gossip lanka

අණබෙර ගසා අධිකරණ නියෝගයක් දැනුම් දෙයි

හලාවත අධිකරණ බල ප්‍රදේශයට අයත් මාදම්පේ ප්‍රදේශයේ නිවෙසක අයිතිය පිළිබඳ පැවැති නඩු විභාගයකදී පැමිණිලිකරුට ඉඩමේ අයිතිය හිමිවීම හා දැනට එහි පදිංචිකරුවන් වී සිටින පුද්ගලයන්ට ඉන් ඉවත් වීම පිළිබඳව දැනුවත් කිරීම හා ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා අණබෙරය යොදාගෙන ඇත.

වෘත්තීය බෙර වාදකයකු විසින් මේ අණබෙරය ගැසූ අතර හලාවත අධිකරණයේ පිස්කල් නිලධාරි
ජෝන්ස් වාස් මහතා අධිකරණ නියෝගය කියවන ලදී. මාදම්පේ නගරයේ ස්ථාන කිහිපයක මෙය සිදුවූ අතර මෙය දැක බලා ගැනීම සඳහාද විශාල ජනතාවක් එක් විණි.

2002 වසරේ සිට හලාවත මහෙස්ත්‍රාත් හා දිසා අධිකරණයේ මේ නඩුව විභාග වී ඇති අතර මෙහි පැමිණිලිකරු වන්නේ වන්නිනායක මුදියන්සේලාගේ රත්නසිරි නමැති අයයි. විත්තිකරු වූයේ අන්දර පින්තුගේ පර්ලි මේරි බර්නදෙත් පින්තූ නමැත්තියයි. තම ඉඩමේ හා නිවෙසේ විත්තිකරු අනවසරයෙන් පදිංචිව සිටින බවට වූ පැමිණිල්ල විභාග කළ හලාවත දිසා හා මහෙස්ත්‍රත් අධිකරණය අදාළ ඉඩමේ නිරවුල් භුක්තිය හා අයිතිය රත්නසිරි නමැති අයට බව තීන්දු කරන ලදී. එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් වයඹ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයට කරන ලද අභියාචනය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ විණි.

ඒ අනුව හලාවත අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මඟින් පිස්කල් නිලධාරි වෙත දැනට මේ ඉඩමේ රැඳී සිටින පුද්ගලයන් ඉවත් කරන ලෙසත් ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙසත් සඳහන් නිවේදනය ප්‍රසිද්ධ කිරීමද සිදුවිණි.


gossip lanka