gossip lanka

අයහපත් කාලගුණයෙන් උතුරේ 45,000ක් විපතේ

උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක පහට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (23 දා) වන විට පවුල් 13646 කට අයත් පුද්ගලයෝ 44959 ක් පීඩාවට පත්වී සිටිති.

පීඩාවට පත්වූවන් අතර මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පවුල් 379 කට අයත් පුද්ගලයන් 12651 ක්‌ද, කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌කයේ පවුල් 9475 කට අයත් පුද්ගලයන් 31234 ක්‌ද, මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ පවුල් 27 කට අයත් පුද්ගලයන් 85 ක්‌ද, වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ පවුල් 77 කට අයත් පුද්ගලයන් 281 ක්‌ද, යාපනය දිස්‌ත්‍රික්‌කයේ පවුල් 273 කට අයත් පුද්ගලයන් 708 ක්‌ද සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කිසිදු ජීවිත හානියක්‌ තුවාල වීමක්‌ සිදුවී නැතැයිද නිවාස 6 කට පූර්ණ හානි වී නිවාස 151 කට අර්ධහානි වී ඇතැයිද හෙතෙම කීය. පීඩාවට පත් වූවන්ගෙන් පවුල් 2661 කට අයත් පුද්ගලයන් 8539 ක්‌ ආරක්‍ෂිත ස්‌ථාන 52 ක රඳවා ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

අධික වර්ෂාවත් සමග එම දිස්‌ත්‍රික්‌කවල කුඩා වැව් කිහිපයක්‌ කැඩී ගොස්‌ එම ජලය ගම්මානවලට ගලා යැම සහ ඇතැම් වැව්වල වාන් දොරටු විවෘත කිරීම නිසා මෙම තත්ත්වය උදාවී ඇත. මාන්කුලම වැව කැඩී යැම නිසා ඒ-9 මාර්ගය ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ලවී තිබුණි. තවත් වැව් කිහිපයක්‌ කැඩී යැමට ආසන්න වූ මොහොතේ යුද හමුදාව මැදිහත්වී වැලි කොට්‌ට ගසා වැව් බැමි ආරක්‍ෂා කිරීමට පියවර ගෙන තිබුණි.

අයහපත් කාලගුණය හේතුවෙන් වතුරෙන් යටවුණු ගම්මානවල ජනතාව බේරා ගැනීම සඳහා යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානවල පිරිස්‌ කටයුතු කරන බව කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතා පැවැසීය.

දිවයින
gossip lanka