක් ගැනත් 'හිරුණිකා ප්‍රේමචන්ද්‍ර' මෙසේ තොරතුරු හෙළි පෙහෙළි කළා.‍

'තාත්තා ගියාට පස්සෙ මම කතාවක් කළා, ආවේගෙන් කළේ. මේ වගේ දෙයක් ආයේ වෙන්න දෙනවද කියලා. මහින්ද අපේ තාත්තට අවසන් ගෞරව දක්වන්න එද්දි මිනිස්සු හූ කිවුවා. අවසන් දවසේ අවසන් කතාව කළාම... එදා රෑ මහින්ද රාජපක්ෂ කෝල් කළා.. කතා කරලා මට බැන්නා. කිවුවා 'ඔයාට පිස්සුද මිනිස්සුන්ව අවුස්සලා මගේ ආණ්ඩුව වට්ටන්නද? ආ ලැජ්ජ නැද්ද තාත්තාගේ මේ අවසන් කටයුතු දවසේ ඔය විදිහේ කතා පවත්වන්න... කියලා.' මට තරහා ගියා. මම කිවුවා, 'සර් ඔය කතා කරන්නෙ තාත්තෙක් නැතිවෙච්ච දුවෙක්ට.. ඔයාට ඒ වේදනාව නොදැණුනාට මට ඒ වේදනාව තියනවා' කියලා. එතනින් එහා කිසිම දවසක එයා මට බලපෑමක් කරන්න ආවේ නෑ. හැබැයි වෙනත් පැතිවලින් මට තර්ජන ආවා...'
gossip lanka