gossip lanka

රැකව වෙල්යාය කකුළු ව්‍යාපෘතියකට - කලපුව අනතුරේ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රැකව වෙල්යාය මේවන විට විට බලහත්කාරයෙන් කකුළු ව්‍යාපෘතියක් සදහා පවරාගෙන ඇති බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.

මෙසේ පවරාගෙන ඇති වෙල්යාය රැකව කලපුවට ඉතාමත් ආසන්න වෙල් යායක් වන අතර රැකව මහ වැව යටතේ වගා කරමින් සිටි මෙම වෙල්යායේ ගොවි ජනතාවටත් නොදන්වා කකුළු ව්‍යාපෘතියක්
සදහා පවරාගෙන ඇති බව ඒ මහතා කියා සිටියි. ගොඩ සහ මඩ අක්කර හැත්තැපහක් පමණ වගා කරන මෙම වෙල් යාය මාළුවටවන වෙල් යාය ලෙස පුරාණ කාලයේ සිට හදුන්වනු ලබයි.

ක්‍රැබ් සිටි පියවර 2 ව්‍යාපෘතිය ලෙස හඳුන්වා ඇති කකුළුවන් ඇති කිරීමේ ව්‍යාපෘතියට රැකව වෙල්යායෙන් අක්කර හතලිස් පහක භූමි භාගයක් අත්තනෝමතික ලෙස ව්‍යාජ ඔප්පු හා ලියකියවිලි සදාගනිමින් පවරාගෙන ඇති අතර මෙහි සත්‍ය හිමිකරුවන් වන ගොවි ජනතාවට කකුළු ව්‍යාපෘතිය නිසා තමන් පාරම්පරිකව වගා කල භූමිය අහිමි වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

මෙම ව්‍යාපෘතිය පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් රවීන්ද්‍ර කාරියවසම් සමතා මෙසේ අදහස් පළ කර සිටියේය.

ඉඩම් මංකොල්ලය සාධාරනීකරණය කරලා

''මෙම ව්‍යාපෘතිය සදහා මූලික පාරිසරික පිරික්සීම් වාර්ථාවක් සකස් කොට ඇති අතර එම වාර්තාව මගින් රැකව වෙල්යායේ සිදුවන බලහත්කාර ඉඩම් මංකොල්ලය සාධාරණීකරනය කිරිමට උත්සහ දරා ඇත. එම වාර්ථාවට අනුව රැකව වෙල්යාය කිසිදු භාවිතයකයට නොගන්නා මුඩු භූමියක් නිසා කකුළු ව්‍යාපෘතිය සදහා ලබාදිම සුදුසුයැයි යෝජනා කර ඇත .

ව්‍යාපෘති වැඩ බිම සදහා ඉඩම් ලබාදීමට ගොවියන් කිහිප දෙනෙක් කැමති වී ඇතත් පාරම්පරික ගොවි ඉඩම් කකුළු ව්‍යාපෘතියකට පැවරීමට බොහෝ ගොවියන් අකමැති වුවද ව්‍යාපාරික හිමි කරුවන් වංචා සහගත ලෙස හා ගොවි ජනතාවට පහර දීම ,මරණ තර්ජන එල්ල කිරීම වැනි බියකිරීම වලින් මෙම ඉඩම් ලබා ගෙන ඇතුවා මිස කිසිදු නීත්‍යානුකූල ක්‍රමවිධියක් භාවිතා කර නොමැත.

සිය ඉඩමි අහිමි වීම නිසා ප්‍රාද්ශයේ ජනතාව විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ සම්බන්ධව තංගල්ල ප්‍රාදේශිය සභාවෙන් ඉඩම් නිදහස් කර ගැනීමට නීත්‍යානුකූල අවසරයක් ලබාදී ඇත්දැයි විමසු විට මෙම ව්‍යාපෘතිය සදහා ප්‍රාදේශීය සභාව මගින් පරිසර නිර්දේශයක් හෝ පරිසර බලපත්‍රයක් හෝ ඉඩම් සැළසුම් අනුමැතියක් හෝ ගොඩනැගිලි සැළසුම් ඇනුමැතියක් ඇතුළු කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බව සහතික කර ඇත.















































































