gossip lanka

රට බේරා ගැනීමට සංඝ ආඥාවක් ඕන - වනවාසි රාහුල හිමි

මේ වන විට මේ රට පත්ව තිබෙන අරාජික තත්වයට ජනාධිපතිවරයා, නව අගමැතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා ,කැබිනට් අමාත්‍යවරුන් ඇතුලු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාම වගකිව යුතු බවත් එම නිසා මේ තත්ත්වයෙන් රට බේරා ගැනීමට සංඝ ආඥාවක් පනවා රාජ්‍ය පාලකයින් මෙල්ල කර රට නිවැරදි මාවතකට ගෙනයාමට ක්‍රියා කරන ලෙසට ත්‍රෛයිනිකායික මහානාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින බව ගල්කිරියාගම
නාමල් උයන නිර්මාතෘ පුජ්‍ය  වනවාසී රාහුල  හිමියෝ පැවසූහ.

පෙරේදා පෙරවරුවේ අනුරාධපුරයෙදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

වර්තමානයේ මේ රටට අත්ව තිබෙන ඉරණම ඉතාම කණගාටුදායකයි. විශේෂයෙන් රාජ්‍ය පාලකයෝ තමන්ව බලයට ගෙන එමාට කටයුතු කළ ජන්දදායකයෝ ගැන අනිවාර්යයෙන්ම සිතිය යුතුයි. පළමුවෙන්ම මම කාටවත් කඩේ නොයන බව සහ කිසිවෙකුටත් පක්ෂක්ග්‍රාහි නොවන බව කීමට අවශ්‍යයි. ඒ වගේම රටේ වර්තමානයේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය ගැන කතා නොකර නිහඬව සිටියොත්  බෞද්ධ භික්ෂුවක් සහ පුරවැසියෙක් ලෙසට මගෙන් රටට ඉටු විය යුතු යුතුකමක් සහ වගකීමක් පැහැර හැරියා විය හැකියි. මෙවැනි තත්ත්වයක් රටේ නිර්මාණය කළ වර්තමාන පාලකයින් ඊට වගකිව යුතුයි. ගමේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පසුගිය දිනවල විවිධ පැතිවලට පක්ෂව විවිධ කතා ප්‍රකාශ කළා.

රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීමට නම් මේ රටේ ත්‍රෛයි නිකායික මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ අන්‍යආගමික නායකයින් සියලු දෙනා එක මේසයකට පැමිණ එක අදහසකට සහ එක අරමුණකට පැමිණෙන ලෙසට මා ඉල්ලා සිටිනවා. එසේ නොමැතිව කිසිදාක මේ අර්බුදය විසඳීමට හැකියාවක් නෑ. ගමේ උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා මැදිහත්ව කටයුතු කිරීමට  ආගමික නායකයින්ට වගකීමක් තිබෙනවා.

පසුගිය දිනවල පැවති පාර්ලිමේන්තු රැස්වීම් වලදී ඇතැම් මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය දෙස බැලුවාම ඔවුන්ව පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවීමට  ජන්දය ලබා දුන් මිනිස්සුන්ට තමයි ගහන්න අවශ්‍ය .ගමේ රටේ පැවති කිසිම රජයකට  ජාතික ප්‍රතිපත්තියක් නෑ. ඒ නිසා ජාතික ප්‍රතිපත්තියක් නොමැති රජයන්ට කිසි දවසක පැවැත්මක් නෑ. ලෝකයේ අනෙකුත් රටවල් ජාතික ප්‍රතිපත්තියක් අනුවයි කටයුතු කරන්නෙ. ඒ දෙස දෑස් යොමා බලන්න කියා මා මේ රටේ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් උන්වහන්සේ පැවසුහ.

අනුරාධපුර -චතුරංග

gossip lanka