gossip lanka

කෑම කාපු හෝටලේ බිල එද්දී පපුවේ අමාරුව හැදිලා – කලක් තිස්සේ කරගෙන ආ වංචාව මාට්ටු

අවන්හල්වලින් ආහාර ලබාගත් පසු ඒ සඳහා බිල්පත් නොගෙවීමට කූඨ උපක්‍රමයක් අනුගමනය කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

50 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙක් වන මෙම පුද්ගලයා ස්පාඤ්ඤයේ බ්ලැන්කා ප්‍රදේශයේ ජිවත්වන අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ස්පාඤ්ඤයේ ඇති ප්‍රසිද්ධ අවන්හල් වෙත ගොස් ඒවායෙන් ආහාර ලබාගැනීමට හුරුව තිබෙනවා.

ආහාර ලබා ගැනීමෙන් පසු ඒ සඳහා අවන්හල මඟින් නිකුත් කරනු ලබන බිල ඔහු අතට පත්වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා හදිසි හෘදයාබාධ තත්ත්වයක් පෙන්වා බිම ඇද වැටෙන බවයි වාර්තා වන්නේ.

මෙය බිල්පත් නොගෙවීමට ඔහු විසින් යොදාගත් කූඨ උපක්‍රමයක් බවට පසුව අනාවරණය වී තිබෙනවා.

මොහු විසින් ස්පාඤ්ඤයේ ඇති ප්‍රසිද්ධ අවන්හල් විස්සකට පමණ මෙම වංචාව සිදුකර ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මොහු අවසන්වරට ආහාර ලබාගත් අවන්හල තුළ දී ද මෙම ව්‍යාජ රංගනය සිදුකර ඇති අතර, එය බොරුවක් බවට දැනගත් එහි සේවකයින් ඔහුව පොලිසියට හසුකර දීමට කටයුතු කර තිබෙනවා.

අනතුරු මෙම පුද්ගලයාට දඩ මුදලක් ගෙවීමට අධිකරණයෙන් නියෝග කර ඇති අතර, එහිදී එය ගෙවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු දින 42ක් සිරගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

කෙසේ වෙතත්, ආපනශාලා හිමියන් ඔහුව වසර 02ක කාලයක් සිරගත කළ හැකි ඒකාබද්ධ පැමිණිල්ලක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.
 
gossip lanka