gossip lanka

වයස 21 වෙද්දී උපාධියක් ගන්න හැකි වැඩපිළිවෙළක් - ඇමැති අකිල

දරුවන්ගේ කාලය නාස්ති නොකර ඔවුන්ට වයස 21 ක් පමණ වන විට උපාධියක් හා වයස 25ක් වන විට ආචාර්ය උපාධියක් ලබාගැනීමට හැකි අයුරින් අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කිරීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ වන තුරු හා උසස් පෙළින් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ වන තුරු බලාසිටීමට ගතවන කාලය අඩු වන අයුරින් විභාග පැවැත්වීමට මේ
වන විට සැලසුම් කර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙකම දෙසැම්බරයේ පවත්වා එම මාසයේම ප‍්‍රතිඵල ද නිකුත් කර ජනවාරියේ උසස් පෙළ හා විශ්ව විද්‍යාල ඇරඹීම ඉලක්කය බව ද ඇමතිවරයා කීවේය.

ඒ සඳහා ක‍්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව හා එක්ව මේ වන විට සැලසුම් කරමින් පවතින බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල නිකුත් කරන දින අප ලබා දී තිබෙන බව කී අමාත්‍යවරයා උත්තර පත‍්‍ර පරීක්‍ෂාව නිසා පාසල් ගණනාවක් නිවාඩු කාලවලින් පසු නියමිත දිනයේදී ආරම්භ කිරීමට නොහැකි වීම ගැටලූවක් බව ද මෙහිදී කීවේය.

එබැවින් විභාගය පැවැත්වූ සැණින් උත්තර පත‍්‍ර පරීක්‍ෂා කිරීම අරඹා හැකි තරම් නිවාඩු කාලය තුළදීම අවසන් කරන ලෙස විභාග කොමසාරිස්වරයාට උපදෙස් දී ඇති බව කී අකිල විරාජ් කාරියවසම් මහතා, මෙවර උත්තර පත‍්‍ර පරීක්‍ෂාව සඳහා පාසල් වසා තැබුවේ දින 5ක පමණ කාලයක් බව ද කීවේය.


gossip lanka