gossip lanka

මේජර් ගෙදර ලයිට් කපන්න ගිය දෙදෙනා වත්තට දමා ගේට්ටුව වහලා!

විදුලි විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයන් දෙදෙනකු ගේට්ටුව වසා හිරකර බල්ලන් ලිහා දමන බවට බියවද්දා විදුලි සැපයුම විසන්ධි කිරීමට බාධා කළ බව කියන මේජර්වරයකුගේ බිරියක් සහ මේජර්වරයාගේ මිතුරෙක් මොරොන්තුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරොන්තුඩුව නාන්දූව ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකි.

හමුදා මේජර්වරයා, ඔහුගේ බිරිය සහ ඇයගේ මව පදිංචි නිවස පිහිටි ඉඩමෙහිම බිරියගේ සහෝදරියකගේ නිවෙස ද පිහිටා ඇති අතර, ඒ සහෝදරිය ජපානයේ පදිංචිව සිටින බව සඳහන් වේ.

විදුලි සේවකයන් සිවු දෙනකු 11 දා දහවල් 1 ට පමණ ජපානයේ පදිංචි බව කියන කාන්තාවගේ නිවෙසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණ ඇත. ඇයගේ මව ගේට්ටුව විවෘත කළ පසු විදුලි සේවකයන් දෙදෙනකු ඇතුළුවී ඇති බවත්, අනෙක් දෙදෙනා ඔවුන් පැමිණි වෑන් රථයේම සිට ඇති බවත් පැවසේ.

විදුලිය විසන්ධි කිරීම දැනුම් දී පැමිණෙන අතරවාරයේ විදුලි සේවකයන් යාබද පිහිටි සිය සහෝදරියගේ නිවෙසෙහි විදුලිය විසන්ධි කර ඇත.

ඒ අවස්ථාවේ දී ඇය ජපානයේ අක්කාට දුරකතන ඇමතුමක් දී විමසීමේ දී ඇය බිල්පත ගෙවූ ලදුපත වට්සැප් මගින් නැගණියගේ ජංගම දුරකතනයට යොමුකර ඇති බවත් ඇය එය විදුලි සේවකයන්ට පෙන්වීමට උත්සාහ කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබූ බව පොලිසිය කියයි.

එහිදී උරණ වූ මේජර්වරයාගේ බිරිඳ ගේට්ටුව වසා ඉබි යතුරු දමා, නිවෙසේ ඇති කරන සැර බල්ලා ලිහා දමන බවට තර්ජනය කර විසන්ධි කර තිබූ විදුලි සැපයුම යළිත් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව පොලිසිය කීය.

ඒ අතර ඇය මේජර්වරයාගේ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දී ඔහු ද ස්ථානයට ගෙන්වා ගෙන ඇති අතර, ඔහු සිය ජීප් රථය විදුලි සේවකයන් පැමිණි වෑන් රථයට අවහිර වන සේ නතර කර සිට ඇති බව ද සඳහන් වේ.

වෑන් රථයේ සිටී විදුලි සේවකයකු මේ බව කාර්යාලයට දැනුම් දී ඇති අතර, ඔවුන් මොරොන්තුඩුව පොලිසියට කළ දැනුම් දීමකින් පසු ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් පිරිසක් නිවස වෙත පිටත්කර යවා ඇත.

පොලිස් නිලධාරීන් නිවෙසට ගොස් ගේට්ටුව විවෘත කරන ලෙස දන්වා ඇති අතර, එය විවෘත කිරීම ද නිවැසියන් පළමුව ප්‍රතික්ෂේප කර ඇති බවත්, ගේට්ටුව කඩා නීතිය ක්‍රියාත්මක කරන බව දැනුම් දීමෙන් පසු එය විවෘත කර ඇති බවත් පොලිසිය කීය.

ඒ අනුව විදුලි සේවකයන් දෙදෙනා බේරාගත් බවත්, ඔවුන් දෙදෙනා නිවෙසේ බල්ලා ලිහා දමාවී යන බියෙන් සිට ඇති බවත් පොලිසිය සඳහ කරයි.

විදුලි බිල ගෙවා ඇති බව සැකකරු ප්‍රකාශ කරන අතර බිල ගෙවා නොමැති බව විදුල ආයතනය පවසන බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදාහැර ඇති අතර, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි .

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක ගමගේ, සැරයන් ධර්මකීර්ති (69872) ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා
gossip lanka