gossip lanka

"කොන්ද කැඩෙන්න වැටිලත් නවත්තන්න බැරි වුණ මාව" - සරදම් කළ දෛවයටම අභියෝග කළ තරුණයෙක් කියන කතාවක් (PHOTOS)

ජීවිතේ කියන්නේ අපි කලින් සැලසුම් කරලා අපිට ඕනේ විදිහට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අපි ජීවත් වෙන්නඕනේ දෛවයට ඕනේ විදිහට කියලා කතාවක් තියෙනවා. වෙලාවකට අපේ දෛවය අපිටම සරදම් කරනවා. ජීවිතේ හිතාගන්න බැරි උඩුයටිකුරු වෙන අත්දැකීම්වලට මුන දෙන්න වෙනවා.

ඒ වගේ අත්දැකීමකට මූණදීලා ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණු තරුනයෙක්ගෙ කතාවක් මේක.

හදිසි අනතුරකට ලක්වෙලා හිතගන්න බැරි සිදුවීම් රැසකට මුහුන දුන්නු මේ තරුනයා තමන්ගේ දෛවයටම අභියෝහයක් වුණු කෙනෙක්.

ඔහු නමින් ධනංජය සම්පත් විජේරත්න. මේ ඔහුගේ කතාවයි.

"ගොඩක් අය දන්නවානේ මං ඇක්සිඩන්ට් උන විදිය.. ගෙවල් ලග දන්සලට උදව් කරන්න ගිහින් ඇගිලි දෙකක් කැපිලා. ඒකට බෙහෙත් දාන්න තව කෙනෙක් එක්ක බයික් එහෙක යද්දි. ලොරියක් ඉස්සර කරන්න ගිහින්.. බැරි වෙලා.. ඉස්සරහින් ත්‍රී වීල් එකක් ඇවිත්, ඒකට ⁣බ්රේක් කරපු පාරට මාව උඩින් විසි වෙලා ගිහින් කියලා තමා. කට්ටිය කිව්වේ.. බයික් එක පැදපු කෙනත් ටිකක් වේගෙන් ගිහින් තියෙනවා.. 90 ට විතර වගේ..මට ඒ මුකුත් මතක නෑ.. (2012/06/03 තමා මේක උනේ.) කලිනුත් මං කෙටියෙන් කියලා පොස්ට් එකක් දැම්මා..

ඉතින් මං ඇක්සිඩන්ට් උනාට පස්සේ එතන හිටපු අය මාව අදුරගෙන.. අපේ ගෙදරටත් පණිවිඩය යවලා, ඒ ඇක්සිඩන්ට් වෙච්ච වීල් එකේම මාව දාලා යවලා.. ඒ වීල් එකේ කට්ටියත් බීලා ඉදලා තියෙන්නේ.. ඒ අය මාව අරං ගිහින් තියෙන්නේ බියගම හොස්පිටල් එකට.. ඒ කට්ටිය එතනට යද්දිත් ගමේ කීප දෙනෙකුයි තාත්තායි එතනට ඇවිත් ඉදලා තියෙනවා.. ඉතින් වීල් එක එද්දි ඒ මිනිස්සුත් මගේ ඇග උඩලු ඉදලා තියෙන්නේ. ඒ දේවල් වලින් මගේ ඩැමේජ් එක තව වැඩි වෙලා.. ඒක නිසා ඇක්සිඩන්ට් එකකදි ඒ තුවාල වෙන කෙනවා නිවැරදි විදියට හොස්පිටල් එහෙකට අරං යන්න අමතක කරන්න එපා..

ඉතින් කොහොම හරි බියගම හොස්පිටල් එකෙන් මාව බාර අරං නෑ. මාව කොළඹ ජාතික රෝහලට යවලා.. ඒ කිසිම දෙයක් මට හැබැයි මතක නෑ. කොහොම හරි මට සිහිය ඇවිත් මං තාත්තාගෙන් ඇහුවා මතකයි.. "තාත්තේ මාව මැරෙයිද කියලා" හැබැයි එතකොටවත් මං දන්නේ නෑ මගේ කකුල් පන නෑ කියලා.. මගේ x-ray එ⁣හෙමත් අරං මං ඒ මුකුත් දන්නේ නැ. කොහොම හරි ඩොක්ටර් කෙනෙක් ඇවිත් x-ray එකක් උඩට කරලා බලලා.. මගේ අම්මෝ කියලා ඔලුවට අත ගහ ගත්තා මට මතකයි..

