gossip lanka

උතුරු කොරියාව ආත්ම ආරක්‍ෂාව සඳහා නව චන්ද්‍රිකාවක් කක්ෂ ගත කරයි!

නොවැම්බර් 22 වැනිදා උතුරු කොරියාව විසින් MALLIGYONG-1 නමින් නව මිලිටරි චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමත් සමග ඇමරිකාව, ජපානය හා දකුණු කොරියාව දැඩි කලබලයකට පත් වී ඇතැයි වාර්තා වේ. මෙම නව චන්ද්‍රිකාව දකුණ කොරියාව, චීන මුහුද හා ජපානයේ ඔකිනාවා ප්‍රදේශය ආවරණය කරමින් ගමන් කර ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. මෙම නව චන්ද්‍රිකාව මගින් තම රටේ ආරක්ෂාව බරපතල තර්ජනයකට පත් වී ඇතැයි පවසමින් දකුණු කොරියාව නැවත වරක් තම හමුදා උතුරු කොරියානු දේශ සීමා (DMZ)වෙත යවා ඇතැයි වාර්තා වේ. එයට ප්‍රතිචාරයක් ලෙස උතුරු කොරියාව විසින් 2018 දී දකුණු කොරියාව සමග අත්සන් කරන ලද මිලිටරි ගිවිසුම නිල වශයෙන් අහෝසි කරනු ලැබ ඇත.

මෙම නව චන්ද්‍රිකාව වන MALLIGYONG-1 කක්ෂ ගත කිරීමට ප්‍රතිචාර වශයෙන් ඉහත සඳහන් මිලිටරි ගිවිසුමේ අර්ධ අත්හිටුවීමක් ගැන කතා කළ දකුණු කොරියානු ආරක්ෂක ඇමතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු වශයෙන්, උතුරු කොරියාව විසින් ඒකපාක්ෂිකව මෙම තීරණය ගෙන ඇත. දකුණු කොරියානු හමුදාව දේශසීමා ආසන්නයේ සිය ඔත්තු බැලීමේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමත්, Pyongyang දේශසීමාවේ හමුදා මුක්ත කලාපය වන DMZ අසල නව ආයුධ ස්ථානගත කිරීමත් සමග “2018 අත්සන් තැබූ මිලිටරි ගිවිසුම” මගින් එකඟ වූ පරිදි තම හමුදාව නැවත කිසිදා සීමා කිරීමකට හෝ කඳවුරු තුලට ගාල් කිරීමක් සිදු නොවන බව උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබේ.

2018 දී, උතුරු කොරියානු නායක KIMJONG-UN සහ දකුණු කොරියානු ජනාධිපති MOON-JAE-IN දෙරට අතර ගැටුම් ඇතිවීමේ අවදානම සීමා කිරීම සහ දේශසීමා අතර ගැටුම් උත්සන්න වීම වැළැක්වීම අරමුණු කරගත් පියවර මාලාවක් ඔස්සේ වූ සම්මුතියක් සඳහා එකඟ තාවය පල කරන ලදී. ඒ අනුව දේශ සීමා වෙන් කරන නිර්ණ රේඛාව අසල, පියාසර කලාප සහ සමුද්‍ර ආරක්ෂක කලාපයන් අසල හමුදා අභ්‍යාස නවතා දැමීමට මෙම ගිවිසුම මගින් දෙරට අතර කැමැත්ත පල කරන ලදී.

මෙම එකඟතා වලින් කොටසක් දැනටමත් අහෝසි වී ඇති තත්වයක් තුල, දුර්වල ලෙස නම් කරන ලද හමුදා මුක්ත කලාපය වටා දෙරටේ හමුදා රැඳවීම මේ අනුව සැලකිය යුතු ලෙස උත්සන්න වී ඇති බව වාර්තා වේ. දකුණු කොරියානු ගුවන් යානා දේශ සිමා මායිම් රේඛාව වෙත යාම ත්‍රීව කරනු ලැබීමත් සමග තම අසල්වැසියාගේ හැසිරීම නිරීක්ෂණ කරමින් උතුරු කොරියාව විසින්ද “වඩා බලවත් ආයුධ” වලින් සන්නද්ධ වූ නව අතිරේක හමුදා සහ නව හමුදා උපකරණ එම ප්‍රදේශ වෙත යවා ඇත.

මෙම ආපස්සට සිදු වෙමින් පවතින දෙරට විසින් ගනු ලබන ආරක්ෂක පියවර පැහැදිලිවම දේශසීමා අවට අනතුරු අවදානම වැඩි කරනු ලබන බව යුධ විශේෂඥයන් මේ අතර පෙන්වා දේ. මෙම ගැටුම් 2018 ට පෙර එය සාපේක්ෂ වශයෙන් නිතර නිතර සිදු වුනු බවත්, දකුණු කොරියාවේ අන්ත ජාතිකවාදී කොන්සර්වේටිව්වරුන් සෝල්හි නැවත බලයට පත්වූ දා සිට, අන්තර් කොරියානු සබඳතා ක්‍රමයෙන් පිරිහෙමින් පවතින බවද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දේ. මම නව පාලනය බලයට පත් වීමත් සමග දකුණ කොරියාව සැලකිය යුතු ලෙස එක්සත් ජනපදයට සමීප වී ඇති අතර, උතුරු කොරියාව මොස්කව් පාලනය සමඟ නව ශක්තිමත් සබඳතාවයන් ගොඩ නගා ගෙන ඇත්තේ දකුණු කොරියාව සමග කිසිදු සංවාදයක් නොපවත්වන බව අවධාරණය කරමිනි.

මෙම නව චන්ද්‍රිකාව යොදා ගනිමින් සමස්ථ දකුණු කොරියාව ආවරණය වන සේ ඔත්තු බැලීමේ හැකියාවක් ලැබෙනු ඇති අතර මේ වන විට පැසිෆික් කලාපයේ GUAM දුපතේ රඳවා ඇති ඇමරිකන් හමුදා වල සංචරණයන් ද නිරීක්ෂණය කිරීමට හැකියාව උතුරු කොරියාවට හිමි වනු ඇත. තම චන්ද්‍රිකාව කක්ෂ ගත කර සුළු කාලයක් ගත වීමටත් පෙර එමගින් GUAM දූපතේ ඇමරිකන් හමුදා කඳවුරු වල ජයාරූප තමන් වෙත ලැබී ඇති බවත්, ඇන්ඩර්සන් හි ඇමරිකන් මිලිටරි ගුවන් තොටුපලත්, APRA වරාය ඇතුළු සියළු හමුදා කඳවුරු වල රූපසටහන් ද තම නායක KIMJONG-UN විසින් මේ වන විට සුපරීක්ෂා කාරීව පරීක්ෂා කරමින් සිටින බව උතුරු කොරියානු කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම පුවත් පත වන KCNA විසින් වාර්තා කර තිබිණි.
gossip lanka