gossip lanka

කටුපොල්වලින් ආර්ථික වාසියක් නෑ - නවීන්

කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ කටුපොල් වගාව වහාම නතර කරන ලෙස වතු සමාගම්වලට දැනුම් දෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

කෑගල්ලේ දිසා ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර පාරිසරික පරීක්‍ෂණයක්‌ පවත්වා තීරණයක්‌ ගන්නා තුරු එම නියෝගය අකුරටම ක්‍රියාත්මක කළ
යුතු බවද අවධාරණය කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මේ ගැටලුව සම්බන්ධව අපි මහත්වරු වශයෙන් සාකච්ඡා කරමු. මෙම කටුපොල් වගාව සඳහා තීරණයක්‌ ගෙන තිබෙන්නේ 2013 වසරේ පෙර පැවැති රජයයි. එහිදී දිවයිනේම හෙක්‌ටයාර් 20,000 ක්‌ වැවීමටයි තීරණය වී තිබුණේ. එයට වඩා එක අඟලක්‌වත් වවන්න මම ඉඩ දෙන්න කිසිම අදහසක්‌ නැහැ. එය ඉතාමත් විශ්වාසයෙන් යුක්‌තව මම කියනවා".

"අපිට තේරෙනවා මේ ගැන තිබෙන හැඟීම. මේවා මැලේසියාවේ අක්‌කර දහස්‌ ගණනක්‌ වනාන්තර නැති කරලා ඔවුන්ගේ ජීවනෝපාය අහිමි කරලා වවලා තිබෙනවා. අපිට එහෙම තත්ත්වයක්‌ තවම නැහැ. එහෙම තත්ත්වයකට යන්නෙත් නැහැ. කටුපොල් වගාව හරහා ආර්ථිකයට විශාල රුකුලක්‌ වෙයි කියා සිතන්නේත් නැහැ. ඒ සඳහා කටුපොල් වගාව ඇතිකරන්න අපේ බලාපොරොත්තුවක්‌ නැහැ. එය කරන්නත් බැහැ".

"කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ විශේෂයෙන් නායයාම්වලට ගොදුරුවන නිසා විශේෂ සැලකිල්ලක්‌ දක්‌වන්නට වෙනවා.විශේෂයෙන් නාය යන ප්‍රදේශවල මෙම වගාව නතර කළ යුතුයි කියා දිස්‌ත්‍රික්‌ ලේකම්තුමා කීවා. වවන තැන් හරියට හඳුනා ගෙන ඉඩම්වල යම් ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් විකල්ප ක්‍රමයට යන්න කැමැතියි. මේ වගාවෙන් අපිට පාම් ඔයිල් හදාගන්න බැහැ. ලක්‌ෂ ගණනක්‌ සේවකයො ඉන්න සමාගම් ඒ අය ගැනත් බලන්න ඕනෑ. සමාගම් සමඟ සාකච්ඡා කරලා අවම පරිසර නීති දමලා පාලනය කරන්න පුළුවන්. ඒ කොන්දේසිවලට යටත්ව කටයුතු කරන්න" යැයි පැවසීය .

මෙම අවස්ථාවට වැඩම කළ මණ්‌ඩාවල සිරි සෝභන හිමි කියා සිටියේ කටුපොල් වගාව නිසා දැනටමත්  විශාල පරිසර විනාශයක්‌  සිදුව ඇති බවයි .අවිධමත්  පාරවල් කැපීම හේතුවෙන් පහත් නිවෙස්‌ යටවී යාමේ තත්ත්වයක් උද්ගතව ඇති බවද උන්වහන්සේ කියා සිටියේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ නිලධාරීන්, පාරිසරික අමාත්‍යාංශ නිලධාරීන් හා ප්‍රදේශයේ වතු සමාගම්වල නිලධාරීන්, ප්‍රදේශයේ මහා සංඝයා සහ ජනතාවද සහභාගි වී සිටියහ.




gossip lanka