gossip lanka

අනියම් ප්‍රේමය සතියක් ගොළු වූ බව කියා සිය දිවි නසා ගන්න ගිහින්… දුරකථන ඇමතුමක් අරන් දී පොලිසිය දිවි නසාගන්න ගිය පුද්ගලයා ගහෙන් බස්සවා ගනී!

විදේශගතව සිටින  අනියම් බිරිඳ සතියක පමණ  කාලයක සිට තමන් සමග කතා බස්නොකළ බව පවසමින් අඩි 40ක පමණ උස  අඹ ගසකට නැඟ සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ පුද්ගලයකුට වට්ස්ඇප් මාරගයෙන් ඔහුගේ අනියම් බිරියට කතා කරන්නට සලස්වා ඔහුව ගසින් බස්සා ගැනීමට  යක්කලමුල්ල පොලිසිය කටයුතු කර ඇත.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අක්මීමන හියාරේ ප්‍රදේශයේ පුද්ගලයෙක් ගෘහ සේවිකාවක් ලෙස කුවේට් රාජ්‍යයේ රැකියාව කරන තැනැත්තියක සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වමින් සිට ඇත.  දෙදෙනා අතර ඇති වූ අමනාපයක් හේතුවෙන්  සතියක පමණ කාලයක සිට ඔහු සමග සම්බන්ධතාවය පැවැත් වූ කාන්තාව  කතා බස් කිරීම නවත්වා තිබේ.

මේ නිසා යක්කලමුල්ල තලංගහ වත්ත නාකියාදෙණිය ප්‍රදේශයේ වතු නිවාස පෙළක්  අසල ඇති  අඩි හතළිහක් පමණ උසැති අඹ ගසකට කඹයක් ද රැගෙන නැග එහි අත්තක් මත වාඩි වී සියදිවි හානි කර ගන්නා බවට ප්‍රකාශ කොට තිබේ. ඔහු පවසා ඇත්තේ ඔහු පෙම් කළ කාන්තාව ඔහුට කතා නොකරන්නේ නම් ජීවත් වි පලක් නැති බවය.

මෙම සිද්ධිය  යක්කලමුල්ල පොලිසියට වාර්තා වීමත් සමග යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  චන්දන හේවගේ   එම ස්ථානයට ගොස් ඇත. 
 
තත්ත්වය විමසා බලා ඔහු විසින් සිය දිවි නසා ගැනීමට ගිය පුද්ගලයාට  විදේශගතව සිටින තැනැත්තිය  වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ    සම්බන්ධකර දි  ගසින් බිමට බස්වා ආරක්ෂාව සදහා පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබේ.

මෙම පුද්ගලයාගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට මනෝ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
gossip lanka