gossip lanka

සුනාමියට හසුවූ සිරුරු 136 ක් කරාපිටියේ

සුනාමි ඛේදවාචකයේ දී මියගිය පුද්ගලයින් 136කගේ මළ සිරුරුවල අස්ථි කොටස් කරාපිටිය වෛද්‍ය පීඨය තුළ සංරක්ෂණය කොට තබා ඇති බවත් එම අස්ථි කොටස් වෛද්‍ය පීඨ සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා යොදා ගන්නා බවත් කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරා මහතා පවසයි.

සුනාමි ඛේදවාචකය වී මෙම මස 26 වැනි දිනට වසර 14ක් සපිරෙණ අතර ඒ පිළිබඳ අදහස් දක්වමින්
විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙකී පුද්ගලයින්ගේ මළ සිරුරුවල අස්ථි කොටස් හා කැබළි උපාධි අපේක්ෂක හා පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා යොදාගන්නා බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. එමෙන්ම සුනාමිය වැනි ආපදාවකදී මියගිය පුද්ගලයින්ගේ හිමිකම ආවරණය කිරීම සම්බන්ධයෙන් ආපදා කළමානාකරණ පනතේ සඳහන් වී නැති අතර ආපදා කළමනාකරණ පනත සංශෝධනය විය යුතු බවද විශේෂඥ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"මෙහිදී අපි දළ වශයෙන් පුද්ගලයින් දහ දෙනකුගේ විතර අනන්‍යතාව පුද්ගල සාධකවලින් හඳුනාගෙන තියෙනවා. නමුත් ඒවා විද්‍යාත්මක දත්තයන් මත හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්‌ෂණ කළ යුතුවෙනවා. ඒ සඳහා විශාල මුදලක්‌ වැය වෙනවා. මෙම මළ සිරුරුවල සම්පූර්ණ අස්ථි කොටස් හා අස්ථි පද්ධති නැහැ. මළ සිරුරුවල කොටස් තමයි තියෙන්නේ".‍

" සුනාමි ඛේදවාචකයෙන් පසු මියගිය දහස් ගණනක් වු ජනතාව සමූහ මිනීවළවල් වල මිහිදන් කළා. එම සමූහ මිනීවළවල් සංරක්ෂණය කළ යුතුයි. ඇත්තටම සමූහ මිනීවළක් පරීක්ෂා කිරීම හා ආරක්ෂා කිරීම අමාරු කාරණයක් .සුනාමිය වැනි ආපදාවකදී මියගිය පුද්ගලයින්ගේ හිමිකම් ආවරණය කිරීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ පනතේ සඳහන් වී නැහැ" යැයි පැවසීය.

gossip lanka