gossip lanka

"මගේ ඉල්ලීම රජය විකෘති කරනවා" - බන්දුල

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා දරුවන්ගේ ප්‍රතිඵල හා ව්‍යාපාර වශයෙන් සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ පාසැල්වල ප්‍රතිඵල සංසන්දනය කර විභාග දෙපාර්තමේන්තුව මඟින් ප්‍රසිද්ධ නොකරන ලෙස තමන් කළ ඉල්ලීම රජය විකෘති කරන බව පාර්මේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 

රජයේ පාසැල්වල සහ පෞද්ගලික පාසැල්වල ප්‍රතිඵල ඒකාබද්ධ කිරීම අසාධාරණ බවට තමන් කළ එම ප්‍රකාශය මාධ්‍යවල නිවැරදිව සඳහන් වන නමුත් රජය එය විකෘති කර දක්වමින් සිටින බව ද ඔහු කියා සිටියේය.
එහි දී තමන් ඉල්ලා සිටියේ දරුවන්ගේ විභාග ප්‍රතිඵල ඔවුන් උගත් පෞද්ගලික පාසැලේ නමින් ප්‍රසිද්ධ නොකරන ලෙස බව යැයි ද ඔහු සඳහන් කළේය.

මේ විවාදය දුරදිග ගෙන යාමේ අවශ්‍යතාවයක් නැතැයි පැවසූ ගුණවර්ධන මහතා ආණ්ඩුව වැරදි මතයක් සමඟ එය දුරදිග ගෙන යන නමුත් තමන් කථා කළේ මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන සියලු දරුවන් වෙනුවෙන් යැයි ද  පැවසීය.

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ලෙස උසස් පෙළ ප්‍රතිපල විශ්ලේෂණවලදී විශේෂයෙන් මහ බැංකු වාර්තාවේ පවා ජාත්‍යන්තර පාසැල් හැර යනුවෙන් සඳහන් වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ ප්‍රකාශය ගැන මීට වඩා තව දුරටත් තමන් විග්‍රහ කරන්නට හෝ පැහැදිලි කරන්නට තමන් සුදානම් නොවන බව ද ගුණවර්ධන මහතා කීය. අවශ්‍ය නම් ඕනෑම නාලිකාවක තමන් අධ්‍යාපන ඇමතිතුමන් සමඟ විවාදයකට සුදානම් යැයි ද ඔහු කියා සිටියේය.

මාධ්‍යකරුවෙකුට පොලිස් පහරදීමක් නිසා රොහල් ගත කර තිබීමේ සිද්ධිය විපක්ෂ නායකතුමන් සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු තරයේ හෙළා දකින බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.

 අගමැති බලය ලබා ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට උවමනා දේ නොකෙරෙන මාධ්‍ය කළු මාධ්‍ය ලෙස හඳුන්වා මාධ්‍යවේදින්ට චෙක්පත් සුදානම් කරගන්න කියා තර්ජනය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. 

ස්වාධීන රූපවාහිනි සේවයේ සේවක පිරිසක් එළියට දමා ඇති බවත් එම කාර්මික ආරවුල බේරුම් කරන ලෙස කිහිපවතාවක් තමන් ඉල්ලීම් කළ බවත් කී ගුණවර්ධන මහතා මේ පෙරමග සළකුනු එතරම් සුබ දායක නොවන බවද කියා සිටියේය.

නිරෝගී  ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් මෙම මාධ්‍ය මර්දනය වහා නතර කරන ලෙස තමන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

මේ ප්‍රශ්නයට  මැදිහත්වී ක්ෂණිකව මාධ්‍ය නිදහසට අවශ්‍ය විධිවිධාන යොදන ලෙස තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ද ගුණවර්ධන මහතා කීවේය.
gossip lanka