gossip lanka

අංගොඩ ලොක්කාගේ 'රත්‍රං තැටිය' උස්සපු 'චූටි කපු මහත්තයා'ගේ පැටිකිරිය මෙන්න! 'එයාට වැඩි සැළකිලිද? උසාවි ආවෙත් මාංචු නැතුව!!'

පාතාල නායක අංගොඩ ලොක්කාගේ 'බිරින්ඳෑ' විසින් දරුවාගේ 'අපල' වෙනුවෙන් රුහුණු කතරගමට දුන් රත්‍රන් පවුම් 38ක් බරැති 'තැටියක්' අස්ථානගත වීම සම්බන්ධ පුවත මේ වන විට විශාල 'ආන්දෝලනයට' ලක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් 'ප්‍රධාන කපුවා' සහ 'භාර කපුවා' යන දෙදෙනාට ම 'චෝදනා' ගොනු කෙරුණු අතර, 'අත්අඩංගුවට' ගැනීමට 'නියෝග' කර තිබියදී 'ප්‍රධාන කපුවා' අස්ථානගත වූ පුවතකුත් පසුගිය දිනෙක මාධ්‍ය අනාවරණය කර තිබුණා.

පාතාලයේ 'කෙරුමෙකු' මෙන්ම, දැඩි 'දේව භක්තිකයෙක්ද' වන 'අංගොඩ ලොක්කා' ග්‍රහ අපල පිළිබඳව මහා 'විස්සෝපයකින්' සිටි බැව් රහසක් නොවෙයි.

අනෙක් අතට, ඔහුගේ 'බිරින්ඳෑ' සිය දරුවාගේ 'අපල උපද්‍රව' නැතිභංගස්ථාන කරවනු පිණිස මේ 'පූජාව' සිදු කරන්නෙ ද එවැනි 'මහා භක්තියක්' හිතේ ධාරණය කරගෙන යි.

ඇය මේ 'රන්තැටිය' පූජා කර තිබුණේ 2019 වසරේ ජූලි 5 වැනි දිනයි.

ඒ සමයේ එය භාරව කටයුතු කළ 'සොමිපාල රත්නායක' අදාළ තැටිය සම්බන්ධයෙන් වන 'පුදපූජා' සියල්ල සිදු කොට තිබුණා.

අනතුරුව, මේ 'තැටිය' පිළිබඳව 'සැක සංකා' මතු කරන 'බස්නායක නිලමේවරයා' (ඩිල්ෂාන් වික්‍රමරත්න) ඒ සම්බන්ධයෙන් එවකට සිටි 'පොලිස්පතිවරයා'ට පැමිණිලි කර තිබුණා.

'කපු මහත්වරු' 15 දෙනෙකු සේවය කරන මෙහි 'ප්‍රධාන කපුරාළ' සොමිපාල වන අතර, පත්තිනි දේවාලය භාරව සිටින්නෙ සමන් ප්‍රියන්ත නොහොත් 'චූටි කපු මහතා'යි.

මේ සම්බන්ධයෙන් දේවාලයේ 'මුලුතැන්ගෙයි අරක්කැමියෙකු' වන නන්දසාමි හෙවත් 'නන්දා' අපරාධ කොට්ඨාශයට ප්‍රකාශයක් ලබා දී තිබුණා. (එම ප්‍රකාශය පහතින්...)

'2019 ජූලි මාසේ දවසක තේවාව බාර කපු මහතුන් සිටින කාමරයේ පූජාවක් තිබුණා. කාමරයේ ඉස්සරහ ප්‍රධාන පුටුවක ප්‍රධාන කපු මහතා වාඩිවෙලා ඉද්දි මම එයාගේ කකුල මිරිකමින් හිටියා. මේ වෙලාවේ චූටි කපු මහත්තයා රතු රෙදි කැබැල්ලකින් ඔතපු තැටියක් රැගෙන විත් ප්‍රධාන කපු මහත්තයා කොහෙද තියන්නෙ කියලා ඇහුවා. පසුව එය මේසය උඩින් තැබුවා. පස්සෙ මම කපු මහතාට වැඳලා දේවාලයට ගියා. සති කීපයකට පස්සෙ දැනගන්න ලැබුණා චූටි කපු මහත්තයා මේ අරන් ඇවිත් තියෙන්නෙ සොරකම් කළා කියපු රන් තැටිය කියලා....'