කොහොම හරි මගේ කොන්දට ඔපරේෂන් එකක් කරලා.. (2012/06/06) මාව 53 වාට්ටුවට දැම්මා මතකයි.. ඉතින් මාව බලන්න ගොඩක් අය ආවා.. ඒ අතර මාගේ පන්තිභාර ගුරුතුමියත් ආවා මාව බලන්න.. අම්මෝ ඉතින් මිස්ගේ වැඩේ ඉස්සර මට බයින එක තමා.. ගනන්වලට ලකුණු අඩුයි කියලා.. හැබැයි එදානම් මිස්ගේ ඇස් දෙකේම කදුලු.. එදා මට තේරුනා.. ඒ මිස් අපිට කොච්චර බැන්නත්.. ඒ අපිට තියෙන ආදරේට කියලා.. මිස් මගේ ඔලුව අතගාලා නලලට හද්දකුත් දිලා.. ඇස් වල කදුලු පුරවන් ගියා මතකයි.. ඒ අතරේ ඉතින් දවසක් ආසාවට කොත්තුවක් කාලා නහයෙන් බටේකුත් දාන්න උනා..

ඉතින් මං මාස එකහමාරක් විතර 53 වාට්වුවේ හිටියා.. එතනින් පස්සේ මගේ ටිකට් කපලා.. මාව රාගම පුනරුත්ථාපන රෝහලට මාරු කලා..
එතනින් කොහොමහරි ව්‍යායාම කරලා.. මගේ වැඩ යම් ප්‍රමාණයක් තනියම කරගන්න පුරුදු කරලා. මාස 4කින් විතර ටිකට් කැපුවා.. මුල් කාලේ මට වාඩි වෙලා ඉන්නවත් බෑ.. ඒ හැමදේම හදා ගත්තේ රාගමින්.. ඉතින් කාලේකට පස්⁣සේ මම ගෙදර ගියා.. මගේ ඉස්කෝලේ පන්තියේ ලමයිනුයි මිස්ලයි බස් එකක් පුරෝලා ආවා දවසක් මාව බලන්න..

මුල් කාලේ එලියට බහින්න එහෙම මගේ හිතේ පොඩි ලැජ්ජාවක් තිබ්බා.. මොකද මිනිස්සු මාව දැක්කම අනේ අපොයි ගාලා.. අමුතු විදියට බලන නිසා.. හැබැයි මට ගෙට කොටු වෙලා ඉන්න කැමැත්තක් තිබ්බේ නෑ. මොකද මං ඇවිදලා කරලා හිටපු කෙනෙක් නිසා.. පස්සේ මං හිත හයිය කර ගත්තා.. මොකද මං වැරදි වැඩක් කරලා මෙහෙම නොවුන නිසා.. පස්සේ සිංහල බෙහෙතුත් කරන්න ගත්තා.. බාර හාර උනා.. දේවලවලත් ගියා.. ඒ තැන්වලින් කිව්වා කරපු දේකුත් තියෙනවා.. ගෑනු කෙනෙක් කරලා තියෙන්නේ කිව්වා. තාත්තාගේ පැත්තේ ලේ ඥාති කිව්වා.. ගෙදර දොරෙන් එලියට බැස්සාම දකුණු අත පැත්තේ ගේ කිව්වා.. තාත්තාගේ අයියාගේ ගේ තමා ඒ පැත්තේ තිබුනේ.. කොහොමත් ඒ ගෑනු කෙනා අපි එක්ක ඉරිසියාවයි, වෛරයි.. ඉතින් ගොඩක් තැන්වලින් එකම දේ කියද්දී.. ඇත්තක් ඇති කියලාත් මට හිතුනා.. හැබැයි මං ඒ දේවල් හිතන්නේ නෑ.. උබලා කරලා උබලාම ඒ දේවල් අරං යයිනේ කියලා හිතලා ඉන්නවා..අපි ඉන්න තැන එයාලාට අයිතිකර ගන්න හිතාගෙනලු අපිට ගිහින් ඒ දේවල් කරන්නේ.. මේවායේ ඇත්තක් නෑ කියන්නත් බෑ මොකද මං දැකලා තියෙන දේවල් එක්ක.. මං ඇක්සිඩන්ට් උනෙත් කනත්තක් ලග.. ඒත් ඒවාටනම් මාව නවත්තන්න බැරි උනා.. අදටත් මාව දැක්කම කන්න වගේ බලන් ඉන්නේ.. හිතනවා ඇති මෙච්චර දෙයක් වෙලත් මූ තාම මැරිලා නෑනේ කියලා.

