gossip lanka

25 හැවිරිදි බිරිය සැමියා එක්ක එකතු වී ‘එක්ස් බෝයි’ ට ගෙදරට එන්න කියා සුද්දයක් දෙයි!

තරුණයෙකුව නිවසට ගෙන්වාගෙන සිරකර කප්පම් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අඹුසැමි යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ, හල්තොට තලාව ප්‍රදේශයේ පදිංචි යුවළකි.

සැකකාර බිරිඳගේ වයස අවුරුදු 25ක් වන අතර සැකකාර සැමියාගේ වයස අවුරුදු 30කි.

සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ 25හැවිරිදි තරුණයා සහ අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කාන්තාව මීට වසර හතරකට පමණ පෙර පෙම් සම්බන්ධතාවයක් පවත්වා ඇත.

එම කාලසීමාවේ ඔවුන් කැලණිය මාබිම ප්‍රදේශයේ වාසය කර ඇත.

එම කාන්තාව සැකකාර පිරිමි පුද්ගලයා විවාහ වීමත් සමග මෙම තරුණයාව මගහැර ගොස් තිබේ.

සැකකාර කාන්තාව විසින් මීට දින කිහිපයකට පෙර දුරකථන ඇමතුමක් ගෙන අදාළ තරුණයාට සිය නිවසට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

තමන් විවාහ වී සිටින බවත් සිය සැමියා විදේශගතව සිටින බවත් පවසමින් අදාළ කාන්තාව තරුණයාට එම ආරාධනාව කර තිබේ.

ඒ ඔහුව බැලීමට කැමැත්තෙන් සිටින බව පවසමිනි.

හැටන් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා එම ආරාධනාව පිළිගෙන පසුගිය දිනක හොරණ ප්‍රදේශයට පැමිණ ඇත.

එතැන් සිට සැකකාරියගේ උපදෙස් මත එම තරුණයා ත්‍රිරෝද රථයක නැගී ඇයගේ නිවස ආසන්නයට ගොස් සිට තිබේ.

පසුව රාත්‍රිය උදාවීමත් සමග සැකකාර කාන්තාව පැමිණ එම තරුණයා ඇයගේ නිවස වෙත කැඳවාගෙන ගොස් ඇත.

අනතුරුව එම කාන්තාව තමන්ට කාමරයකට වී සිටින ලෙසත් ඇය වටපිටාව සෝදිසි කර නැවත පැමිණෙන බවත් පවසා නිවසින් පිටව ගිය බව තරුණයා පවසා තිබේ.

පසුව නිවස තුළ සැඟව සිටි ඇයගේ සැමියා සහ වෙනත් අයෙකු එක්වරම කඩාවැදී තමන්ට පහරදුන් බව තරුණයා පවසා ඇත.

එම ස්ථානයෙන් තරුණයාව මුදාහැරීමට රුපියල් 50,000 ක කප්පම් මුදලක් ඔවුන් ඉල්ලා තිබේ.

එහිදී තරුණයා තමන් සතුව රුපියල් 25,000ක මුදලක් තිබූ බැංකුවේ ATM කාඩ්පත සහ එහි රහස් අංකය ඔවුන් වෙත ලබාදීමෙන් අනතුරුව සැකකාර සැමියා බැංකුව වෙත ගොස් ඇත.

එම අවස්ථාවේ සැකකාර කාන්තාව සහ අනෙක් පුද්ගලයා තමන්ට නිවසින් පිටවීමට නොදී තමන් එහි බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බවද තරුණයා සඳහන් කර තිබේ.

පසුව ඉතිරි රුපියල් 25,000 මුදල වෙනුවට තමන්ගේ ජංගම දුරකථනයද ඔවුන් ලබාගත් බවත් තරුණයා පවසා තිබේ.

තමන් එම දුරකථනය රුපියල් 25000කට ඔවුන්ට උකස් කළ බවත් දින 14ක් ඇතුළතදී එය බේරාගැනීමට අපොහොසත් වුවහොත් එහි අයිතිය හිමිවන බවටත් සඳහන් ව්‍යාජ ලිපියක් එහිදී සැකකරුවන් විසින් තමන් ලවා බලහත්කාරයෙන් ලියාගත් බවත් තරුණයා සඳහන් කරයි.

එම නිවස තුළ තරුණයෙකුව සිරකරගෙන පහරදෙන බවට පොලීසියට ලද තොරතුරකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ මිල්ලනිය පොලීසිය මෙලෙස සැකකාර අඹුසැමි යුවල අත්අඩංගුවට ගෙන තිබේ.

පහරකෑම හේතුවෙන් තුවාල ලබා සිටි තරුණයා ප්‍රතිකාර සඳහා හොරණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

එහිදී සැකකරුවන් විසින් ලබාගෙන තිබූ කප්පම් මුදලින් රුපියල් 24,500ක මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය සැකකරුවන් සන්තකයේ තිබී පොලීසිය සොයාගෙන ඇත.

ඊට අමතරව තරුණයාට පහරදීමට යොදාගත් උදළු මිටක්, දෙකට වෙන් වුණු තිරරෙදි පොල්ලක්, කොසු මිටක්, ඉදල් මිටක් සහ කොස් ලී පටියක් පොලිසිය විසින් සොයාගෙන ඇත

සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවෙකු සොයා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

සැකකාර අඹුසැමි යුවළ හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මිල්ලනිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
gossip lanka