gossip lanka

දෙවෙනි ඉනිම තව දින **කින් අවසන් වෙනවා…. හිතේ ලොකු දුකකුත් තියෙනවා… මම පොඩි බබාලට හරිම කැමතියි - නෙත්මි රොෂෙල්

“‘මම පොඩි බබාලටයි, සත්තුන්ටයි හරිම කැමතියි. ඒ වගේම එයාලට ගොඩාක් ආදරෙයි. මගේ ගෙදර සත්තු වත්තක් වගේ. බලු පැටව් පූස් පැටව් ගොඩාක් මගේ ගෙදර ඉන්නවා. ගෙදර ඉන්න හුරතල් පැටවුන්ට වගේම පාරවල්වල ඉන්න බලු පැටව් පූස් පැටවුන්ටත් මම ආදරෙයි. මට පුළුවන් හැම වෙලාවකම මම එයාලට මට පුළුවන් විදියට සලකනවා. එයාලගේ ආදරේ අව්‍යාජයි. දවස මොන තරම් වෙහෙසකර වුණත් සත්තුන්ගේ ආදරය ළඟ හිත නිවෙනවා. පොඩි බබාලා ළඟත් එහෙමයි. සත්තු වගේම පොඩි බබාලා කියන්නේ මගේ ජීවිතේම කොටසක් කියලා මම කියන්නේ ඒකයි.”

සුරතල් සතුන් සහ කුඩා දරුවන් ගැන මේ විදිහට ආදරණීයව වචන එකතු කරන්නේ අපි හැමෝම හොඳින් හඳුනන ආදරණීය චරිතයක්. ඇය නමින් නෙත්මි රොෂෙල් රොජර්ස්. නමුත් බොහෝ දෙනෙක් ඇයට කතා කරන්නේ ආක්ෂා කියලා. දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ආක්ෂාගේ චරිතයට පණ පොවන දඟකාර කටකාර හැඩකාරිය තමයි අද පිනිපලස පිළිසඳරේ කතා නායිකාව.

රොෂෙල් කියන්නේ මේ දවස්වල පුංචි තිරයේ වගේම රිදී තිරයේත් අතිශයින් ජනප්‍රිය චරිතයක්. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක්. ඒ වගේම රොෂෙල් කියන්නේ නර්තනයටත් උපන් හපන්කම් ඇත්තියක්.

මේ දවස්වල රොෂෙල්ගේ කුලුඳුල් සිනමා රංගන අත්දැකීම ‘ආදරණීය ප්‍රාර්ථනා’ තිරගත වෙමින් පවතිනවා. ආදරණීය ප්‍රාර්ථනාහි පාරමී චරිතය නිසාම දැන් දැන් ඇතැම් ප්‍රේක්ෂකයින් රොෂෙල්ට පාරමී කියලා කතා කරනවා කියලාත් අපිට දැනගන්න ලැබුණා. ඉතින් රොෂෙල්ගේ පළමුවැනි සිනමා රංගන අත්දැකීම, ආදරණීය ප්‍රාර්ථනාවෙන්ම ඇය අපත් සමග වූ කතාබහ ආරම්භ කළා.

“ආදරණීය ප්‍රාර්ථනා කියලා කියන්නේ මගේ පළමුවැනි චිත්‍රපට රංගන අත්දැකීම. කොහේ ගියත් හැමෝම මගෙන් ඒ ගැන අහනවා. ඇත්තටම මේ චිත්‍රපටය මගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් වගේම අමතක නොවන මතකයක්. දෙවැනි ඉනිමට ආදරය කරන බොහෝ දෙනෙක් මට කතා කළේ ආක්ෂා කියලා. දැන් දැන් සමහර අය මට පාරමී කියලත් කතා කරන්න පටන් අරන්.දෙවෙනි ඉනිමේ ආක්ෂාට වගේම ආදරණීය ප්‍රාර්ථනාහි පාරමීටත් මම එක වගේ ආදරෙයි. මේ නිර්මාණ දෙකම මගේ ජීවිතයට එක වගේම වැදගත්. මගේ ටෙලි නාට්‍ය රංගන ජීවිතය වෙනස් කළේ දෙවනි ඉනිම. මගේ සිනමා රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ආදරණිය ප්‍රාර්ථනා කියලා මම හිතනවා.”

