gossip lanka

ඡන්දයට ගිය වාස් ඉතාලියේ පළාතක් දිනයි !

පළාත් සභා නියෝජිතයන් තේරීම සඳහා පසුගිය මාර්තු 04දා පැවැති ඉතාලි මැතිවරණයේදී ලොම්බාර්දියා පළාත් සභාවට ඉතාලි ප්‍රජාතන්පත්‍රවාදී පක්ෂයෙන් තරග කළ ශ්‍රී ලාංකිකයකු එම පළාත දිනා ගැනීමට සමත්ව සිටී.

ඔහු නමින් නිරන්ජන් වාස්ය.

මීගමුවේ උපන් ඔහු මුලින්ම ඇතුළුව ඇති පාසල වන්නේ නයිනමඩම රෝමානු කතෝලික පාසලයි,
පහවසරෙන් පසුව වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහලට ගොස් අධ්‍යාපනය ලබා තිබේ.

වසර 1977 වසරේදී ගණිත අංශයෙන් උසස්පෙළ සමත් වුවද ඔහුට විශ්ව විද්‍යාල වරම් අහිමිවී ඇත.

කෙසේවුවද, ඔහු ධීවර සංස්ථාවේ තාක්ෂණ නිලධාරියෙක් ලෙස සිය පළමු රැකියාවට සම්බන්ධ වී තිබේ.

පසුව ඔහු 1980 වසරේදී සිය හිතවතෙකු මාර්ගයෙන් ඉතාලියට පැමිණ ඉතාලියේ මන්ත්‍රීවරයකු වීම දක්වා ගමනට මාර්ගය හදාගෙන තිබේ.

ඔහු ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ කියා සිටී.

“ හැබැයි ආවම තමයි වැඩේ තේරුණේ. අපේ ලංකාවේ අධ්‍යාපන සුදුසුකම්වලට රස්සාවල් හොයන්න බැහැ මෙහේ. පිටරටවලින් එන හැමෝටම වගේ ඉතාලියේදී කරන්න වෙන්නේ පොඩි පොඩි රස්සා. මටත් සිද්ධ වුණේ ඉතාලි ගෙවල්වල, රෙස්ටුරන්ට්වල පොඩි පොඩි වැඩ කරන්න තමයි. ඒක ජීවිතේ අසීරු කාලයක්. ඊළගට මට මොඩ්ලින් ඒජන්සියක කාර්ය සහායක රැකියාවක් ලැබුණා. අවුරුදු දෙකක් එතැන වැඩ කළා. එතැනදී මට මහල් නිවාස සංකීර්ණයක භාරකරු හැටියට වැඩ කරන්න රැකියාවක් ලැබුණා. ඒ රැකියාව ගොඩක් හොඳ එකක්. අවුරුදු 18ක් එතැන වැඩ කළා.

නමුත් 2007 අවුරුද්දෙදී මට එතැන රැකියාව අහිමි වුණා. ඒපාර මම 2007 අවුරුද්දෙදි ලංකාවට ඇවිත් ව්‍යාපාර ක්ෂේත්‍රයට ප්‍රවේශ වුණා.” නිරන්ජන් මහතා ජීවිතේ දිගු පරිච්ඡේදයක තතු පිම්මට පෙළගැස්වූයේ ඒ අයුරිනි.

මුල් නම නිරන්ජන් වූවාට ඉතාලියේ අය අතර ඔහු වඩාත් ජනප්‍රිය වාස් යන නමිනි.

ඔහුට 2013 වසරේදී ඉතාලියේ ලෝක ප්‍රසිද්ධ ඇලෙක්සැන්ඩෝ මොන්සෝනි කෞතුකාගාරයේ භාරකරු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබේ.

වාස් මේවන විට සිදුකරන්නේද එම රැකියාවමය. ඉතාලියට ආ මුල් කාලයේදීම පිලිපීන කතක් හා විවාහ වූ වාස් මේවන විට 62 හැවිරිදි වියේ පසුවේ. ඔවුන්ට එක් දියණියක් සිටින අතර ඇය ඉතාලියේදී මූලික අධ්‍යාපනය ලබා පසුව එංගලන්තයේදී උසස් අධ්‍යාපනය ලබා ගැනීමට සමත්ව සිටී. ඇය මේවන විට ශ්‍රී ලාංකිකයකු හා විවාහ වී සිටී.

ඔහු සිය ඡන්ද අවස්ථාව ලැබීම ගැන පවසන්නේ මෙවැන්නකි.

”ඉතාලි පුරවැසිභාවය ලබලා අවුරුදු 10ක් ගියාට පස්සේ මේ රටේ මහජන නියෝජිතයෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි මෙහේ ශ්‍රී ලංකාවේ වගේ බැහැ. දේශපාලන විද්‍යාව ගැන හැදෑරීමක් තියෙන්නම ඕන. මට ලොකුම අභියෝගය වුණේ ඉතාලි භාෂාව දක්ෂ විදියට හසුරුවන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. මේවා ඉගෙන ගන්න මම පන්තිවලට සහභාගී වුණා. මොකද නැත්නම් නිකම්ම ඡන්දෙ ඉල්ලූවට ඉතාලියේ කවුරුවත් මනාපෙ දෙන්නෙ නෑ..”

" ඉතාලියේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. ඒක වාමාංශික පක්ෂයක්. ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයන් පිහිටුවා ගත්තු සංගමයක් තියෙනවා පොදුජන කේන්ද්‍රය කියලා. ඒ සංගමය ප්‍රජාතන්ත්‍රවාදී සංගමය එක්ක සම්බන්ධකම් පවත්වනවා. පක්ෂයෙන් කියලා තිබුණා විදේශ රටවලින් ආපු කිහිප දෙනෙකුට මෙවර මැතිවරණයට තරග කරන්න දෙනවා කියලා. පිලිපීනය, ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, විවිධ අප්‍රිකානු රටවල් සහ ලතින් ඇමෙරිකානු රටවලින් ආපු සුදුස්සො ඕන තරම් හිටියා. ඒ අතරින් ලංකාවේ මට නාමයෝජනා ලැබුණා. මේ පාර මැතිවරණයට ලෝකයේ විවිධ රටවලින් ආපු හතර දෙනෙක් තරග කළා.”

”මම මැතිවරණයට තරග කළේ ලොම්බාර්දියා පළාතෙන්. මේ පළාත ගොඩාක් සල්ලිකාරයන් ඉන්න පළාතක්. ඒ අය වාමාංශික චින්තනයට ලොකු කැමැත්තක් නෑ. අපි ඒක දැනගෙන හිටියා. නමුත් නීත්‍යානුකූලව තරග කළා. ශ්‍රී ලංකාවේ වගේ පැය ගණන් ඇදෙන ලොකු රැස්වීම් මෙහේ නැහැ. කෝටි ගණන් වියදම් කරන්න වුවමනාත් නැහැ. මම කළේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණය කරලා මිනිස්සුන්ට බෙදා හැරීම විතරයි. ඒකට මට ගියේ යුරෝ 450යි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 85000 ක් වගේ ගාණක්. ඒ වගේ තත්ත්වයක් තුළත් අපේ පක්ෂයට 30%ක් ඡන්ද ලැබුණා. අනික් කුඩා පක්ෂවල ඡන්ද ප්‍රතිශතය අඩු වුණේ නැත්තන් අපට එකතුවෙලා ජයග්‍රහණය ලබන්නත් හැකියාව තිබුණා.” ඒ වෙනමම සංස්කෘතියක් ගැන කතාවකි. ඒ කතාව දිගටම කරගෙන යන ඔහු විටෙක අප පුදුම කරවන දේ බොහෝ කියයි.

ඉතාලියේ මාර්තු හතර වැනිදා ඡන්දයක් තිබුණට කිසිම සද්දයක් නෑ. ඡන්දෙ දිනුවත් සද්ද දාන්න ලැබෙන්නෙත් නෑ. පොඩි උදාහරණයක් කියන්නම්, පාන් ගන්න ගියාම මට කඩේදි මෙහේ සෞඛ්‍ය ඇමති හම්බවෙනවා. ඔහු කඩේට ඇතුළු වෙන්නෙ මට පස්සෙ නම් ඔහු මාත් එක්ක කතා කරමින් පාන් පෝලිමේ මගේ පිටිපස්සෙන් තමයි හිටගන්නෙ. එයාට පාන් දෙන්නෙ මට පස්සෙ. මොකද ඇමති වුණත් කඩේට ආවෙ පස්සෙ නම් පාන් ලැබෙන්නෙ පස්සෙ තමයි… මේ කතා අතරේ ජීවිතේ ඉදිරි සැලසුම් ගැන කියන්නද නිරන්ජන් වාස් මහතා අමතක කළේ නැත.

”මොකක් වුණත් ලංකාව කියන්නේ මගේ උපන් රට. මම විශ්‍රාම ගිය දවසට ලංකාවට එනවා. ඒ රටට ආදරේ නිසා. හැබැයි ලංකාවේ දේශපාලන මඩවලට බහින්න නම් කවදාවත් මට හිත හදාගන්න බැරි වෙයි..” ඔහු පැවසූවේ කල්පනාබර හඬකිනි.

ඡන්දයක් කියූ විට අපට මතක් වෙන්නේ ගාලගෝට්ටියකි. ඒත් ලංකාවේ එහෙම වුණාට ඉතාලියේ එහෙම නැත. ලංකාවේ ඡන්දයකට ඉදිරිපත් වෙන්නට විදේශිකයෙක් හීනෙන්වත් හිතන්නේ නැති වුණත්, ඉතාලියේ ඡන්දයකට ඉදිරිපත්වෙන්නට විදේශිකයෙකුට අවසර ලැබීමම සුවිශේෂ වරප්‍රසාදයක් හැටියට ගැනෙයි.

මූලාශ්‍රය - රිවිර

gossip lanka