නමුත් පරිසර අධිකාරිය මගින් 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ ප්‍රකාශිත අංක 772∙22 දරණ 1993.06.24 දිනැති අතිවිශේෂ පත්‍රයට අනුව ජාතික ජලජීවි සංවර්ධන අධිකාරිය මගින් මුලික පාරිසරික පරික්ෂණ වාර්ථාවක් කැදවා ඇති අතර මෙලෙස කැඳවන ලද වාර්ථාව ඉඩම් සම්බන්ධව හා එහි පාරිසරික වටිනාකම් සම්බන්ධව සැබෑ තොරතුරු අඩංගු කර නොමැති ව්‍යාජ වාර්තාවකි.

ඉඩමි හිමියන්ගේන් බලහත්කාරයෙන් ලබාගන්නා ලද ඉඩමි සදහා පාරිසරික අනුමැතියක් 2017.11.29 දින 08/EIA/AQUA/ 03/ 2017 යටතේ පරිසර අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය සදහා අවසර ලබාදීමෙන් 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ විධිවිධාන අමු අමුවේ උල්ලංඝනය කර ඇත.

ඩොසර් කිරීම අරඹයි

තත්වය මෙලෙස තිබියදී නිතී විරෝධි ලෙස රැකව වෙල්යාය ගස් කපා ඉවත් කරමින් ඩොසර් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාවට සිය ඉඩම් අහිමි වනවා පමණක් නොව ප්‍රදේශයේ පරිසර පද්ධතියද විනාශ වීමට පටන්ගෙන ඇත.

සුවිශේෂි පරිසර පද්ධතියක්

රැකව ප්‍රදේශය සුවිශේෂි පරිසර පද්ධතියකට හිමිකම් කියන ප්‍රදේශයකි. වැව්, කලපුව සහ මුහුදු පරිසර පද්ධතිය නිසා ප්‍රදේශයේ විදේශිය සංචාරකයින්ගේ වැඩි අවධානයක් මෙම ප්‍රදේශයට වසර පහළොවක සිට පමණ යොමු වී ඇත. එම නිසා රැකව ප්‍රදේශය දේශිය හා විදේශිය සංචාරකයින්ගේ තොතැන්නක් වන අතර සුවිශේෂි වූ සත්ව හා ශාක විශේෂ ගණනාවක්ද මෙම ප්‍රදේශය පෙහොසත්ය .

34122458 456736548103506 4152351923388809216 nරැකව මුහුදු තීරය ලොව කැස්බා සංරක්ෂණයට සුවිශේෂි මුහුදු තීරයක් වන අතර ඔලුගෙඩි කැස්බෑවා (Caretta caretta),දාර කැස්බැවා (Dermochelys coriacea) ,කොළ කැදැබාවා ,බටු කැස්බැවා (Lepidochelya olivaecea පොතු කැස්බැවා (Eretmochelys imbricata)යන කැස්බා විශේෂ පහ දැක ගත හැකි අතර ඔහුන්ගේ සංරක්ෂණ කටයුතු ප්‍රජා මූලික කටයුත්තක් ලෙස මෙම ප්‍රදේශයේ සිදුවේ.

මෙරට හුමුවන කඩොලාන විශේෂ අතරින් රැකව කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ කඩොලන හා ආශ්‍රිත ශාක විසි හතක් පමණ හමුවන (Thespesia populnea) , (Avicennia marina), (Burguiera sexungula),(Cerbera manghas) සුවිශේෂී කඩොල් ශාක ගණනාවනක් කලපුව අලංකාර කර ඇති අතර කලපුව ආරක්ෂා කිරීමට මෙන්ම කලපුවේ මත්ස්‍ය ගහණය වැඩි කිරීමටද මෙය හේතුවක් වී ඇත. එම නිසාම ප්‍රදේශයේ ජනතාව බොහෝමයක් ගොවිතැන් කටයුතු කරමින් සිටියද කලපුවේ ධීවර රැකියාවේද නිරත වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා මේවන විට බලහත්කාරයෙන් විනාශ කරන වෙල් යාය අවට ප්‍රදේශයේ සුවිශේෂි වන ගහණයක් තිබූ අතර නුග (Ficus benghalensis ), මලිත්තන්(Salvadora presica )පලු Manikara hexandra) කුඹුක් (Terminalia arjuna)"ඉඹුල් ((Bombax malabaricum)ඇතුළු විශාල ශාක විවිධත්වයක් දැක ගැනීමට හැකිවිය.

