gossip lanka

සියල්ල හරි යැයි සිතා ඉන්නා පින්වතුන්ගේ දැනගැනීම පිණිසයි… ඔය ලෙවකමින් ඉන්නා සීනි තැවරූ කාල බෝම්බය පිපිරෙන්න ලඟයි...

සීටී ස්කෑන් යන්ත්‍ර 44 න් 12ක් අක්‍රීයයි… තවත් යන්ත්‍ර කීපයක්  ක්‍රියාත්මක වෙන්නේ දොෂ සහිතව….

MRI යන්ත්‍ර 13 න් 3ක් කොට උඩ…

Cath Lab 14 න් 2 ක් වැඩ නෑ..

ලීනියර් ඇක්සලේටර් 10 න් 3ක් ක්‍රියා විරහිතයි..

පෙට් ස්කෑන් 2න්1ක් අක්‍රීයයි…

පැරසිටමෝල් පෙත්තක්වත් නැති රෝහල් අම්බලම් සේය.   නඩත්තු කරගත නොහැකි උපකරණ හා සේවා බිඳ වැටෙමින් තිබේ. ඒ අතර පණ අදිමින් ජීවිතය යදින්නේකුගේ ඉණ ඉහ අතගාගන්නවාක් බඳු නින්දිත හොරකම්ය. පිළිකා රෝගීන්ගේ එන්නතෙනුත් ගසා කමින් ඇත.
එවන් වටපිටාවක රෝහල්වල බිඳ වැටෙන වැදගත්ම සේවාවන් පිළිබඳ යථාර්ථය හෙළි වෙමින් තිබේ.

රජයේ රෝහල් පද්ධතිය සතුව පවතින බොහොමයක් යන්ත්‍රසූත්‍ර බිදවැටීම් සිදුවෙමිනි.

පිළිකා ප්‍රතිකාර යන්ත්‍රවල තත්ත්වය

ලීනියර් ඇක්සලේටර් (Linear Accelerator) යනු පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට තිබෙන නවීනතම ප්‍රතිකාර ක්‍රමයකි

එමගින් යාබද නිරෝගී සෛලවලට හානියක් නොවී පිළිකා රෝග සෛල විනාශ කිරීමේ හැකියාව පවතී.
 
රජයේ රෝහල් පද්ධතිය සතුව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර 10 තිබෙන අතර ඉන් යන්ත්‍ර පහක් අපේක්ෂා රෝහලේ ද, යන්ත්‍ර දෙකක් මහනුවර ජාතික රෝහලේ ද, මඩකලපුව යාපනය කරාපිටිය යන රෝහල් වල යන්ත්‍ර එක බැගින් ද ස්ථාපනය කර ඇත.

මහනුවර ජාතික රෝහලේ තිබෙන යන්ත්‍ර දෙක පිහිටි ගොඩනැගිල්ලෙහි සිසිලන පද්ධතිය බිඳවැටීම හේතුවෙන් 2022 නොවැම්බර් 14 දා සිට එම  යන්ත්‍ර දෙක ක්‍රියාත්මක නොවේ.

ජුනි මස 22 වනදා සිට අපේක්ෂා රෝහලේ තිබෙන යන්ත්‍ර පහෙන් එක් යන්ත්‍රයක් බිඳ වැටුණු අතර  එම යන්ත්‍රය පිළිකා රෝගයෙන් පෙළෙන කුඩා දරුවන් සඳහා සඳහා විකිරණ ප්‍රතිකාර කිරීමට   භාවිතා කරනු ලැබූ යන්ත්‍රයයි.

එම යන්ත්‍රය මගින් දිනකට කුඩා ළමුන් 10 සිට 15 දක්වා ප්‍රමාණයකට ප්‍රතිකාර සිදු කළ අතර දැනට එම කුඩා දරුවන්ට ප්‍රතිකාර කිරීම නතර වී ඇත. එයට හේතුව වී ඇත්තේ එම යන්ත්‍රය යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් ගත වීම සිදු අදාල සේවා සපයන සමාගම වගකීමෙන් බැහැර වීමයි.
 