පිටපත ලැබුණු දවසේ ඉඳලම ආසාවෙන් පළමුවැනි සිනමා රංගනයට සූදානම් වුණා කියලත්, ආදරණීය ප්‍රාර්ථනා සිනමා නිර්මාණයට සහ පාරමීගේ චරිතයට බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලාත් රොෂෙල් කිව්වේ පුදුමාකාර සතුටකින්.

රොෂෙල්ගේ වචනවලින්ම කියනවා නම් දෙරණ රූපවාහිනියේ විකාශය වන දෙවෙනි ඉනිම කියලා කියන්නේ ඇයගේ රංගන ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක්. අනුහස් ආක්ෂා ආදර කතාවට වගේම ආක්ෂාගේ ආදරයට, නපුරුකමට, කතාවට, පුංචි පුංචි හිතුවක්කාරකම්වලට බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරනවා. ඉතින් බොහෝ දෙනෙක් ආදරය කරන දෙවෙනි ඉනිම ගැන රොෂෙල් අපිත් එක්ක පුංචි රහසක් කිව්වා.

“තව මාසෙකින් දෙකකින් විතර දෙවෙනි ඉනිම අවසන් වෙනවා. කතාවට වගේම මගේ චරිතයටත් ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ප්‍රේක්ෂකයන්ගේ ආදරේ මට වචනවලින් කියන්න බැරි තරම් වටිනවා. කොහොම වුණත් දෙවෙනි ඉනිම කතාව ඉවර වෙන එක ගැන වගේම ආක්ෂාගේ චරිතයට සමු දෙන්න වෙන එක ගැන හිතේ ලොකු දුකකුත් තියෙනවා. මොකද ප්‍රේක්ෂකයන් වගේම දෙවෙනි ඉනිමේ අපිත් ඒ කතාවට ආදරෙයි. ඉතින් මෙතරම් කාලයක් දෙවෙනි ඉනිම එක්ක වගේම ආක්ෂා එක්ක හිටපු හැමෝටම තවත් ටික කාලයක් අපිත් එක්කම කතාවේ අවසානය දක්වාම රැඳිලා ඉන්න කියලත් මම මතක් කරනවා.”

දෙවෙනි ඉනිමෙන් අනතුරුව තවත් ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා කියලත් ඉදිරියේදී ඒ ගැන වැඩිදුරටත් තොරතුරු ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැනුම් දෙනවා කියලත් රොෂෙල් අපිට කිව්වා. කොහොම වුණත් මේ දවස්වල අලුත් නිර්මාණ කිහිපයක් නිසාම රොෂෙල් කාර්යබහුල වෙලා ඉන්නවා කියලත් අපට දැනගන්න ලැබුණා.

2019 ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳීම තමයි රොෂෙල්ගේ කලා ජීවිතයේ ආරම්භය. ඊට පස්සේ සක්කාරම්, හිරු ඇවිදින්, රාවණා වගේ ටෙලි නාට්‍යවලට රොෂෙල් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ වෙද්දි රොෂෙල් රංගන කටයුතුවල වගේම නිවේදන කටයුතුවලත් නිරත වෙනවා. මම මුලින්ම සඳහන් කළා වගේ රොෂෙල් කියන්නේ දක්ෂ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. ඉතින් රංගන ශිල්පිනියක් ලෙස කලා ගමන ආරම්භ කරලා පසුව නර්තනය, නිවේදනය, නිරූපණය කලාව සමග අපූරුවට මුසු කළ මේ හැඩකාරියගෙන් ලිට්ල් ටයිටෑන් වැඩසටහන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනුත් විස්තර දැනගන්න අපි අමතක කළේ නැහැ.

“රඟපාන්න වගේම මම නිවේදනයටත් කැමතියි. පාසල් කාලයේ පවා මම නිවේදන කටයුතු කරලා තියෙනවා. ඒත් රංගන ශිල්පිනියක් වුණාට පසුව තමයි මේ විදිහට ප්‍රසිද්ධ වැඩසටහන්වල නිවේදනය කරන්න මට අවස්ථාව ලැබෙන්නේ. දෙරණ ලිට්ල් ටයිටෑන් වැඩසටහනේ නිවේදනය කරන්න ලැබීම මට සුවිශේෂී අවස්ථාවක්. දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් වන් සඳහා මමත් සම්බන්ධ වුණා. ඒ නිසා වගේම මමත් පුංචි දරුවන්ට කැමති නිසාත් එයාලා එක්ක කාලය ගතකරන්න අවස්ථාව ලැබෙන නිසාත් මම මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ හරිම සතුටින්.”