මෙයට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික වළිකුකුලා ( Gallus lafayetii) ඇතුළු පක්ෂි විශේෂ හතලිහක් පමණ මෙම ප්‍රදේශයෙන් වාර්ථා වන අතර වියලි කලාපයේ හමුවන සර්ප විශේෂ ගණනාවක් මෙහි වාර්ථා වේ. ක්ෂිරපායි සත්ව විශේෂ අතර හික්මීයන් , වවුලන් හා බලල් පවුලේ සමාජිකයන් වන හදුන් දිවියා (Prionailurus viverrinus)වල් බළලා (Felis chaus) ඇතුළු ක්ෂීරපායී සත්ත්ව විශේෂ ගණනාවක් මෙම ප්‍රදේශයෙන් වාර්ථා වේ.

ජනතාවටත් රටටත් අතුල් පහරක්

මේ සා විශාල හා පොහොසත් ජෛව විවිධත්වයක් ඇති ප්‍රදේශයක් කකුළු ව්‍යාපෘතියකට හා හෝටල් ඉදිකිරීම වෙනුවෙන් විනාශ කිරිම ජෛව විවිධත්වයට මෙන්ම ප්‍රදේශයේ ගොවි , ධිවර ප්‍රජාවට මෙන්ම සංචාරක කර්මාන්තයෙන් ජිවත්වන ජනතාවටත් රටටත් අතුල් පහරකි .

පරිසරය හා ජන ජීවිතය නසමින් බලහත්කාරයෙන් ඉදිකරමින් තිබෙන ක්‍රැබ් සිටි පියවර 2 ව්‍යාපෘතිය දියත්කරන අතර තුර කකුළු අස්වැන්නේ අනතුරව විෂ රසායන සහිත ජලය මුදා හැරීමේ අවදානමක් ද පවතී. කකුළු ව්‍යෘපෘතිය මා රැකව කලපුව අතර සෘජු දුර මිටර් තුන්සියයක් පමණ වන අතර විෂ රසායන සහිත අපද්‍රව්‍ය කලපුවට මුදා හැරියහොත් ඉහත පෙන්වා දුන් සත්ත්ව විශේෂ හා ශාක විශේෂ බරපතල අනතුරකට පත්වනු ඇත.

මේ වන විට හලාවත කලපුව අවට සිදුකරමින් පවතින ඉස්සන් ඇති කිරීමේ ව්‍යාපෘති නිසා හලාවත කලපුවට හා එහි ජෛව විවිධත්වයට විශාල හානියක් සිදු වී ඇති අතර එය ධීවර ජනතාවට මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට බරපතල ලෙස හානි පමුණුවා ඇත.''

මෙලෙස ඉස්සන් හා කකුළු ව්‍යාපෘති නිසා ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පරිසර පද්ධති ගණනාවක් විනාශ වී ඇති අතර එම ප්‍රදේශවල සත්ත්ව විශේෂ බොහෝමයක් අනතුරට පත්ව ඇත.

රැකව කලපුව ආශ්‍රිතව සිදුකිරීමට යන මෙම ව්‍යාපෘතියද රැකව ප්‍රදේශය හා එහි ජෛව විවිධත්ටද ජන ජිවිතයටද ,ප්‍රදේශයේ ආරථිකයට ද විශාල ලෙස හානි සිදුකරනු නොඅනුමාන බව කාරියවසම් මහතා අවධාරණය කර සිටියි.
gossip lanka