gossip lanka

'යාලුවුනේ මාස 3කට කලින්. දුර දිග ගියේ නෑ, එයා පොරොන්දුවක් වුණා. හැබැයි දවස් කීපයකට කලින් එකපාරම..': බෝඩිම් කාමරයක් තුළ ඝාතනය වූ 'අචිනි තුෂාරා'ගේ මරණයේ අබිරහස!

එක් ක්ෂණයන් ඇයට ඇගේ 'ජීවිතය' අහිමි කරනවා. ඒ ඈ 'ප්‍රාණ සමව' ආදරය කළ ඇගේ ම පෙම්වතා විසින්.

'හීන' අතෑරදා ඒ හදිසියේ නික්ම ගිය 'රෝස කුසුම' බදා වැළඳගත්ත 'උන්' ඈට සමුදෙන්න අපහසුවෙන් 'උන්'වම රවට ගත්තා.

මේ කතාව 'ඇසූ' බොහෝමයක් 'උන්' සත්තකින්ම ඇස්වල කඳුළු පුරෝගත්තා.

'අචිනි තු‍ෂාර විජේතුංග' (මේ ඇගේ මරණය ගැන මව්බිම පුවත්පතේ පළව තිබූ ලිපියක්...)

දිවයින පුරා සිදුවන කාන්තා ඝාතනවල කිසියම් වර්ධනයක් පෙන්නුම් කරන අතර එහි ආසන්නතම සිදුවීම පසුගිය සතියේ හෝමාගම පොලිස් වසමෙන් වාර්තා විය. ඝාතනයට ලක්ව තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කළ අචිනි තුෂාරා නමැත්තියක්ය. ඇය මියයන විට 31 වැනි වියේ පසුවූ අතර ගැටහැත්ත, අමුපිටිය ප්‍රදේශයේ ඇය පදිංචිව සිටියාය.

ඇය මරා දමා තිබුණේ ඉතා අමානුෂික අන්දමිනි. ඝාතකයා විසින් තියුණු ආයුධයකින් අචිනිගේ දෙනෙත්වලට කිහිප වතාවක්ම ඇන තිබුණේය. පසුව ඇගේ ගෙල කපා මරා දමා තිබිණි.

අචිනිට මෙවන් ඉරණමක් අත්වූයේ කෙසේද. එය ඇත්තෙන්ම තවමත් අබිරහසක්ය. එහෙත් ඇගේ ඝාතනය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.ඔහු මේ වන විට සිටින්නේ පොලිස් ආරක්ෂාව යටතේ අත්අඩංගුවේය. ඇය ඝාතනය කිරීම ඇඟ ලොමුදැහැ ගැන්වූ සිද්ධියක්ය.

හිරුණි ශානිකා අචිනිගේ සොහොයුරියයි. ඇය සිය නැඟණියට ඉමහත් ආදරයක් දැක්වූවාය. අචිනිගේ වියෝවෙන් ඇය දැඩි ලෙස කම්පාවට පත්ව සිටියාය.

අචිනි කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවයට යන්නේ මීට වසර තුනක සිටය. ඇගේ පෙම්වතා සේවය කර ඇත්තේද එම අමාත්‍යාංශයේය. අචිනි ඔහු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකර ගත්තේ මීට මාස තුනකට පමණ පෙරය. එය එතරම් දුරදිග නොගියද අචිනි ඔහු හා විවාහ වීමට පොරොන්දුව සිටියාය. එහෙත් මීට දින කිහිපයක සිට අචිනි ඊට කිසියම් අකැමැත්තක් දක්වා ඇති බව විමර්ශනයේදී හෙළි විය.

අචිනිගේ පෙම්වතා නතරව සිටින්නේ හෝමාගම උසාවිය පාරේ බෝඩිමකය. ඔහු එම බෝඩිමට එන්නේ මීට මාස එක හමාරකට පෙරය. ඔහු බෝඩිමේ හිමිකාරියට පවසා තිබුණේ තමා සිය මව සමඟ එහි නතරව සිටින බවය. ඔහුද කෘෂිකර්මයේ රැකියාව කරන බවද නිවෙස් හිමිකාරිය දැන සිටියාය.

අචිනි ගැටහැත්ත නිවෙසේ රැඳී සිටින්නේ ඇගේ වැඩිමහල් සොහොයුරිය සමඟය. සිද්ධිය වූ දා ඇය සුපුරුදු පරිදි සේවය නිම වී නිවෙසට පැමිණියේ නැත. වෙනදාට හයට, හයයි කාලට පමණ නිවෙසට පැමිණියද අචිනි එදා ඒ වෙලාවට ගෙදර ආවේ නැත. හිරුණි ඇය එනතුරු පෙරමඟ බලා සිටියාය.