"කොන්ද කැඩෙන්න වැටිලත් නවත්තන්න බැරි උන මාව.. ඒ දේවල්වලට නවත්තන්න කොහොමත් බෑ.."

ඉතින් මේ හැම බාධාවක්ම මැද හරියටම 2013 අග මං අපහු ඉස්කොලේ යන්න පටන් ගන්නවා.. හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේන් අයින් වෙලා.. ගෙවල් ලග මල්වාන මහා විද්‍යාලයට ආපහු යන්න පටන් ගත්තා.. මං ශිෂ්‍යාත්වේ පාස් උන ඉස්කොල්.. ඉතින් ටික කාලයක් ඉස්කොලේ යද්දි.. මට බෙහෙත් කරන්න නාවින්න ආයුර්වේදේට යන්න උනා.. එතනත් මාස තුනක් බෙහෙත් කරලා ගෙදර යන්න උනා.. එතකොට ඉතින් සාමාන්‍ය පෙල පටන් ගන්න මාසයක් වගේ තිබ්බේ.. ඉතින් මං ප්‍රින්සිපල් ඒක්ක කතා කරලා.. අලුත් 11 පන්තියට මාරු උනා.. මේ කාලේ පොඩි ආදර සම්බන්ධයක් තිබුනා.. ඒත් ඒකත් ටික කාලේකින් නැති උනා..

එහෙම ඉස්කොලේ ගිහින් ඉදන් ඉදලා.. තට්ටමේ පොඩි තුවාලයක් ආවා.. හැමදාම ඉස්කොලේ යන්න උන නිසා.. ගොඩක් වෙලා වාඩී වෙලා ඉන්න වෙන නිසාත්. ඒ තුවාලේ ටික ටික වැඩි උනා.. ඒත් මං ඉස්කොලේ ගියා.. හැබැයි හැමදාම ඉන්ටර්වල් එකෙන් පස්සේ මං ගෙදර ආවා.. මොකද මට උන ගන්න නිසා.. කොහොම හරි ඒ තුවලේ වැඩි වෙච්ච නිසා.. මට හොස්පිටල් යන්න උනා.. මාසයක් විතර හොස්පිටල් ඉදලා ගෙදර ආවා.. ඒත් තුවලේ හොදටම හොද නොවුන නිසා වැඩිය ඉස්කොලේ යන්න ලැබුනේ නෑ.. මට සාමාන්‍ය පෙල ලියද්දි හරියට මාස තුනක්වත් ඉස්කොලේ යන්න බැරි උනා.. තුන්වන වාර විභාගය පටන් ගත්තා.. තුවලේ තියාගෙනම , එක්සෑම් ලියන්න ඕන නිසා ආපාහු ඉස්කොලේ ගියා ඒත් වාර විභාගේ ඉවර වෙනවත් එක්ක.. ආපහු හොස්පිටල් යන්න උනා.. එතකොට සාමාන්‍ය පෙලට තිබ්බේ මාස එකහාමාරක් වගේ.. කොහොමහරි ඩොක්ටර්ස්ලාට කියලා.. තුවාලේ ටිකක් අඩු කරන් ගෙදර ගියා.. සා.පෙල ට පටන් ගන්න ටික දවසයි තිබ්බේ.. සෙමිනවලට යන්නත් බෑ.. පුළුවන් විදියට ඇදේ නිදාගෙන පාඩම් ටිකක් බැලුවා.. හැබැයි ඉතින් පාඩම් කරන්න පුළුවන් වටපිටාවක්නම් මට තිබුනේ නෑ.. ඒක අදටත් නෑ.. එහා ගෙදර මිනිහා (තාත්තාගේ අයියා) බිලා ඇවිත් හැමදාම වගේ රෑට කියොනවා..

