gossip lanka

ෆාමසියකින් දුන් වැරදි බේතකින් රෝගී බිරිය මියගියැයි සැමියාගෙන් පොලිසියට පැමිණිල්ලක්!

අධි රුධිර පීඩනයෙන් සහ දියවැඩියා රෝගයෙන් කලක් තිස්සේ පීඩා විඳී වයෝවෘද්ධ කාන්තාවකට ඉංගිරිය නගරයේ ඖෂධ හලක් මගින් පිළිකා රෝගීන්ට දෙන ඖෂධයක් ලබා දීම හේතුවෙන් ඇයගේ මරණය සිදු වී ඇති බව පවසමින් සැමියා පැමිණිල්ලක් කර ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ, ඉංගිරිය ඉහළ ඌරුගල පදිංචිව සිටි පී.එම්. සෝමවතී නමැති 62 හැවිරිදි තිදරු මවකි.

මියගිය කාන්තාවගේ සැමියා වන ඩබ්ලිව්. ලීලාරත්න මහතා සිය බිරියගේ රෝග විනිශ්චය පොත රැගෙන හොරණ මූලික රෝහලේ සායනයට ඉකුත් 31 වැනිදා ගොස්, වෛද්‍යවරයකු හමු වී, ඇයට අවශ්‍ය ඖෂධ එම රෝග විනිශ්චය පොතේ සටහන් කරගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි. රෝග විනිශ්චය පොතේ සටහන් කරන ලද ඖෂධ තුනක් රෝහලේ නොවීම හේතුවෙන් ඔහු එම ඖෂධ තුන අතේ තිබෙන මුදලට සරිලන ලෙස ඉංගිරිය නගරයේ ඖෂධ හලකින් මිලදී ගෙනඅ ඇතැයි කියති.

එම ඖෂධ සතියක් පමණ පානය කිරීමේදී මියගිය කාන්තාවට හුස්ම ගැනීමේ අපහසුතාවක්,ශරීරයේ වේදනාව කල්පනාව අඩු වීම, බඩ බුරුල් කර යාම, මුත්‍රා යාම අඩු වීම, පාදවල බිබිලි මෙන්ම මුඛයේ බිබිලි හටගැනීම ආදී රෝග රැසක් මතුවන්නට වූයෙන්, ඇය ඉංගිරිය දිසා රෝහලට යොමු කර ඇත.

දින දෙකක පමණ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබුවද සුවයක් නොවී, අසාධ්‍ය තත්ත්වයට පත්වීමත් සමගම රෝහල් බලධාරීන් ඇය ගිලන් රථයකින් හොරණ මූලික රෝහලට යොමු කිරීමට පියවර ගෙන ඇත. එහිදී පවුලේ ඥාතීන් ඇයගේ රෝග විනිශ්චය පොත සහ ලබා දුන් ඖෂධ රෝහලට රැගෙන ගොස් ඇති අතර,

ඇය රෝහලේ වාට්ටු අංක 8හි ප්‍රතිකාර ලබමින් සිටියදී, හෙදියක ඇය ලබාගත් ඖෂධ පරීක්ෂා කර ඇත. ඇය පානය කර තිබූ එක් ඖෂධයක් පිළිකා රෝගීන්ට දෙන ඖෂධයක් බව හෙදිය ඔවුන්ට දැනුම් දී ඇතැයි කියති.

එම ඖෂධය පිළිකා රෝගීන්ට ද ලබා දෙන්නේ සතියකට එක් දිනක් පමණක් බවත්  එකී ඖඖෂධය  දිනපතාම ගන්නා ලෙස පිළිකා ඖෂධ බහා තිබූ පැකැට්ටුවේ සටහන් යොදා ලබා දී ඇති බව ද දැනගන්නට ඇත.ඒ හේතුවෙන් රෝගී කාන්තාවට එම ඖෂධය අධි මාත්‍රාවක් ලැබී ඇතැයි පැවැසේ. ඊට අමතරව එම ඖෂධය පිළිකා රෝගීන්ට අමතරව, ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග තිබෙන පුද්ගලයන්ට ද ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු කර තබා ගැනීම සඳහා ලබා දෙන ඖෂධයක් ලෙස ද භාවිත කරන බවට අනාවරණය වී තිබිණි. මෙම කාන්තාව ඉකුත් 12 වැනිදා සිට පෙරේදා (19 වැනිදා) අලුයම දක්වා දින 7ක කාලයක් ප්‍රතිකාර ලැබුව ද ඇයගේ රෝගී තත්ත්වය කිසිදු අඩුවක් නොවී, ඇය පෙරේදා (19 වැනිදා) අලුයම මියගොස් ඇත.

මියගිය කාන්තාවගේ සැමියා වන ඩබ්ලිව්. ලීලාරත්න නමැති අය ඇයගේ රෝග විනිශ්චය පොත සහ ඉංගිරිය නගරයේ ඖෂධ හලින් දුන් පිළිකා රෝගීන්ට දෙන ඖෂධය ද රැගෙන ඉංගිරිය පොලීසියට පැමිණ තම බිරිඳගේ මරණය සිදු වූයේ, ඉංගිරිය නගරයේ ඖෂධ හලකින් වගකීමෙන් තොරව සහ නොසැලිකිලිමත් අයුරින් නිකුත් කළ ඖෂධයක් හේතුවෙන් බැවින්, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර, නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පැමිණිල්ලක් කළ බව පොලීසිය සඳහන් කරයි. එම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

නිමාලි කහවල
gossip lanka