gossip lanka

"සංහිඳියාව බලෙන් දෙන්න ගියාම ඔහොම තමයි " නුවර සිද්ධිය ගැන ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායමේ කතා වුන දේවල් එළියට !

ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තුවේදී රැස්‌වූයේ හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙනි. ඒ වන විට මහනුවර කලබලකාරි තත්ත්වය පාලනය කරනු වස්‌ රජය ඇඳිරි නීතිය පනවා තිබුණි. පාර්ලිමේන්තු කණ්‌ඩායමේදී දී වැඩි අවධානයක්‌ යොමු වූයේ මහනුවර තත්ත්වය ගැනය.

 ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ පොදු අදහස වූයේ මෙම කලබල පසුපස ප්‍රබල හස්‌තයක්‌ තිබෙන්නට පුළුවන් බවය. බොහෝ දෙනා කීවේ පසුගිය මැතිවරණයේ දී ආණ්‌ඩුව ලැබූ පරාජයෙන් අනතුරුව ඇති වුණු දේශපාලන අස්‌ථාවරත්වයත් පිළිබඳ කතාබහ වෙනතක යොමු කරන්නට සිතාමතා මෙවැනි ක්‍රියාවක්‌ කළා දැයි සැක සහිත බවය.


 "දැන් ආණ්‌ඩුව ලැහැස්‌ති වෙන්නේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නයි. මේ කලබල පිටදාලා ජනතා විරෝධය මර්දනය කිරීමේ උත්සාහයකුත් දරන බවක්‌ තමයි ඒකෙන් පේන්න තියෙන්නේ. මොකද හදිසි නීතිය තියෙන කොට උද්ඝෝෂණ, පෙළපාළි මොකක්‌වත් කරන්න බැහැ. ආණ්‌ඩුව පිටපොට ගහන්නේ මොකටද කියන එක ගැන අපිට ලොකු සැකයක්‌ තියෙනවා" වාසුදේව පෙන්වා දුන්නේය.

 "සංහිඳියාව බලෙන් මිනිස්‌සු පිට පටවන්න ගියාම වෙන දේවල් තමයි මේ. මේකෙන් වුණේ මෙච්චර කල් සිංහල මිනිස්‌සු සහ අනෙක්‌ ජාතීන් අතර තිබුණු ඇයි හොඳයියත් නැති වුණ එකයි" පවිත්‍රා කීවාය.

 මේ අතර මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වූයේ බදාදා පැවැත්වීමට නියමිතව තිබුණු ඒකාබද්ධ විපක්‌ෂයේ නුගේගොඩ ජනරැළිය සම්බන්ධයෙනි. පසුගිය මැතිවරණයේ දී ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ඒකාබද්ධ විපක්‌ෂය තීන්දු කළේ වහාම මහ මැතිවරණයකට යා යුතු බවට ආණ්‌ඩුවට බල කරමින් රට පුරා ජනරැලි මාලාවක්‌ පවත්වන්නටය.

 එහි ප්‍රථම රැලිය පැවැත්වීමට නියමිතව තිබුණේ නුගේගොඩදීය. ඒ මාර්තු මස 07 වැනිදාය. එහෙත් රටේ පැවැති කලබලකාරි තත්ත්වය මත හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්‌ථාවක ජන රැලිය පැවැත්වීමේ අවදානම සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රීවරුන්ගේ අදහස්‌ ඉදිරිපත් කෙරිණි. ඒ අනුව ඒකාබද්ධ විපක්‌ෂයේ නායකයන් තීන්දු කළේ පසුදින පැවැත්වීමට නියමිතව තිබුණු ජනරැලිය නවතා දැමීමටය.

 "ආණ්‌ඩුව මේ කලබල පටන් ගත්තේ අපේ රැලිය නතර කරන්න හිතාගෙනමද දන්නේ නැහැ" ප්‍රසන්න පැවසීය.