නංගිගේ ජංගම දුරකථනයට ඇමතුම් ගත්තද ඊට ප්‍රතිචාරයක් නොවීය. අවසානයේ ඇය නංගිගේ පෙම්වතාට ඇමතුමක් ගත්තාය. ඒ, අචිනි ගැන විමසීමටය.

“අචිනි බස් එකේ නඟින්න පොඩ්ඩක් පරක්කු වුණා. මම එයාව කැබ් එකක නග්ගලා ගෙදර එව්වා.”

පෙම්වතා අචිනිගේ සොහොයුරියට එසේ කීවාය. හිරුණි ඔහුගේ කතාව විශ්වාස කරමින් අචිනි ගෙදරට එනතුරු දෑස් දල්වාගෙන බලා සිටියාය. එහෙත් අචිනි ගෙදර ආවේ නැත.

මේ අතර අචිනිගේ පෙම්වතා උදරයේ ආබාධයක් යැයි පවසා රෝගාතුරව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් වී තිබුණේය. එහෙත් මේ බව අචිනිගේ සොහොයුරිය දැන නොසිටියාය. වෛද්‍යවරුන් ඔහුගෙන් රෝගී තත්ත්වය විමසද්දී අනාවරණය වූයේ වේදනානාශක පෙති වර්ගයක් ඔහු පානය කර ඇති බවය. ඒ නිසා ඔහු සිහිමඳ ගතියකින් පසු වූ අතර නිතර නිතර ‘අචිනි’ _ ‘අචිනි’ යැයි කියමින් මුමුනන්නටද විය. මෙය වෛද්‍යවරුන්ටද ප්‍රහේලිකාවක් විය. ඔහු මෙසේ රෝහල්ගතවීම රෝහල් පොලිසිය මඟින් කළුතර දකුණ පොලිසියටද දැනුම් දී තිබිණි.

පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා කළුතර දකුණ පොලිසියේ නිලධාරියෙක් කළුතර නාගොඩ රෝහලට පැමිණ රෝගියාගෙන් ප්‍රශ්න කරන්නට වූයේ වේදනානාශක බී දිවි නසා ගන්නට උත්සාහ කළේ මන්දැයි දැන ගැනීමටය. එහෙත් රෝගියා ඊට සාර්ථක පිළිතුරක් දුන්නේ නැත.

පසුව එම නිලධාරියා රෝගියා පරීක්ෂාවට ලක් කළේය. එහිදී ඔහුගේ ඇඳුම්වල ලේ පැල්ලම් කිහිපයක් නිලධාරියාට නිරීක්ෂණය විය. පසුව ඔහුගේ කලිසම් සාක්කුවේ තිබූ ලේන්සුව ගෙන පරීක්ෂා කිරීමේදී ඉන් රුධිරය පිස දමා ඇති බවට සලකුණුද දකින්නට ලැබිණි.

පසුව එම නිලධාරියා රෝගියාගෙන් එම රුධිර පැල්ලම් ගැන විමසුවද හරි තොරතුරක් ඔහු නිලධාරියාට පැවසුවේ නැත. පසුව නිලධාරියා අචිනිගේ සොහොයුරියට ඇමතුමක් දී “ලක්ෂාන් කියලා කෙනෙක් පෙති වගයක් බීලා හොස්පිට්ල් එකට ඇඩ්මිට් කරලා තියෙනවා. ඔයාලා එයා ගැන දන්නවාද” යැයි විමසුවේය. හිරුණි ඇය දන්නා දේවල් නිලධාරියාට කීවාය. පසුව හිරුණි ඇතුළු ඥාතීන් ත්‍රීවීල් රථයකින් කළුතර නාගොඩ රෝහලට ගියහ.

“නංගි යාළු වෙලා හිටිය මල්ලි කෙනෙක් කියලා තිබුණා නංගිගේ බෙල්ල කැපුවා ගියොත් බේරගන්න පුළුවන් වෙයි කියලා. අපි ඉක්මනට ඒ මල්ලිගේ බෝඩිමට ගියා. එතකොට තමයි දැනගත්තේ නංගි ඊට කලින් දා බෙල්ල කපලා මරලා දාලා කියලා. නංගිට වුණු දේ අපිට හිතාගන්නවත් බැහැ. දැන් මම අම්මටයි තාත්තටයි මොනවද කියන්නේ.” අචිනිගේ සොහොයුරිය හැඬු­ කඳුළෙන් පවසන්නීය.

පොලිසියෙන් ලැබුණු එම පණිවුඩයත් සමඟ අචිනිගේ සොහොයුරිය ඇතුළු ඥාතීන් පෙම්වතා නතරව සිටින හෝමාගම උසාවිය පාරේ බෝඩිමට ගොස් පරීක්ෂා කිරීමේදී අචිනිගේ සිරුර දැකගත හැකි විය. පසුව සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියට පැමිණිල්ලක් සිදුකෙරුණු අතර ඒ අනුව විමර්ශනයක් ඇරැඹිණි.