මට කියනවා මං ඇවිදගන්න බැරුව නන්නත්තාර වේලාලු ඉන්නේ..
සමහර කට්ටිය කියනවා ඔයා ඉතින් ගෙදරනේ ඉන්නේ.. ඔයාට පඩම් කරන්න පුළුවන්.. ඒත් ඒ අය දන්නේ නෑ.. මගේ ඇගේ තියෙන වේදනාව.. ඉස්සර ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර ගියාම.. කෑම කන්නෙවත් නැතුව නින්ද යනවා.. එච්චරට රිදෙනවා ඇගම.. දැන්නම් ඒක හුරු වෙලා..
ඒ අතර තවත් රත්තරන් මනුස්සයෙක් හිටියා ගමේ.. එයා ගනන් සර් කෙනෙක්.. ඒ මනෝෂ් සර්... සර් දවසක් උදේ අපේ ගෙදර ආවා.. සාමාන්‍ය පෙල පටන් ගන්න දවස් කීපයක් තිබ්බා.. සර් එද්දිත් මට නැගිට ගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.. මං ඇදේ නිදාගෙන ඉද්දි සර්ම හාෆ් ශීට් වල ගනන් ලියලා.. සර්ම හදලා මට කියලා දුන්නා.. වෙන ගුරුවරුනම් එහෙම කරන්නේ නෑනේ.. මුට උවමනාවක් නෑ කියලා නිකන් ඉදී. යැබැයි එදා සර් කියලා දීපූ ටික හොදට ඔලුවට ගියා.. ඉතින් සාමාන්‍ය පෙල පටන් ගත්තා.. මං හැමදාම එක්සෑම් වලට ගියා.. අන්තිම විෂයන් දෙක ලියන්න ⁣තියෙද්දී.. ආපහු උන හැදුනා.. මං අන්තිම විෂය ලියද්දි උදේ, විභාග ශාලාවේදි මාව වෙව්ලන්න ගත්තා.. එතන හිටපු මිස් කෙනෙක් දැකලා ඇයි පුතේ කියලා අහලා.. අනිත් අයටත් කියලා.. මට කොපි පොවලා, බයික් ජැකට් එකක් අන්දලා තමා විභාගේ ලිව්වේ.. හැබැයි එදා ගෙදර ඇවිත් ඇදට වැටුනා වැටුනාම තමා.. කොහොම හරි උන වැඩි උනා.. කන්න බොන්න බැරි උනා.. සති දෙකක් විතර රටකජු කාලා යෝගට් පානය බිබි හිටියා.. වෙන මුකුත් කන්න බෑ.. වමනේ යනවා.. පස්සේ ලග තැනකින් බෙහෙත් ගත්තා.. ඒත් වැඩක් නෑ.. කකුල බෙර කොටේ වගේ ඉදිමුනා.. අන්තිමට මට කතා කරන්න වචන පිට වෙන්නෙත් නැතුව ගියා.. කොහොම හරි ආපහු හොස්පිටල් ඇඩ්මිට් උනා..

මගේ ඇගේ ඇටකටු පවා කැඩිලා ඒ තුවාලෙන් එලියට ආවා..
කොහොම හරි ඒ වෙද්දි ඒ තුවාලේ ඇගේ අස්ථිවලටම ගිහින් කිව්වා.. හැබැයි ඩොක්ටර්ස්ලාට පිං සිද්ද වෙන්න ටික ටික අඩු උනා.. හැබැයි මගේ ඇගේ මෙලෝ දෙයක් තිබිලා නෑ.. මට ලේ දුන්නා, පොටෑසියම් දුන්නා. ප්‍රෝටීන් දුන්නා.. අයිඩීන් නෑ කියලා ලුණු කැව්වා.. ඔන්න ඉතින් යන්තන් දහසක් දුක් විදලා යන්තන් හොද වෙලා ගෙදර ගියා.. ඔහොම ඉද්දි සාමන්‍ය පෙල රිසාල්ට් ආවා.. මාවත් පාස් වෙලා තිබ්බා.. A2 B1 C4 S2 ති⁣බ්බේ.. A නවයක් ගත්ත කෙනෙක්ට හිතෙයි අපෝ මේ රිසාල්ට් එක වැඩක් නෑ කියලා.. හැබැයි ටියුෂන් නැතුව, හරියට ඉස්කොලේ වත් යන්න නැතුව.. පට්ට දුකක් විදපු නිසා ඒ රිසාල්ට් එක මට A9ක් වගේ තමා.. නර්ස්ලා මට විහිලුත් කරනවා හොස්පිටල් ඉදලාමද කෙහෙද සෞඛ්‍යට A කියලා..