 "ඒකත් කියන්න බැහැ. ආණ්‌ඩුව හොඳාකාරවම දන්නවා. පහුගිය ඡන්ද ප්‍රතිඵලත් එක්‌ක ජනමතය තියෙන්නේ කොතැනද කියලා. ගිය අවුරුද්දේ මැයි රැලියට ආවටත් වඩා සෙනඟක්‌ මේ රැලියට එයි කියන එකත් ආණ්‌ඩුවට රහසක්‌ නෙමෙයි. ඒ හින්දා මේ කලබල පිටින් දාලා අපේ රැලිය කඩාකප්පල් කරන්න කටයුතු කළාද කියලා කවුද දන්නේ" පියල් නිශාන්ත කීවේය.

 "මොනවා වුණත් අපි රැලිය කල්දාන එක තමයි හොඳම දේ. මොකද අපේ රැලිය යන අතරතුරේ ආණ්‌ඩුව තමන්ගේ හෙංචයියෝ කිහිපදෙනෙක්‌ රැලියට එවලා කඩාකප්පල්කාරී වැඩක්‌ කළොත් සේරගෙම වගකීම ගන්න වෙන්නේ අපිට. ඒක අපේ කණ්‌ඩායමට නරක විදියට බලපාන්න පුළුවන්" දිනේෂ් කී කරුණ සැවොම අනුමත කළහ.

 "මම නම් කියන්නෙම මේ මහනුවර ආශ්‍රිතව හටගත්ත සිද්ධිය හදිසියේ හටගත්ත එකක්‌ නෙමෙයි කියලයි. ආණ්‌ඩුවට, ජනාධිපතිට, අගමැතිට විරුද්ධ මතයක්‌ තමයි දැන් රට තුළ ඇති වෙලා තියෙන්නේ. ඡන්දෙන් පස්‌සේ ජනතාව කතා කරන්නේ ඒ ගැන විතරයි. අන්න ඒක වෙනස්‌ කරන්න වෙනත් ප්‍රබල කාරණයක්‌ ඉදිරියට ගන්න ඕනේ කියලා හිතපු පිරිසක්‌ මේක පසුපස ඉන්නවා කියලයි මට හිතෙන්නේ" සිසිර පැවසීය.

 "ඒ කතාවෙත් ඇත්තක්‌ තියෙනවා. මොකද රනිල්ගේ මාමා 83 දී කළෙත් ඔය වගේම දෙයක්‌. එදා තිබුණු දේශපාලන තත්ත්වය උඩ ආණ්‌ඩුව බේරගන්න බොරු ජාතිවාදී කෝලාහලයක්‌ ඇති කළා. අද ඒ මාමගේ බෑනා කරන්නෙත් තමන්ගේ බලය රැකගන්න ජාතිවාදී කෝලාහල ඇති කරන එකයි" සනත් නිශාන්ත පැවසීය.

 "හැබැයි මේකෙන් වෙන්නේ රට තවත් අරාජික වෙන එකයි. මැතිවරණයෙන් පස්‌සේ මාසයකට කිට්‌ටු කාලයක්‌ ගෙවිලා ගියත් අදටත් රටේ ආණ්‌aඩුවක්‌ තියෙනවද නැද්ද කියලා මිනිස්‌සුන්ට වැටහීමක්‌ නැහැ. දවසින් දවස රට අගාධයට යනවා. මේ වගේ දේවල් නිසා ඒ ගමන වේගවත් වෙන එක විතරයි වෙන්නේ" ප්‍රසන්න පෙන්වා දුන්නේය.

 "මේක අසමත් ආණ්‌ඩුවක්‌ කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. තවදුරටත් බලයේ එල්ලීගෙන ඉන්න ආණ්‌ඩුවට කිසිම අයිතියක්‌ නැහැ. ඒ නිසා වහාම ආණ්‌ඩුව ගෙදර යා යුතුමයි" පියල් පැවසීය.
gossip lanka