රොෂෙල් කියන්නේ සුරතල් සතුන්ට වගේම කුඩා දරුවන්ට ආදරේ කරන චරිතයක් කියලා අපි මේ කතාබහ ආරම්භයේදීම සඳහන් කළා. ඉතින් දෙරණ ලිට්ල් ටයිටෑන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම නිසා රොෂෙල්ට නිතර නිතර දරුවන් සමග කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ විදිහට පුංචි දරුවන් එක්ක කතාබහ කරන්න, පුංචි දරුවන්ගේ වැඩසටහනක් මෙහෙයවන්න අවස්ථාව ලැබීම වාසනාවක් කියලා තමයි රොෂෙල් නම් කියන්නේ.

කට ඇති පුතයි රුව ඇති දුවයි හදන්න කියලා පරණ ජනවහරේ කතාවක් තියෙනවා. මට හිතෙන විදිහට නම් ඇත්තටම රොෂෙල් කියන්නේ කට රුව දෙකම තියෙන ආදරණීය දියණියක්. ඇයගේ රංගනයට වගේම රූපශ්‍රීයට බොහෝ දෙනෙක් ඇලුම් කරනවා. දිගු වරලස රොෂෙල්ගේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරනවා. ඉතින් 2මේ හැඩකාරියගේ විලාසිතා ගැනත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා විලාසිතා ගැනත් රොෂෙල්ගෙන් වචනයක් දෙකක් අහන්න අපි අමතක කළේ නෑ.

“මමත් ලස්සනට ඉන්න කැමති කෙනෙක්. මට ගැළපෙන ඒ වගේම තැනට ගැළපෙන විලාසිතා තමයි මම තෝරගන්නේ. මම හැම විලාසිතාවක්ම කරන්න යන්නේ නැහැ. මම තෝරගන්න විලාසිතාවලින් මටවත් වෙන කෙනෙක්ටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් මම ඒ විලාසිතාව කරනවා. මගේ විලාසිතාවන් එක් එක් අවස්ථාවට අනුව වෙනස් වෙනවා.”

මේ තරම් ආදරණීය චරිත මවන, ආදරණීයව වචන හසුරුවන රොෂෙල්ගෙන් ආදරය ගැන අපි ඇහුව ප්‍රශ්නයට නම් රොෂෙල් දුන්නේ මේ වගේ උත්තරයක්.

“ආදරය කියන්නේ සුන්දර දෙයක්. හැමදේටම කලින් මම මට ආදරය කරනවා. ආදරය නැතිව කාටවත් ජීවත් වෙන්න බැහැ. පවුලේ ආදරය, ආදරණීය ප්‍රේක්ෂකයන් ආදරය, යහළුවන්ගේ ආදරය මට නොඅඩුව ලැබෙනවා. නමුත් ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න මම ඉක්මන් වෙන්නේ නැහැ. විශේෂ ආදරයක් පටන් ගන්න එක ටිකක් බැරෑරුම් වැඩක් කියලා මට හිතෙනවා. සියයට සියයක්ම අපිට ගැළපෙන කෙනෙක් නොලැබුණත් තේරුම් අරගෙන විශ්වාසයෙන් එකිනෙකාට උදව් කරන ආදරයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතිං ඒ ආදරය තෝරගන්න මම හදිසි වෙන්නේ නැහැ.”

රොෂෙල් කියන විදියට ඇය තවමත් ආදරවන්තියක් නම් නෙවෙයි. ඇය මේ වන විටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් ඉන්න නිසා මේ දවස්වල අධ්‍යාපන කටයුතු සහ කලා කටයුතු සමබරව කර ගන්න මූලිකත්වය දීලා ඉන්නවා කියලත් අපිත් එක්ක කිව්වා. ඉතින් අධ්‍යාපන වැඩකටයුතු වගේම කලා කටයුතුත් සාර්ථක වෙන්න කියලා පිනිපලස අපි රොෂෙල්ට සුබ පතනවා.

නිරෝෂා වාසල
gossip lanka