හැබැයි කවදාවත් මට කා එක්වත් තරගයක් තිබුනේ නෑ.. ලැබෙන දෙයින් සතුටු වෙන එක මගේ පොඩි කාලේ ඉදන් තිබ්බ පුරුද්දක්.. ඒ දේවල් නිසා.. මට ගොඩක් තැන්වල දරාගන්න පුළුවන් උනා කියලා මට හිතෙනවා..
ඔන්න ඉතින් මිනිස්සු තවත් ටික ටික ඈත් වෙන්න ගත්තා...
ඉතින් දැන් තමා අමාරු කාලේ පටන් ගන්නේ.. අච්චර කට්ටක් කාලා සාමාන්‍ය පෙල පාස් වෙලා උසස් පෙල නොකරම බෑනේ.. ලග ඉස්කොලේ උසස් පෙල නෑ.. හැබැයි හංවැල්ල ඉස්කොලෙන් අස් වෙද්දි කියලා තිබ්බේ සාමාන්‍ය පෙල පාස් උනොත් උසස් පෙලට එහෙට ආපහු එනවා කියලා.. ඉතින් හංවැල්ල ඉස්කෝලේට ඇතුල්වෙන්න දවස අවා. එදා ඉස්කෝලේට ගියාම ඒ හැම වැඩක්ම.. මං උඩදී කියපු මගේ පන්තිභාර මිස්.. සීතා මිස් කරලා දුන්නා..

අපේ ගේ ලග ඉදන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට 12km තිබ්බා.. ඉතින් වීල් එහෙක යන්න වෙච්ච නිසා දවසට වියදම රු.1000 යි.. මං කලින් ගියපු ස්කූල් වෑන් එහෙකින් ඇහුවා.. එයාට මාව එක්කන් යන්න බෑ කිව්වා .. ඉතින් ආර්ථික අපහසුතා නිසා හැමදාම ඉස්කෝලේ යන්න බැරි උනා.. සීතා මිස් ඉස්කෝලේ මිස්ලාගෙන් එකතු කරලා මාසේට ගානක් දුන්නා.. පියන්ත අයියාත් පුළුවන් හැමවෙලේම ඇවිත් මට උදව්වක් කරලා ගියා.. ඒ අතරේ අපාහු මගේ දකුණු තට්ටමේ තුවාලයක් එන්න ගත්තා.. ඉස්කෝලේ යන්න වියදම් වැඩි නිසා. ෆෙස් බුක් එකේ පොස්ට් එකක් දැම්මා.. හැබැයි ඒක⁣ට කතා කලේ.. එකම එක මනුස්සයයි.. ඒ ධනුශ්ක අයියා.. මට හම්බුන පට්ට චරිතයක්.. කවදාවත් මාව බලන්නවත් ඕනි කියලා නෑ.. එයා මාව දැක්කේ කැම්පස් එකේ ලියුමක් අතසන් කරන්න හොස්පිටල් එකට ගියාම.. ඉතින් මේ අයගේ උදව්වෙන් තමා මට ඉස්කෝලේ යන්න පුළුවන් උනේ.. එත් අර තුවාලේ ටිකක් වැඩි වෙන්න ගත්ත නිසා මට වැඩිය ඉස්කෝලේ යන්න උනේ නෑ.. තුවාලේට බෙහෙත් දාන්න.. ගෝස් ප්ලාසටර් ගන්නත්.. ලොකු වියදමක් ගියා..

