gossip lanka

පිටකෝට්ටේ පිහිටි පියංකරගේ නිවසේ පැවති රහස් හමුවේදී නව සන්ධානයේ ඇමතිවරුන් රාජපක්ෂවරු ගැන තීන්දුවක් ගනී!

නව සන්ධානයේ දේශපාලන කටයුතු සහ ඉදිරි කටයුතු සාකච්චා කිරීම සඳහා රහසිගත සාකච්චාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතාගේ පිටකෝට්ටේ,එපිටමුල්ල පාරේ පිහිටි නිවසේදී පැවැත්විණි.

මේ සඳහා අනුර යාපා,දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් සහ රජයේ අමාත්‍ය තනතුරු දරණ ප්‍රබල අමාත්‍යවරුන් හත්දෙනෙකු සහ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් සහබාගී වී තිබේ.

“දැන් පොහොට්ටුවෙන් ලොකු කතාවක් යවන්න හදනවා නව සන්ධානයත් බැසිල්ගේ වැඩක් කියලා”ජේෂ්ඨ අමාත්‍යවරයෙකු කතාවට මුල පිරුවේය.

“නව සන්ධානයේ ඉන්නේ බැසිල්ගේ දේශපාලනය එපා වෙච්ච මිනිස්සු,දේශපාලනයේ නොකිලිටි නොකැළැල් මිනිස්සු“පියංකර කිවේය.

“අපි ජනතාවට කියන්න ඕන මෙතන දෙපැත්තේ කකුල තියාගෙන ඉන්න මිනිස්සු නෑ කියල”නලින් ප්‍රනාන්දු කිවේය.
“ඔව්..අපේ කණ්ඩායමේ ඉන්න කිසිම කෙනෙක් ආයේ රාජපක්ෂ කඳවුරේ කිසිම කෙනෙක් එක්ක දේශපාලනය කරන්නේ නෑ..ඒක ඉර හඳ වගේ විශ්වාසයි,රාජපක්ෂලාගේ දේශපාලනය එපා කියල තමයි මම අයින් උනේ.ලන්සත් එහෙමයි“පියංකර ඉතිහාසය මතක් කලේ තරමක් කේන්තියෙනි

“ජනාධිපතුමාගේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නත් පොහොට්ටුවේ කට්ටිය දඟලනවා“අමාත්‍යවරයෙකු කිවේය.

“ඔව් ඔව්..මෙච්චර කල් කිවුවේ 13 ප්ලස් කියලා දැන් සාගර කියනවා 13 ට සම්පුර්ණයෙන්ම විරුද්ධයි බලය බෙදීමක් කරනවට විරුද්ධයි කියලා,මොනවද මේ හැරෙන හැරෙන පැත්තට කරන කතා.“අනුර යාපා කිවේය

“කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කරන කතානේ මේවා,“නලින් ප්‍රනාන්දු ඇමතිවරයා කිවේ සිනාසෙමිනි.

මේ අතර නව සන්ධානය ඉදිරි කාලය තුල රාජපක්ෂ කඳවුර පිළිබඳව කලකිරුණු මන්ත්‍රීවරුන්,හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්,පළාත් පාලන ආයතන ප්‍රධානින් සමග සාකච්චා කිරීමටද කතිකා කරගත්හ.නව සන්ධානයයේ කටයුතු සංවිධානය කිරීම සඳහා අවශ්‍ය පුර්ණ සහාය ලබා දෙන බවත් අවශ්‍ය තීරණාත්මක මොහොතේදී සන්ධානයට එකතුවෙන බවත් මෙහිදී තරුණ අමාත්‍යවරයෙකු කිවේය.

එතෙක් දිස්ත්‍රික්කයේ කටයුතුවලදී තමාගේ තැන ඉතුරු කර තබන ලෙසද ඔහු මෙහිදී පවසා ඇත.

පොහොට්ටුවේ බලපෑම් නිසා මෙම සාකච්චා ඉතාමත් රහසිගතව පැවැත්වීමටද මෙහිදී තීරණය කෙරිණි.

දේශපාලන වාර්තාකරු
gossip lanka