gossip lanka

හොරෙන් පස් පැටවූ සෝලංගආරච්චිට ලැබුණු තීන්දුව - Video

අනවසරයෙන් පස් ප්‍රවාහනය කරමින් සිටියදී අනතුරක් සිදුකළ කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චිට අයත් ටිපර් රථයක් වහාම පොලීසියට ඉදිරිපත් කරන ලෙස අධිකරණය ඊයේ නියෝග කළා.

ඒ අදාළ ලොරි රථයේ රියදුරු කොළඹ අතිරේක මහේස්ත්‍රත් තනූජා ජයතුංග හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේයි.

එල් එන් 0088 දරණ කොටිකාවත්ත මුල්ලේරියාව
ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චිට අයත් මෙම ටිපර් රථය මුල්ලේරියාව දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබුණේ පසුගිය 30 වනදා රාත්‍රියේදීයි.

පෙරේදා පෙරවරුවේ එම ස්ථානයට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ පස් ප්‍රවාහනය කිරීම සදහා බලපත්‍රයක් තිබේදැයි රියදුරුගෙන් විමසා තිබෙනවා.

එහිදී තර්ජනාත්මක ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පිළිතුරු ලබාදුන්නේ එම ස්ථානයේ සිටි කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චියි.

‘‘ ප්‍රසන්න සෝලංගආරච්චි - ඒවා ඔක්කොම මම ඉදිරිපත් කරන්නම්. ඔෆීස් එකේ තියෙන්නේ.

පොලිස් ස්ථානාධිපති - මුල්ලේරියාව - වාහනයේ තියෙන්න ඕනේ සභාපතිතුමා, වාහනයක පස් අරන් යද්දී තියෙන්න ඕනේ බලපත්‍රය.

ප්‍රසන්න සෝලංගආරච්චි - මම දන්නවා නීතිය. ඇක්සිඩන්ට් එක වුණාම මෙතන කවුරුත් නැහැනේ. ඒවා ඔක්කොම ඔෆීස් එකට අරන් ගිහින් තියෙනවා. මම ඒවා ඉදිරිපත් කරන්නම්. ප්‍රශ්නයක් නැහැ මම වැඩේ කරන්නම්. මට නීතිය උගන්වන්න එපා. මම දන්නවා. මට මේ අමුතුවෙන් නීති උගන්වන්න ඕනේ නැහැ. මමත් නීතිය දන්නවා.’’

කෙසේ වෙතත්, ඊයේ පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග හමුවට ටිපර් රථයේ රියදුරු ඉදිරිපත් කරන තුරුම ප්‍රසන්න සෝලංගආරච්චි අදාළ බලපත්‍රය ඉදිරිපත් කර තිබුණේ නැහැ.

ඊට අමතරව ඔහු අදාළ ටිපර් රථය පොලීසියට භාර නොදී එම ස්ථානයෙන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළා.

ටිපර් රථයේ රියදුරු රුපියල් 50,000 ශරීර ඇපයක් මත මුදා හැරීමට කටයුතු කළ මහේස්ත්‍රාත්වරිය ප්‍රසන්න සෝලංගආරච්චිට නියෝග කළේ වහාම අදාළ ටිපර් රථය පොලීසියට ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චිට පස් ගබඩා කිරීමට යොදා ගන්නා එම ප්‍රදේශයේ ඉඩම් දෙකක් සම්බන්ධයෙන් ද ලැබුණු පැමිණිලි විමර්ශනයට පොලීසිය කටයුතු කළා.

මේ එහිදී පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතර ඇති වූ සංවාදයයි. 

‘‘ ප්‍රශ්නය - කාගෙද මේ යාඩ් එක.

- සභාපතිගේ මෙහෙ හිටපු. යටවෙනවා, ඔක්කොම යටවෙනවා ගෙවල්. එක්කෙනෙක් කතා කළොත් ඒ කතා කරපු මිනිහා තමයි ඉවර වෙන්නේ.

ප්‍රශ්නය - ගේ යටවෙනවා මේකට නේද?

- යටවෙනවා මේ සැරේ මේක විතරක් නෙමෙයි මේ ඔක්කොම යටවුණා.

- ප්‍රසන්න මහත්තයා තමයි. 

ප්‍රශ්නය  - සභාපතිතුමාද? ප්‍රසන්න සෝලංගආරච්චිද? කොච්චර කාලයක් ඉඳලද එයා කරන්නේ ඕකග

- දැන් අවුරුදු 8 ක් 9 ක් විතර වෙනවා. 

ප්‍රශ්නය - එතකොට මේක තියෙන්නේ වෙළක් විදිහටද කොහොමද? මේ ගෙවල් හදලා තියෙන්නේ වෙළවල් උඩ.

ප්‍රශ්නය - එයාද ඔක්කොම ගොඩ කළේ එතකොට. 

- මේ මුළු ප්‍රදේශයම තමයි ’’ 

මෙම ඉඩම් සම්බන්ධයෙන් ද අද දිනයේදී මුල්ලේරියාව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සදහන් කළේ ඉන් එක් ඉඩමක් ප්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිඳට අයත් වන බවයි.

එම ඉඩමේ පස් ගබඩා කිරීමට බලපත්‍රයක් පවතීනම් එය ලබන 10 වනදාට පෙර පොලීසියට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය එහිදී නියෝග කර තිබෙනවා.

මෙම ඉඩම්වල පස් ගබඩා කිරීම සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ද එදිනට වාර්තාවක් කැදවා ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

gossip lanka