පුද්ගලික අංශයෙන් මෙම ප්‍රතිකාරයක් කර ගැනීම සඳහා ලක්ෂ පහේ සිට 15 ක මුදලක් වැය වේ.

සීටී ස්කෑන් යන්ත්‍ර

රජයේ රෝහල් සතුව  සීටී ස්කෑන් යන්ත්‍ර  44 තිබෙන අතර ඉන් යන්ත්‍ර 12ක් මේ වන විට බිඳ වැටී ඇත

කරාපිටිය ශික්ෂණ රෝහල, හම්බන්තොට මහ රෝහල, බදුල්ල,  කුරුණෑගල,  මාතර, හොරණ , කළුතර, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, රත්නපුර, ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ යන්ත්‍රය, ජාතික දන්ත රෝහල,   යන  රෝහල්වල මෙම යන්ත්‍ර බිඳ වැටීම සිදු වී තිබේ.
 
ඊට අමතරව කරවනැල්ල  රෝහලේ තිබෙන යන්ත්‍රයද සම්පූර්ණ ක්‍රියාකාරීත්වයේ නොමැති අතර එහි නඩත්තුවක් සිදු කළ යුතුව ඇත.

මෙම රෝහල් වල හදිසි පරීක්ෂණ කලයුතු රෝගීන් යාබද රෝහල් වෙත ප්‍රවාහනය කිරීම සඳහා මේ වන විට විශාල මුදලක් වැය වන අතර ඒ සඳහා දිගු කාලයක්ද ගත වේ.

සීටී ස්කෑන් පරීක්ෂණයක් මඟින් ශරීර අභ්‍යන්තරයේ රුධිර වහනයක් වීමක් විශේෂයෙන්ම හදිසි අනතුරකට ලක් වන රෝගියෙකුගේ මොළයේ රුධිර වහනය වීම, පිළිකා රෝග තත්ත්ව හඳුනා ගැනීම, රුධිර නාල වල ඇතිවන අවහිරතා හඳුනාගැනීම, අස්ථි පද්ධතියේ ද්විමාන සහ ත්‍රිමාන රූප ලබා ගැනීම, පෙනහලු රෝග තත්ත්ව හඳුනා ගැනීම වැනි සුවිශේෂී කාර්යයක් ඉටු කරනු ලබයි.

MRI ස්කෑන් යන්ත්‍රවල ඉරණම


ඊට අමතරව, MRI ස්කෑන් යන්ත්‍ර 13ක් රජයේ රෝහල් සතුව තිබෙන අතර ඉන් 2ක් මේ වනවිට බිදවැටී ඇත

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ යන්ත්‍ර මීට වසර 2ට පෙර බිද වැටුණ  අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ යන්ත්‍රය ජනවාරි මස සිට බිදවැටී ඇත. අනුරාධපුර MRI  පර්යේෂණ   සඳහා පොරොත්තු ලේඛනය වසර එකහමාරක  දිගු එකකි.  කරාපිටිය රෝහලේ පොරොත්තු ලේඛනය ද වසරකට වඩා දිගුය.


MRI ස්කෑන් පරීක්ෂණය මගින් ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගැනීමට හැකියාව ලැබෙන අතර මොළය සහ සුෂුම්නාව ආශ්‍රිතව රෝග හඳුනා ගැනීමේ  සුවිශේෂී කාර්යභාරයක් මෙමගින් සිදුවේ.

ඊට අමතරව පිළිකා රෝග හඳුනාගැනීම, අග්න්‍යාශය ආශ්‍රිත රෝග හඳුනාගැනීම, හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල අවහිරතා හඳුනාගැනීම, අස්ථි සල්ලි වල තිබෙන පටක වල පටකෙවල තිබෙන රෝග හඳුනා ගැනීම සහ මාංශ පේශිවල රෝග තත්ත්ව හඳුනා ගැනීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි.

