gossip lanka

දුම්රිය ගාස්තුත් ඉහළට

දුම්රිය ගාස්තු සඳුදා (01 දා) සිට ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. මහා භාණ්ඩාගාරයේ උපදෙස් මත මෙලෙස දුම්රිය ගාස්තු සංශෝධනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

දුම්රිය ගාස්‌තුව සංශෝධනය කරනු ලබන්නේ වසර දහයකට පසුව බව පවසන දුම්රිය දෙපාර්තමේන්තුව මෙම සංශෝධනයෙන් පසුව ද දුම්රිය ගාස්‌තුව තවදුරටත් බස්‌ ගාස්‌තුවට වඩා අඩුවෙන් පවතින බව පවසයි.

කලින් පැවති අවම ගාස්‌තුව තුන්වැනි පන්තිය රු. 10/-, දෙවැනි පන්තිය රු. 20/- හා පළමු පන්තිය රු. 40/- තවදුරටත් නොවෙනස්‌ව පවතින අතර අවම ගාස්‌තුවට යා හැකි උපරිම දුර කලින් පැවති දුරට වඩා අඩුකර ඇත. ඒ අනුව කලින් රු. 10/- ට ගමන් කළ හැකි අවම දුර කි. මී. 09 සිට කි. මී. 07 දක්‌වා අඩුකර ඇත. මෙම ප්‍රවේශපත්‍ර ගාස්‌තුව සංශෝධනය වීමත් සමඟ වාර ප්‍රවේශපත්‍ර ගාස්‌තුව ද සංශෝධනය වන අතර වාර ප්‍රවේශ පත්‍ර සඳහා මෙතෙක්‌ අය කළ ප්‍රතිශතයේ වෙනසක්‌ සිදු නොවේ.

ඒ අනුව රජයේ සේවක වාර ප්‍රවේශ පත්‍රයකට අයකරනු ලබන ගාස්‌තුව වන්නේ තනි ගමන් වාරයක ප්‍රවේශ පත්‍ර වටිනාකම මෙන් නව ගුණයක්‌ වන අතර පෞද්ගලික අංශයේ වාර ප්‍රවේශ පත්‍ර සඳහා අයකරනු ලබන ගාස්‌තුව වන්නේ තනි ගමන් වාරයක ප්‍රවේශ පත්‍ර වටිනාකම මෙන් විසි හතර ගුණයකි. එනම් දින දොළහක්‌ සඳහා වන මුදලකි. එමෙන්ම පාසල් සිසුන්ගෙන් සහ විශ්වවිද්‍යාල, පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් අයකරනු ලබන ගාස්‌තුව වන්නේ තනි ගමන් වාරයක ප්‍රවේශ පත්‍ර වටිනාකම මෙන් හය ගුණයක ගාස්‌තුවකි.
gossip lanka