උසස් පෙල පන්තියේ දී මගේ ලගින්ම හිටපු දෙන්නෙක් තමා කැටවලයි, රසාංගායි.. අනිත් අයත් උදව් කලා.. හැබැයි ඒ දෙන්නා හැම වෙලේම මං එක්කම හිටියා..
කොහොම හරි. 2017 අවුරුද්දේ.. මට MRI ස්කෑන් එකක් කරන්න උනා.. ඒකට මගේ කොන්දට දාලා තිබ්බ.. ප්ලේට් එක ගලවන්න, ඕපරේෂන් එකක් කරන්න උනා.. කොහොම හරි සර්ජරි එක කරලා ප්ලේට් එක ගැලෙව්වා.. හැබැයි එකේ කම්බි කෑල්ලක් ඉතුරු වෙලා තිබ්බා.. එක තියෙද්දි MRI මැෂින් එකට දාන්න බෑ කිව්වා.. ඉතින් ඒක ගන්න ආපහු ඔපරේෂන් කලා.. ඊට පස්සේ ඩොක්ටර් තව ඔපරෙෂන් එකක් කරන්න තියෙනවා කිව්වා.. නර්ස්ලා මට කිව්වා ඔහොම ඔපරේෂන් කරන්න හොද නෑ.. ඔයාව කොමා වෙන්නත් පුළුවන් ඒක නිසා ගෙදර ගිහින් අවුරුද්දෙන් පස්සේ එන්නම් කියන්න කිව්වා.. මං ඒ විදියට කියලා ගෙදර ආවා.. පිටේ මැහුම් කපන්න එන්න කියලා දින දිලා තිබ්බේ.. හැබැයි මට ගෙදර ආවාට පස්සේ පැපොල හැදුනා.. ඔපරේෂන් කරපු තුවාලේ අමාරුවයි පැපොල හැදුන අමාරුවයි.. දෙකම.. ඒ අස්සේ ඔපරේෂන් කරපු තුවාගේ මැහුනුත් ලෙහුනා.. ඉතින් මේ හැමදේම ඉවරවෙලා ඉස්කෝලේ යද්දි.. උසස් පෙලට තිබ්බේ මාස තුනක් වගේ..

ඉතින් මං මට පුළුවන් විදියට විභාගේ ලිව්වා.. එක්සෑම් හොල් ඒකේ හිටිය පොඩි මිස් කෙනෙක්.. විභාගේ අන්තිම දවසේ පුතාට මගෙන් තැග්ගක් කියලා.. පොඩි බැග් එකක් අතට දුන්නා.. එකේ තිබ්බේ පොතක්.. ඉතින් මං ඒකත් අරං ගෙදර ගියා.. හැබැයි තට්ටමේ තුවාලේ වැඩි උන නිසා මට ආපහු නතර වෙන්න උනේ හොස්පිටල් එකේ.. මාසයක් විතර ඉදලා..තුවාලේ හොද වෙලා මං ආපහු ගෙදර ගියා..
ඒ අතරේ මං යූත් එකට බැදුනා.. චනරු අයියායි අනිත් කට්ටියයි නිසා මට ගොඩක් තැන්වල යන්න පුළුවන් උනා.. ගොඩක් අය අදුන ගත්තා.. උසස් පෙල රිසාල්ට් ආවා.. හැබැයි මං පාස් වෙලා තිබ්බේ එක විෂයක් විතරයි.. ඒක දැකපු ගමන් මාව නිකන් උස තැනකින් පහලටම වැටුනා වගේ දෙයක් උනා.. කියා ගන්න බැරි අමුතුම හැගිමක් හිතට ආවා.. මං ඇදට වෙලා ගොඩක් වෙලා කල්පනා කලා.. කට්ටිය මගෙන් රිසාල්ට් අහද්දි.. මට අමුතු ගිල්ටි හැගීමක් අවේ.. මං ෆේල් වෙච්ච එකට සතුටු වෙච්ච පිරිසකුත් හිටියා..

හැබැයි මං හිතා ගත්තා.. මං ආපහු ලියනවා කියලා.. ධනුෂ්ක අයියා එදා වගේම මට හයියට හිටියා.. ඒ කාලේ ගර්ල්ෆෙන්ඩ් කෙනෙකුත් හිටියා.. එයාත් මට ගොඩක් උදව් කලා.. එයා මට ගෙදරට ඇවිත් ක්ලාස් කරන්න අයියාලා දෙන්නෙක් හොයලා දුන්නා.. සජිත් අයියායි, තත්සර අයියායි, ඒ දෙන්නාට ⁣සල්ලි ගෙවන්න එයත් උදව් කලා.. දෙවනි පාර එක්සෑම් ලියන්න යද්දි ගොඩක් කරදර උනා.. දවසක් මං අම්මත් එක්ක විභාගේ පටන් ගන්න දවස් ගැන කිය කිය ඉද්දි.. අල්ලපු ගෙදර ඉන්න තාත්තාගේ අයියා.. කියාගෙන යනවා " කරවන්නම් උබට විභාගේ කියලා" කොහොම හරි විභාගේ දවස් එද්දි අපේ අක්කාට නිකන් දිශ්ටියක් වගේ ඇවිත්.. ගොඩක් කරදර උනා.. අන්තිමට මට විභාගේ එක්කන් යන්නවත් කවුරුත් නැති උනා.. අම්මාට අක්කා දාලා එන්න බැරි උනා.. ඒ කරදර මැද්දේ.. මාස හයක් වගේ ඇතුලත මගේ ටාර්ගට් මං එකට ගියා.. දෙවනි පාර එක්සෑම් පාස් උනා.. හැබැයි ඉතින් මං යාළු වෙලා හිටපු කෙනානම් මගේ කර ගන්න මට බැරි උනා.. එයාගේ ගෙදරින් ඒ සම්බන්දෙට විරුද්ධ උනා.. ප්‍රශ්න ආවා.. අපිට අයින් වෙන්න උනා.. එයා දැන් මැරි කරලා.. මගේ හිතේ කිසිම තරහක් නෑ.. එයා සතුටින් ඉන්නවානම් එච්චරයි.. ( මේ 2018 ත් 2019 ත් අතර )