මෙම පරීක්ෂණයක්  පෞද්ගලික  අංශයෙන් සිදු කර ගැනීම සඳහා රුපියල් 15,000 සිට 75,000 අතර මුදලක් වැය වේ.

පෙට් ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර

පෙට් ස්කෑන් පරීක්ෂණ සිදු කරන යන්ත්‍ර දෙකක් රජයේ රෝහල් පද්ධතිය  සතුව තිබේ. ඉන් එකක් කොළඹ ජාතික රෝහලේද, අනෙක් යන්ත්‍රය අපේක්ෂා රෝහලේද ස්ථාපනය කර ඇත

එයින් අපේක්ෂා රෝහලේ තිබෙන යන්ත්‍රය මැයි මස 26 වනදා සිට එහි පරීක්ෂණ සිදු කිරීම නතර වී ඇත .එයට හේතු වී ඇත්තේ පරීක්ෂණයක් සඳහා භාවිතා කරන FDG නැමැති ඖෂධය සැපයීම නතර වීමය.
 
එම ඖෂධය සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවා නව සැපයුම්කරුට ලබාදී ඇති අතර නව සැපයුම්කරුගේ ඖෂධ සැපයීම ප්‍රමාද වෙමින් පවතී.

මෙම කටයුත්තේදී   අදාල පරීක්ෂණ සිදුකරන විකිරණ තාක්ෂණවේදී නිලධාරීන් තාක්ෂණික ඇගයීම් කමිටුවට සම්බන්ධ කරගෙන නොමැත. මෙවැනි ටෙන්ඩර් කටයුතු වල දී පැරණි ටෙන්ඩරය අවසන්වීමට යම් කාලයක් තිබියදී නව ටෙන්ඩරය කැඳවිය යුතු අතර ඖෂධ සැපයීම  අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගතයුතු වේ.

පෙට් ස්කෑන් පරීක්ෂණය මගින් පිලිකාවක වර්ධනය, ක්‍රියාකාරීත්වය, පැතිරීම හඳුනා ගැනීම කළහැකිවේ. එසේම පිලිකා සහිත රෝගියකුට ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත පිලිකා සෛල වර්ධනය වීමක් වී තිබේද යන්න හඳුනා ගැනීමද සිදුකළ හැකි වේ.

මේ බිඳ වැටීමට හේතුව

මහා ලොකු හේතුවක් නැත. මෙම යන්ත්‍රවල නඩත්තුව සඳහා වූ සේවා ගිවිසුම්වලට අදාල මුදල් ගෙවා නැත. ඒ හේතුවෙන් සේවා සපයන සමාගම් සේවා සැපයීමෙන් ඉවත් වී තිබේ.

තමන්ගේම දරුවන්ට හරියට තුන්වේල කන්න දෙන්නට බැරි බවත්, උන්ට උගන්වන්නට බැරි බවත් අමතක කර මීට වසරකට පෙර තිබුණු මිලට වඩා දෙගුණයක් මිලකට QR කේතට ඉන්ධන ටික ගත් පමණින්, පෝලිමේ නොසිට ගෑස් ටික ගත් පමණින්  ප්‍රශ්නය විසඳී ඇතැයි සිතන මේ රටේ ගොබ්බයන්ට කිව යුතු දෙයක් තිබේ.

මේ සීනි තැවරූ කාල බෝම්බය   ලෙවකමින් ඉන්නට ඇත්තේ තව ටික කලක් පමණක් බව තේරුම් යනවිට අපි කිසිවෙක් ජීවතුන් අතර නොසිටින්නට පුලුවන.

එතෙක් සුවෙන් ඉන්න. –
〽රකුස් –
ලංකාසර
gossip lanka