අනතුරුව 'බස්නායක නිලමේවරයා' මේ සම්බන්ධයෙන් 'කපු මහත්වරු' කැඳවා දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කර තිබුණා.

දේවාලයේ 'ප්‍රධාන කපු මහතා' සොමිපාල හමුවී ඔහුගේ දෙපා වැඳ තමාගේ සම්බන්ධයක් නැති බැව් පවසනා ඇති 'චූටි කපු මහතා' ප්‍රධාන කපුවාගේ 'ගෞරවය' රැකීම උදෙසා තමන් මෙවැනිම වූ රන් තැටියක් රුපියල් ලක්ෂ හතළිස් එකක මුදලක් 'වියපැහැදම්' කරමින් නිමවා දේවාලයට භාර කළ බැව් ද කියා තිබුණා.

කොළඹ අපරාධ කොට්ඨාශය දේවාලයේ 'ප්‍රධාන කපු මහතා'ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.

'2019 වසරේ පෙරහර මාසයේ දිනක දේවාලයේ චූටි කපු මහතා රන් පැහැති බන්දේසියක් අරන් ආවා. ඒ වෙද්දි දේවාලයට මල් පූජා කිරීම සඳහා පවුම් 50ක බන්දේසියක් තිබ්බ නිසා අලුත් බන්දේසියක අවශ්‍යතාවක් තිබුණේ නෑ. මම කිවුවා එය අවශ්‍ය නැහැ කියලා. මේක ගෙනා දවසේ ම චූටි කපු මහත්තයා ඒක අරගෙන ගියා. ඒකට මොකද්ද වුණේ කියලා මම ආයෙ හොයලා බැලුවේ නෑ. 2021 ඔක්තෝම්බර් 19 වැනිදා දිය කපන කපු මහත්තයා කිවුවා දේවාලයට පූජා කරපු රන් ට්‍රේ එකක් කපු මහත්තයට දීලා තියනවා, ඒකට මොකක් වුණාද දන්නෙ නෑ කියලා. මේ ගැන බස්නායක නිලමේතුමාටත් ආරංචි වෙලා තිබුණා. එතුමා කිවුවා මේක සාකච්ඡා කරලා දෙයක් කරන්න කියලා. පස්සෙ චූටි කපු මහත්තයා කියලා බන්දේසිය හදලා බාර දෙන්නම් කියලා. පස්සෙ චූටි කපු මහත්තයාගේ මල්ලි අජිත්ට කතා කළාම එයා කිවුවා බන්දේසිය හදලා ගේන්න යන ගමන් කියලා. පස්සෙ මම කිවුවා ඒක දේවාලයේ පරිපාලන ලේකම්ට බාර දෙන්න කියලා. ඒ අනුව තමයි ලේකම් මේක භාරගෙන තිබුණේ...'

කෙසේ වෙතත් 'චූටි කපු මහතා' ව පසුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබුණා.

කෙසේ වෙතත්, 'සැකකරුවන්' අත්අඩංගුවට ගැනීමට 'නීතිපති' උපදෙස් ලැබී තිබියදිත් 'කපු මහත්වරුන්ට' සැළකිලි ලබා දුන් බවට පොලිසියට චෝදනා එල්ල වනවා.

'චූටි කපු මහතා' අධිකරණයට ගෙන ආවේ ද 'මාංචු රහිතව' වූ අතර, එය බොහෝ දෙනෙක්ගේ 'විමතියට' භාජනය වූ සිදුවීමක් වුණා.

'අරුණ' පුවත්පතට 'එෆ්. අස්ලම්' සහ 'චාමර පල්ලේගෙදර' ලියූ ලිපියක් ඇසුරිනි.
gossip lanka