gossip lanka

කිඹුලෙක් ගසක එල්ලා මස් කළ දෙදෙනකුට ලක්‍ෂයක් දඩ

උෟරගස්මන්හන්දිය, පහළවෙල ප්‍රදේශයේ කිඹුලකු ගසක එල්ලා මස් කරමින් සිටියදී උෟරගස්මන්හන්දිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාට එක් අයකුට රුපියල් පනස්දහස (50,000) බැගින් රුපියල් ලක්‍ෂයක (100,000) දඩයක් ඇල්පිටිය මහෙස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියම කළේය.
මෙසේ දඩ නියම වුණේ උළුපට්ටලේවත්ත, පහළවෙල, උෟරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි
හේරත් මුදියන්සේලාගේ ශාන්ත (35) සහ එම ලිපිනයේම පදිංචි හේරත් මුදියන්සේලාගේ දිනේෂ් චතුරංග (37) යන දෙදෙනාටය.


උෟරගස්මන්හන්දිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක විජිත් ජයන්ත මහතාට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා සමඟ කිඹුල් මස් තොගයම අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනය කරන ලද කිඹුලා අඩි 10ක් පමණ දිගු බවද උෟරගස්මන්හන්දිය පොලිසියේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
මොවුන් දෙදෙනා උෟරගස්මන්හන්දිය, පහළවෙල කැලෑබද ප්‍රදේශයක පිහිටි වගුරු බිමක් ආශ්‍රිත ගං ඉවුරක මාළු අල්ලමින් සිටියදී කිඹුලකු සිටිනු දැක ඇති බවත් පසුව දෙදෙනා හා එක්ව කිඹුලා මරා මස් කර ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. කිඹුලා එම කැලෑ ප්‍රදේශයේම ගසක එල්ලා මස් කර තිබෙන බවද උෟරගස්මන්හන්දිය පොලිසිය පැවැසීය.

කිඹුලා මරණ අයුරු එම ප්‍රදේශයේම තවත් අයකු දැක තිබෙන බවත් ඔහුද කිඹුල් මස් කොටසක් ඉල්ලා ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ. එහෙත් ඔහුට අවශ්‍ය කිඹුල් මස් ප්‍රමාණය ලැබී නොමැත. පසුව ඔහු විසින් පොලිසියට මේ සම්බන්ධ ඔත්තුව දෙන්නට ඇතැයි සැකකරුවෝ විශ්වාස කරති.

වනජීවී හා වෘක්‍ෂලතා ආඥා පනත අනුව කිඹුලා සංරක්‍ෂිත සත්ත්වයකු බවත් ඒ නිසාම කිඹුලන් ඝාතනය නීති විරෝධී බවත් උෟරගස්මන්හන්දිය පොලිසිය පැවැසීය.
උෟරගස්මන්හන්දිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක විජිත් ජයන්ත මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් ධනපාල (28634) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවිය.

gossip lanka