gossip lanka

විශාල අකුණක් ගහයි – විදුලි පේනුවලින් ගින්දර පිට වෙයි : අනුප පුතා අවාසනාවන්ත ලෙස මිය යයි

“පුතා ඉස්තෝප්පුවේ සිට සාලයට දුවගෙන ඇවිත් මා ඉදිරියේම ඇදගෙන වැටුණා. පසුව මම ඔහුව ඔසවා සාලයේ පුටුවෙන් තබා මුහුණට වතුර ඉස්සා. එවිට පුතාගේ ඇඟ දරදඬු වී තිබුණා. ඔහුට සිහිය තිබුණේ නැතැයි අකුණුසර වැදී මිය ගිය 15 හැවිරිදි සිසුවාගේ මරණ පරීක්ෂණයේ දී ඔහුගේ පියා වන කුරුකුලසූරියගේ ප්‍රභාත් මධුරංග පෙරේරා (42) සාක්ෂි දෙමින් පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ කුරුකුලසූරියගේ අනූප ගිම්නාල් පෙරේරා නමැති ගල්පාත, බටගොඩ, ගහලවතුගොඩ, අංක 132 ලිපිනයේ පදිංචි පාසල් සිසුවෙකි.

හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ උසාවියේ දී පැවති සාක්ෂි විභාගයේදී තවදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේ ද පැවසීය.

“මම ව්‍යාපාරිකයෙක් ලෙස රැකියාව කරනවා. මියගොස් සිටින්නේ මගේ එකම පුතා. ඔහු හොරණ විද්‍යාරතන පිරිවෙණේ 10 වසරේ ඉගෙන ගන්නවා. මේ සිද්ධිය වූ පසුගිය 22 වැනි දින පුතා පාසල් ගොස් හවස 3.00ට පමණ නිවෙසට ආවා. දවල් ආහාර ගත්තා. ආහාර ගෙන සාමාන්‍ය පරිදි නිවෙසට වී සිටියා. මගේ පුතාට නිදන්ගත රෝග ආදිය කිසිවක් නැහැ.

මේ දිනවල දිනපතාම වාගේ හවස් කාලයේ අප ප්‍රදේශයට තද වැස්ස වහිනවා. එදින මමත්, මගේ බිරියත්, බිරියගේ අම්මාත්, පුතා සමඟ නිවෙසේ හිටියා. හවස 3. 30ට පමණ වන විට මහ වැස්සක් ඇදහැළෙන්න ගත්තා. ඒ වැස්ස දිගටම තිබුණා. පසුව අකුණු ගැසීමටත් පටන් ගත්තා. ටික වේලාවකින් විශාල අකුණක් ගැසුවා. එවිට ගෙදර විදුලි පේනුවලින් ගින්දර විසිවුණා. මම කාමරයේ ඇඳේ සිට සාලයට ආවා. බිරිය නාන කාමරයේ රෙදි හෝදමින් හිටියේ. එවිටම වාගේ බිරියත් සාලයට ආවා. පුතා පේන්න හිටියේ නෑ. පසුව එවිටම වාගේ පුතා ඉස්තෝප්පුවේ සිට සාලයට දුවගෙන ඇවිත් මා ඉදිරියේම ඇදගෙන වැටුණා. පසුව මම ඔහු ඔසවා සාලයේ පුටුවෙන් තබා මුහුණට වතුර ඉස්සා. එවිට පුතාගේ ඇඟ දරදඬු වී තිබුණා. ඔහුට සිහිය තිබුණේ නැහැ. පසුව අපි ඉක්මනින් ත්‍රිරෝද රථයකින් පුතාව ගල්පාත රෝහලට රැගෙන ආවා. එහිදී වෛද්‍යවරු ඔහු පරීක්ෂා කර බලා මියගොස් ඇති බව පැවසුවා.”

අඟුරුවාතොට පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් වන (83935) ක්‍රිෂාන්ත හා (100310) රුක්ෂාන් නිලධාරීන් විසින් සාක්ෂි විමසීම කළ අතර, හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි පනිත සෙනෙවිරත්න මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය කළේය.

ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් ගල්පාත හදිසි මරණ පරීක්ෂක දීපාල් ඖෂධරත්න මහතා විසින් මේ මරණය අකුණුසර වැදීම මත පෙනහළු අක්‍රීය වීම හේතුවෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කළේය.


gossip lanka