gossip lanka

ගව ඝාතනයට මන්ත්‍රීගෙන් ගිණි අවියක්

තණකොළ ආහාරයට ගැනීම සඳහා පරසන්ගස්වැව රජයේ ගොවිපළ භූමියට ගොවීන් විසින් ඇතුළු කරනු ලැබූ ගවයන් බෝර දොළහ වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා මරාදමන කල්ලියක සාමාජිකයන් සිවු දෙනකු ගිණි අවිය සමඟ පෙරේදා (01දා) සවස අත්අඩංගුවට ගැනීමට පරසන්ගස්වැව පොලිසියේ නිලධාරීන් පිරිසක් කටයුතු කර ඇතත් දේශපාලනඥයන් පිරිසක් එක්වී ගිණි අවිය සමඟ ඔවුන් මුදාහැරීමට කටයුතු කළ බව පරසන්ගස්වැව පොලිසියේ නිලධාරි පිරිසක් අනාවරණය කළහ.
අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටින හිටපු මන්ත්‍රිවරයකු විසින් ගවයන් මරා දැමීමට බෝර දොළහ වර්ගයේ ගිණි අවිය සමඟ පතරොම් සැකකරුවන්ට ලබාදී ඇති බවත් එම ගිණි අවිය වගා ආරක්‍ෂාව සඳහා නීත්‍යනුකූලව ලබාගෙන මස් පිණිස ගවයන් මරා දැමීමේ ජාවාරම්කරුවන්ට ලබාදී ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් පිරිස පෙරේදා (01දා) බෝර 12 වර්ගයේ ගිණි අවිය රැගෙන පරසන්ගස්වැව පොලිස් වසමේ පිහිටි රජයේ ගොවිපළට ඇතුළු වී තෘණ කෑම සඳහා බැඳ සිටි ගවයන් කිහිප දෙනකුට වෙඩි තබා මරා දමා ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් එහි ගොස් තිබෙන අතර සැකකරුවන් සිවු දෙනකු රජයෙන් නිකුත් කළ ගිණි අවිය සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් ස්ථානයට රැගෙන එනු ලැබුවත් පොලිස් නිලධාරියකු හට ලැබුණු උපදෙසකට අනුව මන්ත්‍රිවරයාගේ ගිණි අවිය සමඟ සැකකරුවන් සිවුදෙනා මුදාහළ බව අනාවරණය විය. සැකකරුවන් පිරිසක් දිගින් දිගටම පරසන්ගස්වැව රජයේ ගොවිපළට ඇතුළු වී එහි තණ කමින් සිටින ගවයන් වෙඩි තබා මරාදමා රැගෙන යන බවට ගොවීන් පිරිසක් අනාවරණය කළ අතර පරසන්ගස්වැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා ගොවිතැන් කටයුතුවලට යොදා ගන්නා ගව සම්පත තමන්ට අහිමි වී යන බවට ගොවීහු පිරිසක් අනාවරණය කළහ.

මේ පිළිබඳව අනාවරණය කළ ගොවීහු පිරිසක් මෙසේ පැවැසූහ.

'කිරි හා කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නා ගවයන්ට ආහාර සඳහා තෘණ නොමැති නිසා ගොවියන් එම සතුන්ව පරසන්ගස්වැව රජයේ ගොවිපළ භූමියේ තෘණ කෑම සඳහා මුදාහරිනවා. මේ කල්ලිය ඇවිල්ලා ගිනි අවි භාවිත කරලා සතුන් මරලා මස් පිණිස අනුරාධපුර නගරයට රැගෙන යනවා. මීට පෙරත් ගවයන් මරා දැමීමට පැමිණි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. නමුත් පැමිණි පිරිස ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත්තත් කිසියම් අයකුගේ උපදෙසක් අනුව මුදාහැරුණා.

පරසන්ගස්වැව රජයේ ගොවිපළ තුළදී සතුන්ට වෙඩි තියලා මරලා බඩවැල් ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රීන් එම ස්ථානයෙන් ඉවත් කරලා අරගෙන යනවා සාලියපුර හතරේ ඇළ ප්‍රදේශයේ නිවෙසකට. එහි තියාගෙන හම ගහලා පසුව අනුරාධපුර නගරයට ගෙනැල්ලා කිලෝවක් රුපියල් හාරසියයට අලෙවි කරනවා. අපි රුපියල් දහස් ගණනින් වියදම් කරලා ගන්නා සතුන්ව මේ කල්ලිය ඇවිල්ලා මරලා අරගෙන යනවා'යි ගොවීහු අනාවරණය කළහ.

වගා ආරක්‍ෂාව සඳහා යම් පුද්ගලයකුට රජය මඟින් නිකුත් කරනු ලබන ගිණි අවියක් කිසිදු හේතුවක් නිසා අන්සතු කිරීමට නොහැකි අතර එය නීති විරෝධී ක්‍රියාවක් බව පොලිස් නිලධාරීන් පිරිසක් අනාවරණය කළහ. එසේ තිබියදී හිටපු මන්ත්‍රිවරයා විවිධ පුද්ගලයන්ට ගිණි අවිය මුදාහැරීම බරපතල කරුණක් මෙන්ම එම අවියේ හිමිකරුත් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ඔවුහු අනාවරණය කළහ. මේ සම්බන්ධයෙන් විමසීමට පරසන්ගස්වැව පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහු අධිකරණ කටයුත්තක් සඳහා අනුරාධපුර අධිකරණයට ගොස් තිබිණි.

කෙසේ වෙතත් අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් වහාම මූලික පරීක්‍ෂණයක් ආරම්භ කරන බවයි.
gossip lanka