තිස්පන් කෝටියක් වතුරේ…

රුපියල් කෝටි තිස්පහක් පමණ මුදලක් වැය කරමින් ඉදිකරන ලද පැරෑලිය ධීවර වරාය විවෘත කිරීමටත් පෙරම වැලි වලින් ගොඩ වී ඉතා අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වී ඇති බව ධීවරයෝ කියති.

පළපුරුදු අත් දැකීම් තිබෙන ධීවරයන්ගේ අදහස් නොවිමසා නිලධාරීන්ගේ හිතුමනාපයට ධීවර වරාය ඉදිකිරීම නිසා පැරෑලිය ධීවර වරාය මෙම තත්ත්වයට
පත්ව තිබෙන බවද ධීවරයෝ ධීවරයෝ ප්‍රකාශ කරති.

මුහුදු වැලි වලින් ගොඩ වී ඇති භූමි ප්‍රදේශයේ අවට තරුණ පෙළ ක්‍රිකට් ගැසීම සඳහා යොදා ගන්නා අයුරුද දැක ගැනීමට හැකිවීම විශේෂ සිද්ධියකි. මේ පිළිබඳව සොයා බැලීමට අප එහි ගියවිට දී අහම්බෙන් මෙන් හමුවූයේ මෙම වරාය ලබා ගැනීමට මහත් වෙහෙස මහන්සි වී කටයුතු කල ධීවර නායකයෙකි. ඔහු නමින් තෙල්වත්ත පැරෑලියේ තොටුපොළ පාරේ පදිංචි අයියප්පුගේ ධර්මදාස හෙවත් සම්බරා (79) මහතාය. ධීවර වරාය ඉදි කිරීම සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසීය.

මම උපන්නේ පැරෑලියේ මුහුද අද්දර. හතේ පන්තියටයි, ඉස්කෝලෙ ගියේ. අවුරුදු දහතුනේදි (13) තමයි මුලින්ම මාදැල් ඔරුවකින් මුහුදෙන් මඩකලපු ගියේ. 1969 දී වේරගොඩ ගම් සභාවේ පැරෑලිය කොට්ඨාශයේ නියෝජිතයා හැටියට පත් වුණා. ඒ කාලයේ ගම් මට්ටමින් ධීවර සමිති තිබුණා. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය කරන්න වෙහෙස මහන්සි වී කටයුතු කළා. ඒ කාලයේ රජ්ගම මන්ත්‍රීවරයා වුණේ ඇම් ජී මැන්දිස් මහත්තයා. එදා ධීවර ඇමතිවරයා වුණේ ජෝර්ජ් රාජපක්ෂ මහත්තයා. ජෝර්ජ් රාජපක්ෂ මහත්තයගේ ලේකම් වුණේ ඇම් ජී මැන්දිස් මහත්තයගෙ බෑණා. ධීවර ඇමතිතුමා පැරෑලියේ ධීවර වරායක් සමඟ ධීවර නිවාස හදන්න රුපියල් ලක්ෂ අටක් (8,00000/-) වෙන්කළා. ඒ කාලයේ රුපියල් ලක්ෂ 08 ක් කියන්නේ මහ විශාල මුදලක්. 1977  දී ආණ්ඩුව වෙනස් වීමත් සමගම වරාය ඉදිකිරීම නතර වුණා.

අපේ තාත්තල සීයල 1956 රජයේ ධීවර ඇමතිවරයා වූ විලියම් සිල්වා මහත්තයගෙන් වරායක් ඉල්ලුවම බීකන් පහනක් දුන්නා. අපි 1994 පොදුජන එක්සත් පෙරමුණු රජයේ ධීවර ඇමති ඉන්දික ගුණවර්ධන, මහින්දරාජපක්ෂ, ෆීලික්ස් පෙරේරා ආදී ධීවර ඇමතිවරු ගානක් පස්සේ ගියා ධීවර වරාය හදා ගන්න. සුනාමිය ඇති වූ වෙලාවේ අපි හිටපු අනාථ කඳවුරටම ඇවිත් එවකට අගමැතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහත්තයා ධීවර වරායක් පැරෑලියට හදල දෙනවා කිව්වා. එදා ඉඳල මම රැවුල වැව්වා. 2014 දී රාජිත සේනාරත්න මහත්තයා ඇවිත් වරායට මුල්ගල තිබ්බා. මුල්ගල තිබ්බට සල්ලි වෙන් කරල නැහැ, කියල රාජිත මහත්තයාම කිව්වා. තව සති දෙකකින් ආණ්ඩුව පෙරළනවා කියලත් ඒ වෙලාවේ රාජිත මහත්තයා කිව්වා. ඒ කිව්ව වගේම ආණ්ඩුව පෙරළුනා. ඒ ගමනත් ධීවර වරායේ වැඩ නැවතුනා.



මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණාම මම ලිපියක් යැව්වා මුල්ගල උඩ බෙල්ල වැල දා ගන්නවා කියල. ඒකෙ පිටපතක් රාජිත සේනාරත්න මහත්තයටත් දැම්මා. රාජිත මහත්තයා වහාම මම ගෙන්වල මෛත්‍රීපාල මහත්තයා ළඟට එක්කගෙන ගිහින් ධීවර වරාය හදල දෙනවා කියල පොරොන්දුවක් දුන්නා. ඒ වෙලාවෙම මහින්ද අමරවීර ධීවර ඇමතිතුමාට කිව්වා වරාය හදල දෙන්න කියල. ඒ අනුව රුපියල් කෝටි 35 ක් වෙන් කරල වරායේ වැඩ පටන් ගත්තා. අන්න එහෙමයි, පැරෑලියේ ධීවර වරායේ ඉදිකිරීම් යහ පාලන රජය කාලේ ආරම්භ වුණේ.

ගල් වැටිය මීටර් 50 ක් දමද්දී අපි එපා කිව්වා. ඉංජිනේරුවන්ගේ වුවමනාවටයි මේ වැඩේ කළේ. උතුරෙන් ආපු රළ පහරට වැලි පිරුණා. අපි කිව්වම උතුරට මීටර් 95 ක ගල් වැටියක් දුන්නා. මේ ධීවර වරායේ වැලිහාරල ඉවත් කරල දුන්නොත් නැවත ගොඩවෙන්නේ නැති බව විශ්වාසයෙන් යුතුව කියනවා.

තෙල්වත්ත, මැටිවල, පරපේ පදිංචි ධීවර කාරිමිකයෙකු වන ඒ ඊ චතුරංග මහතා (27) මෙසේ කීය.

මම මුලදී පූර්ණකාලීනව කළේ ධීවර රක්ෂාවයි. ඒ රක්ෂාවේ තිබෙන අනතුරුදායකත්වය නිසාම ඒක මදක් අත් හැරියා. දැනට බේකරි රක්ෂාව කරනවා. ධීවර රස්සාවත් අතරින් පතර කරනවා. එහෙත් නිවාඩු වෙලාවට වැල්ලට ඇවිත් මාඵ ටිකක් අල්ලගෙන යනවා. අදත් ආවේ ඒ විදියට මාඵ ටිකක් අල්ලගෙන යන්නයි.

මේ වරාය හැදුවේ පැරෑලියේ සුදුසුම ස්ථානයේ. එහෙත් එය ඉදිකිරීමේදී ඇති වූ අඩු පාඩුවක් නිසයි, මෙහෙම වැලි ගොඩ වුණේ. ගැඹුරුම තැන මෙතැනයි. සමහරු කියන්නේ බුදු පිළිමය ඉදිරිපිට තිබෙන නිසා අසාර්ථක වුණා කියලයි. මේ වරාය හදන මුල් දිනවලදී දෙදෙනෙක්ම මුහුදේ ගිලී මැරුණා. එහෙම තිබූ තැනයි, අද මෙච්චර ගොඩවෙලා තිබෙන්නේ. මෙය හරි හැටි හදල දුන්නොත් ධීවරයන් විශාල පිරිසකට සෙතක් වෙනවා.

මෙම ධීවර වරාය ඉදිකිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා මෙසේ පැවසීය.

සුනාමි ඛේදවාචකයෙන් දකුණේ ප්‍රධාන ව්‍යාපාර දෙකක් වන ධීවර කර්මාන්තයට හා සංචාරක ව්‍යාපාරයට හානි වුණා. දකුණේ ජනතාවගේ ආත්ම ශක්තිය නිසා කෙටි කලක් තුළදී නැගී හිටින්නට පුඵවන් වුණා. ධීවර කර්මාන්තයෙන් උපරිම අස්වැන්නක් ලබා ගන්න බැරි වී තිබෙනවා.  කුඹුරක් වුවත් පරිසරය ආරක්ෂා කරගෙන කළොත් විතරයි, ඉහළ අස්වැන්නක් ලබා ගන්න හැකි වන්නේ. මගේ නෝනගේ තාත්තත් හොඳ මරක්කලහේ කෙනෙක්. මම පදිංචි  ප්‍රදේශයේ ධීවරයින් විශාල වශයෙන් සිටිනවා.

ඉස්සර හිටපු ධීවරයෝ මාඵවා පස්සේ පන්නගෙන ගිහින් ඇල්ලුවේ නැහැ. මාඵවා තමන් ළඟට ගෙනැවිත් අල්ල ගත්තා. නවීන උපකරණ නොතිබුණත් ඒ අයට ඒ පිළිබදව හොඳ දැනුමක් අවබෝධයක් තිබුණා. පැරෑලිය ධීවර වරාය විවෘත කරන්න කලින් ගොඩවෙලා. එය ළමයින් බෝල ගහන පිට්ටනියක් බවට පත්කර ගෙන. අසාර්ථක තත්ත්වය එයින්ම පේනවා. දියවැල් යන ආකාරය අධ්‍යයනය කරලයි, වරායක් හැදිය යුක්තේ. අපේ රටේ උපාධි ලබපු ඉහළ නිලධාරින් ප්‍රායෝගිකව කරමාන්තයේ යෙදෙන අයගේ අදහස් වලට ගරු කරන්නේ නැහැ. සාම්ප්‍රධායික ධීවරයින්ගේ අදහස් ලබා නොගත් නිසයි, පැරෑලිය ධීවර වරාය අසාර්ථක වුණේ.

– ජයකාන්ත ලියනගේ