gossip lanka

හැරී - මෙගන් විවාහ වෙයි! - (ඡායා)

ඔටුන්න හිමි චාල්ස් කුමරු ගේ බාල පුතණුවන් වන හැරී කුමරු හා ඇමෙරිකානු නිළියක් වන මෙගන් මාර්කල් ඊයේ  (19) වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී විවාහ විය.
හැරී කුමරු ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට පැමිණියේ සිය සොහොයුරා වන විලියම් කුමරු සමගය.

මෙගන් ගේ මංගල ගවුම නිර්මාණය කර තිබුණේ ජිවන්චි විලාසිතා මැදුරේ නිර්මාණ අධ්‍යක්ෂිකාව වන බ්‍රිතාන්‍ය ජාතික ක්ලෙයාර් කෙලර් විසිනි. මීටර් 5ක් දිගැති ඇගේ මංගල වේලය සේද ටූල් වලින් නිමවූවකි. ඇගේ හිස මත පළඳා තිබුණේ මහරැජින විසින් ඇයට මෙම අවස්ථාව සඳහා ලබාදුන් මේරි රැජිනගේ දියමන්ති ටියාරාවයි. ඉතාම සරල ලෙස සැරසුනු මෙගන් අත තිබුණු මල්පොකුරට හැරී විසින් සිය පෞද්ගලික ගෙමිදුලෙන් නෙළාගනු ලැබූ මල් කිහිපයක් ද ඔහුගේ මව ගේ ප්‍රියතම මල වන ‘ෆොගෙට් මී නොට්’ විශේෂයද ඇතුළත් වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙගන් විසින් දෙවැනි මනමාලියක් එක්කරගෙන නොතිබීම මෙහි විශේෂත්වයක් විය. මංගල වේලය ගෙන යාම සඳහා ඇයට සහය දෙනු ලැබුවේ ඔවුන් ගේ මල්කුමරුන් දෙදෙනෙකි. හැරී හා මේගන් ගේ විවාහයට මල්කුමරුන් සිවුදෙනෙකු හා මල්කුමරියන් සයදෙනෙකු එක්කරගෙන තිබුණු අතර, ඔවුන් අතර විලියම් හා කේට් ගේ වැඩිමහල් දරුවන් වන ජෝර්ජ් කුමරු හා චාලට් කුමරියද විය.

විවාහ උත්සවය සඳහා දෙවැනි එලිසබෙත් මහරැජින හා ඇගේ වල්ලභ කුමරු වන පිල්ප් කුමරු ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන් රැසක් මෙන්ම ඕප්රා, සෙරීනා විලියම්ස්, එල්ටන් ජෝන්, ඩේවිඩ් හා වික්ටෝරියා බෙකම් වැනි ලොව සුපිරි තරු රැසක් ද එක්විය.

දේවස්ථාන දොරටුවේ සිට තනිව ගමන් කළ මෙගන්ව, දේවස්ථානයේ ක්වයර් (Quire) ප්‍රදේශය ආරම්භ වන ස්ථානයේ සිට අල්තාරය දක්වා කැඳවාගෙන යනු ලැබුවේ හැරී කුමරු ගේ පියා වන චාල්ස් කුමරු විසිනි. සිය පියා වන තෝමස් මර්කල් හෘද රෝගයක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බැවින් ඇගේ පියා ගේ ස්ථානය ගන්නා මෙන් මෙගන් චාල්ස් කුමරු ගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

විවාහපත් වීමෙන් පසුව දේවස්ථානයෙන් නික්මුනු නව යුවළ 'ඇස්කොට් ලන්ඩෝ' (Ascot Landau) අශ්ව කරත්තයේ නැගී නගරයේ වීදි සංචාරකයක නිරත වූයේ දෙපස රැස්වූ ජනතාවගේ ඔල්වරසන් හඬ මැදිනි.

මේ අතර එලිසබෙත් රැජින විසින් හැරී කුමරුට සසේක්ස්හි ආදිපාදවරයා (Duke of Sussex) පදවිය පිරිනමා ඇති අතර, ඒ අනුව මෙගන් මාකල්, මේ වන විට සසෙක්ස් හි ආදිපාදවරිය බවට පත්වී අවසන්. එමෙන්ම එලිසබෙත් රැජින විසින් හැරී කුමරුට (Prince Harry) ඩම්බටන්හි අර්ල්වරයා (Earl of Dumbarton) සහ කිල්කීල්හි බැරන්වරයා (Baron Kilkeel) පදවි ද පිරිනමනු ලැබුවාය.

ඔවුන් ගේ අපූරු විවාහ උත්සවයේ අවස්ථා කිහිපයක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසිනි.
gossip lanka