පසුව හෝමාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් උසාවිය පාරේ සැකකරු නතරව සිටි බෝඩිමට ගොස් විමර්ශන ඇරැඹූ අතර මරා දැමූ තරුණියගේ සිරුර ආසන්නයේ වැටී තිබූ තියුණු ආයුධයක්ද නිලධාරීන් සොයා ගත්තේය. එය ඇය ඝාතනය කිරීමට උපයෝගී කරගත් ආයුධය බව පොලිසියේ සැකය විය.

පසුව සැකකරු මාස එකහමාරකට පෙර කුලී පදනම මත එම නිවෙසට පැමිණ පහත මාලයේ කාමරයක රැඳී සිටි බව එහිදී නිලධාරීන් දැන ගත්තේය. එහෙත් ඔහු එම කුලී කාමරයෙන් පිටව කළුතර ප්‍රදේශයේ කුලී කාමරයකට යන බවටද ඔහු හිමිකාරියටද පවසා තිබූ බවද හෙළි විය.

ඔය ළමයා අම්මා එක්ක ඉන්නවයි කියලයි තිබුණේ. ඒ වුණාට අම්මා හිටියේ දවස් කිහිපයක් විතරයි. එයා වැඩි කතා කරන කෙනෙක් නෙමෙයි.එදා මහ වැස්සක් තිබුණා. ගොරව ගොරව විදුලි කොටනවා. ඒ අතරේ මම දැක්කා ඔය ළමයගේ අම්මා එනවා. එයා උඩ තට්ටුවේ කාමරයට ගියාට පස්සේ ඔය ළමයයි ගෑනු ළමයයි එනවා දැක්කා. උඩට ගිහින් විනාඩි දහයක් ගියේ නෑ අම්මා එළියට යනවා දැක්කා. ටික වේලාවකට පස්සේ පිරිමි ළමයත් එළියට ගියා. ඒත් ගෑනු ළමයා එළියට ගිය බවක් දැක්කේ නැහැ.මම ‍ෙදාරකඩ හිටියේ. මම හිතුවේ ගෑනු ළමයත් එළියට යන්න ඇති කියලා. මම එදා තමයි ඒ ගෑනු ළමයා ඒ කාමරයට එනවා දැක්කේ. ඔය පිරිමි ළමයා උදේ පාන්දර එනවා. රෑ වෙලා එනවා. කා එක්කවත් කතා කරන්නේ නැහැ. කාමරය කුලියට අරන් ආවාට පස්සේ තුන් හතර ගමනකට වඩා දැකලා නැහැ.ඔය වෙලාවේ ඇඳක් එහාට මෙහාට අදිනවා වාගේ සද්දයකුත් ඇහුණා. එයාටත් බෝඩිමෙන් යන්න කියලා තිබුණු නිසා මම හිතුවා බෝඩිමෙන් යන්න බඩු අදිනවා වෙන්න ඇති කියලා.”අචිනි මරා දැමූ නිවෙසේ පහත මාලයේ කුලී පදනම මත සිටින කාන්තාවක් එසේ අදහස් ප්‍රකාශ කර තිබුණාය.

පසුව හෝමාගම පොලිසියේ නිලධාරීන් සැකකරු සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසියෙන් තොරතුරු විමසා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව තහවුරු කරගත් අතර ඉන්පසුව සැකකරුට පොලිසියේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ගන්නා බවට දැනගත්තේය. සැකකරු 32 හැවිරිදි අයකු වූ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේම රැකියාවේ නියුතු උපාධිධාරියෙක් විය.

සිද්ධිය වූ හෝමාගම උසාවිය පාරේ සැකකරුගේ බෝඩිමට පැමිණි මහෙස්ත්‍රාත්වරයා මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු අචිනිගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙස නියෝග කළේය.

පසුව ඇගේ සිරුර සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ තියුණු ආයුධයකින් කිහිප වතාවක් ඇගේ දෑස්වලට ඇනීමෙන් පසු ගෙල කපා ඇය මරා දමා ඇති බවය. තියුණු ආයුධ ප්‍රහාර හේතුවෙන් ශරීරයෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසා ඇය මරණයට පත්ව ඇති බවත් ඇය අතවරයට හෝ දූෂණයට ලක්ව නොමැති බවත් හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය ධම්මිලුවිස් හේවා මහත්මිය නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී තිබිණි. සැකකරු අචිනි ඝාතනය කිරීම සඳහා යොදාගත් බව කියන පිහිය සෙන්ටිමීටර් 27ක් පමණ දිගැති එකක් බවද පොලිසිය කීය.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා හෝමාගම පොලිසියට භාරදීමට නියමිතව තිබූ අතර ඉන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබිණි.

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයතිස්ස මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන ඇරැඹුණු අතර කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධම්මික ද සිල්වා ඇතුළු කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

කීර්ති මෙන්ඩිස්
gossip lanka