විභාගේ පාස් වෙලා ගෙදර ඉන්න අතරේ ආපහු බෙහෙත් කරන්න පටන් ගත්තා... ඒ අතරේ කැම්පස් ලියුමත් ආවා .. ඉතින් බෙහෙත් කරන තැනට ලොකු වියදමක් ගියපු නිසා.. ඉගෙන ගන්න දේවල් වලටයි.. බෙහෙත් වලටයි උදව් ඉල්ලලා .. ෆෙස්බුක් එකේ පොස්ට් එකක් දැම්මා.. ඒක දාලා දුන්නේ රහල් අයියා.. ඒයාට කිව්වාම බෑ නොකියා එයා මට ඒක කරලා දුන්නා.. ඒ පොස්ට් එකෙන් ගොඩක් අය මට කතා කලා උදව් කලා.. හැබැයි ගොඩක් හිටියේ බොරු⁣ පොරෙන්දු දිපු අය.. සමහරු බලන්න එන්නම් කියලා.. අපහු කතාවත් කලේ නෑ.. ඒ අතරේ මගේ බෙහෙත් වලට ගොඩක් උදව් කරපු අය හිටියා.. පාලිත අයියා ඒ අතරින් කෙනෙක්.එයා නිසා මාව බලන්න රොෂාන් රණවන අයියාත් ආවා..
ඉතින් කැම්පස් ලියුම ෆෙස්බුක් දැම්මාට පස්සේ.. මට ගොඩක් අය සුබ පැතුවා.. ගොඩක් අදුරන්නැති අය.. හැබැයි අහල පහල කතා කර කර හිටපු සමහරුනම් අහක බැලුවා.. .
ඒත් සමහර අයට මං Motivation එකක් උනා.. සමහරු ඒ අයගේ ප්‍රශ්න මාත් එක්ක කිව්වා.. ඒ අයට ශක්තියක් වෙන්න වචනයක් හරි කියන්න මට පුළුවන් උනා..

මේ හැමදේම අතරේ අමුතු අමුතු මිනිස්සු මට හම්බුනා.. සමහර දාට pickme වල යද්දි එක එක විදියේ අය ඉන්නවානේ.. සමහරු මටත් උදව් කරලා.. හරි කැමැත්තෙන් මාව ඕනි තැනට ගිහින් දානවා.. හැබැයි සමහරු රෝද පුටුව වහනේට දාන්න කැමති නෑ.. ඒ අය දන්නේ නෑ.. එයාලාට ඒ වහානේ වගේ තමා.. මට රෝද පුටුව.. මොකද ඒ මගේ කකුල් දෙක..

ඉතින් ගොඩක් අය කියනවානේ.. මෙහෙම උනේ මගේ කරුමෙට.. නරක වෙලාවට.. කියලා.. හැබැයි ඉතින් මාත් එක්ක බයික් එකේ ගිය කෙනා මං ඇක්සිඩන්ට් උනාට පස්සේ.. දෙතුන් පාරක්ම බයික් ⁣එකෙන් වැටිලා අතපය කඩන් හිටියා... එකෙන් මං කවුරු මොනවා කිව්වත් හිත හදා ගත්තා.. මොකද මගේ නරක වෙලාවනම්.. ඒ මනුස්සයා ආපහු අපාහු වැටෙන්න බෑනේ. මාත් මොකක් හරි කරපු දෙයක් ඇති මං නෑ කියන්නේ නෑ.. ඒත් සමහර මිනිස්සු පන්න පන්න.. එන්නේ ඒ වගේ දේවල් කියන්න.. වයසක මිනිස්සු ඉන්න තැන්වල ඉන්න මං වැඩිය ආස නෑ..
බුදු බණ වැඩිපුර කියවන මිනිස්සු පට්ට කුහකයි..

