gossip lanka

වතුරට වස දමා දොස්තර පවුලම මරා දැමීමට හැදූ සාත්තු සේවකයාට අධිකරණයෙන් දැඩි දඩුවමක්!

වසර 11ට පෙර සෙවණගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ නිල නිවසේ පිහිටි වතුර ටැංකියට වස මුසුකර වෛද්‍යවරයා, බිරිඳ හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තැත්කළ එම රෝහලේම සාත්තු සේවකයකුට රු. 20,000ක දඩයක් හා වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඉකුත් 21 දා සවස නියම කෙරුණි.

මෙලෙස සිර දඬුවම් නියම කෙරුණේ එවකට සෙවණගල රෝහලේ සාත්තු සේවකයකු ලෙස කටයුතු කළ සෙවණගල පදිංචි 53 හැවිරිදි නම්මුනි ආරච්චිගේ නිමල් රංජිත් නමැති අයෙකුටය.

2012.02.03 වැනි දින එවකට සෙවණගල ශ්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වරයා වශයෙන් සේවය කළ ජී. වී. චාමින්ද විතානගේ මහතාගේ නිල නිවසේ පිහිටි ජල ටැංකියට කිසියම් අයකු වස මුසුකර තමන් ඇතුළු පවුලේ උදවිය ඝාතනය කිරීමට තැත් කර ඇති බවට අදාළ වෛද්‍යවරයා විසින් සෙවණගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ සෙවණගල පොලිසිය සිද්ධියට සැකපිට සෙවනගල රෝහලේ සේවය කළ නිමල් රංජිත් නමැති සාත්තු සේවකයා හා එම රෝහලේම වෙනත් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇඹිළිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී පැවති මුලික නඩු විභාගයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු වෛද්‍ය වරයාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු නිදොස් කෙරුණු අතර සාත්තු සේවකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා 04ක් යටතේ ඇඹිළිපිටිය මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. නඩු විභාගයේදී රජයේ රස පරීක්ෂක කේ. ඒ. පී. බී. පෙරේරා මහතා සාක්ෂියට කැඳවා තිබූ අතර එහිදී ඔහු සාක්ෂි දෙමින් අධිකරණය හමුවේ පවසා තිබුණේ වල්නාශකයක් අදාළ ජල ටැංකියේ පිහිටි ජලයට මුසුව තිබූ බවයි.

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකාර සාත්තු සේවකයාට එරෙහිව නඟා තිබූ අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් විය. ඒ අනුව ඉදිරිපත් වූ සියලු සාක්ෂි සලකා බැලූ ඇඹිළිපිටිය මහාධිකරණ විනිසුරුවරයා චූදිතට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණු අතර එය වසර 10කින් සමගාමීව ගෙවී යායුතු බවටද බන්ධනාගාර අධිකාරී වරයාට නියම කෙරුණි. මීට අමතරව අදාළ චෝදනා සඳහා රුපියල් 5000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණි. නීතිපතිවරයා වෙනුවෙන් සෙවණගල පොලිසියේ පොලිස් සැරයන් (41742) ඇතුගල සමග රජයේ අධිනීතිඥ කලන කොතලාවල මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.
gossip lanka