ඉතින් 2021 අග වගේ වෙද්දි මට Rowing කරන්න යන්න ලැබෙනවා.. ඒත් ඉතින් මේ තුවාලේ නිසා එකත් අතරමග නවත්තන්න වෙනවා.. හැබැයි එක තරගෙකට මට ඉන්න වාසනාව ලැබුණා.. ඒකටත් මම ගියේ.. උන තියෙද්දි.. ඒ තරගෙට යන්න තියෙන ආසාවට..

මට දැන් තියෙන ලොකුම හීනේ මගේ ඩිග්‍රිය.. එත් ඉතින් යන්න එන්න තියෙන අපහසුව නිසා ඒක මට ලොකු අභියෝගයක්.. දවසට pickme එකකට රුපියල් 2000ක් දෙන්න ඕනි.. ගොඩක් අය කියන්නේ බොර්ඩ් වෙන්න හොස්ටල් ඉන්න කියලා.. එත් ඒ කියන කවුරුත් මගේ උදව්වට එන්නෑනේ..
ඉස්සර ආසාවෙන් හිටියා අතට බ්රේක් හදලා ත්‍රි වීල් එකක් පදින්න හදා ගන්න.. එත් එහෙම අරන් දෙන්නම් කියපු මිනිස්සු.. ඒ දේ කරලා දුන්නේ නෑ.. ගොඩක් අය ඉන්නේ බොරු බලාපොරොත්තු දෙන්න..

මේ ලොකේ කොච්චර මිනිස්සු හිටියත්.. මනුස්සකම තියෙන මිනිස්සු හරි අඩුයි..
ඉස්සර පොඩි කාලේ මං තොරණ් දෙකක් හැදුවා.. එකකනම් පොටො එකක් තාම ඇති.. මගේ අතින්ම චිත්‍ර ඇදලා.. එත් මං ඒ හැමදෙකින්ම ඈත් උනා..

සමහර කොල්ලො ඉන්නවා රෝද පුටුවක් තල්ලු කරන්න ලැජ්ජයි.. මනුස්සයෙක්ට උදව්වක් කරන්න ඇයි ලැජ්ජ වෙන්නේ.. මටත් එහෙම අය ඕන තරම් මුණ ගැහිලා තියෙනවා.. අපේ මිනිස්සු හිතන විදිය හරි අමුතුයි.. පාරේ ඉදන් සිගරට් එක බොන්න ලැජ්ජ නෑ.. එත් දන්සලක පොලිමේ ඉන්න ලැජ්ජයි..

ඇත්තටම කවුරුත් මට බණ කියනවාට මං ආස නෑ මොකද.. මේ ශරිරේ තියෙන අතිත්‍ය මං ඒ අයට කලින් දැකලා විදලා තියෙනවා.. තුවාලයක් උනත් අඩන මිනිස්සු මට ලොකු ලොකු කතා කියද්දි විහිළුවක් වගේ..
මගේ කතාව තාම ඉවර නෑ.. එකේ ආවසානය කොහොම වෙයිද කියලා.. මමවත් දන්නේ නෑ.. එත් මං මට පුළුවන් විදියට ඉස්සරහට යනවා.. මං හිතනව⁣ා මගේ දාරාගැනීමයි ඉවසීමයි උපරිමයි කියලා..
කවදා හරි ලස්සන ආදරනීය හදවතක් මට හමුවෙයි කියලා මං හිතනවා.
මතක තියා ගන්න.. ඔයාගෙන් ප්‍රයෝජනයක් නැත්නම් කවුරුත් ඔයා ලග රැදෙන්නේ නෑ.. ඒ වගේ මිනිස්සුන්ව අත ඇරලාම දාන්න..
ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ..
"කොන්ද කැඩුනත් ඔලුව පණ තියෙනකන් ජීවත්වෙන්න"
gossip lanka